Print this Article


අවවාදයට වඩා ආදර්ශය උතුම් ය

අවවාදයට වඩා ආදර්ශය උතුම් ය

මෙවර උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික ආචාර්ය ගල්කිස්ස බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ආචාර්ය දිවියාගහ යසස්සී නා හිමිපාණන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ,

ඔබ වහන්සේගේ ජීවිතය සාර්ථක කර ගැනීමට කුඩා කාලයේ ලැබුණු ආභාසය සිහිපත් කරනවා නම්,

මම අද පැවිදි වෙලා සිටියත්, මම මගේ ජීවිතයේ අතීතය සිහිපත් කරන්නේ ඉතාමත් ම සතුටෙන්. 1935 ජනවාරි 02 දා දකුණු පළාතේ දිවියාගහ සුන්දර ගම් පියසෙහි උප්පත්තිය ලැබීම නිසා දිවියාගහ යසස්සී යන නම ලැබීමට හේතු වුණා. මාතර අරඹේවත්තේ රත්නායක ලොකු මහතා වූ මාගේ ආදරණීය පියා හා ඩී.එල්.ඩී. ප්‍රැන්සිනා මාතාව වූ මාගේ ආදරණීය මැණියන් ගත කළ ආදර්ශවත් බව මගේ ජීවිතය ආලෝකමත් කළා. කෙතරම් ඉහළ අධ්‍යාපනයක් ලැබුවත්, කුමන ආකාරයේ පුද්ගලයන් ඇසුරු කළත් සියයට සියයක් අංග සම්පූර්ණ යහපත් ගුණධර්ම ඇති සාර්ථක මනුෂ්‍යයෙක් නිර්මාණය කළ හැකි යැයි විශ්වාස කරන්න අපහසුයි. ජීවිතය සාර්ථක කර ගැනීමට ඒ සියල්ලට ම වඩා බලපාන්නේ මව්පියන්ගේ ආභාසයෙන් ලැබුණු ගුණධර්මයි. මගේ ජීවිතය තුළ යම්කිසි යහපත් ගුණධර්මයක් තිබෙනවා නම්, එහි හිමිකරුවන් වන්නේ මාගේ මව්පියන් බව කෘතවේදී ව සිහිපත් කළ යුතුයි. මව්පියන් තුළ පැවැති ශ්‍රද්ධාවන්තබව, ගුණගරුක බව, මගේ සිත ශාසනය කෙරෙහි ඇලීමට විශාල බලපෑමක් ඇති කළා. කුඩා කාලයේ සිට මව්පියන් සමඟ විහාරස්ථානයට පැමිණීම, පින්කම්වලට සම්මාදම් වීම මගේ ජීවිතයට අතිශය සතුට දනවන කාරණාවක්. දොහොත් මුදුන් තබා වන්දනා කරන ආකාරය මවගෙන් ලැබුණු ආදර්ශයෙන් ම පුරුදු පුහුණු වුණා. අම්මා සමඟ වන්දනා කරන කොට සියලුම ගාථාවන් ශබ්ද නඟා කියවීමෙන් කටපාඩම් වුණා මිසක් ඒ වෙනුවෙන් වෙනම පොතක් කටපාඩම් කිරීමක් වුණේ නැහැ. ගෙදරදීත් උදේ, සවස බුදුන් වැඳීමට පුරුදු කළා. කුඩා කාලයේ සිටම මව්පියන්ගෙන් ලැබුණු ආභාසය නිසාම ආගම දහමට නැඹුරු වුණා.පන්සලේ ලොකු හාමුදුරුවන් බණ කියනවා බලාගෙන ඉඳලා ඇවිත් ඒ ආකාරයෙන් ගෙදරදී බණ කියන්න පටන් ගත්තා. වටහපත වෙනුවට දෙල් කොළය අතට ගත්ත ආකරය තවමත් සිහිපත් වෙනවා. ඒ කුඩා කාලය හරිම ආදර්ශවත් බවක් ජීවිතයට එකතු කළා. යහපත් දරුවෙක් මනා සේ හදා වඩා ගැනීමට නම්, පාසල් අවධියටත් පෙර පුංචි කාලයේ සිටම ගුණධර්ම පුරුදු පුහුණු කළ යුතුයි.

අවුරුදු පහේදී මාගේ පියා මා දිවියාගහ බටහිර පාසලට ඇතුළත් කළා. පාසලේ ප්‍රධානාචාර්යවරයාට, පන්තියේ ගුරුතුමියට තෑගි බෝග වශයෙන් කැවිලි පෙවිලි සමඟ බුලත් අතක් දීලා වැඳීම සිරිතක්. අපි ඒ වාරිත්‍ර ධර්ම අනුගමනය කළා වාගේම එදා සිටි මව්පියන් දරුවන්ට චාරිත්‍ර නිවැරදි ව පුරුදු පුහුණු කළා. සිංහල බෞද්ධයන් වශයෙන් බුලත් අතකට බුලත් කොළ 40 තැබිය යුතු වුවත්, වර්තමානය වෙන විට බුලත් කොළ 10 ක් දීලා ගුරුවරයාට වඳින ක්‍රමයක් ඇතැම් අවස්ථාවල දකින්න පුළුවන්. එවැනි චාරිත්‍ර ධර්ම වර්තමාන සමාජයෙන් බොහෝ දුරට ඉවත්වේගෙන යනවා. ගුරුවරුන්ට වැඳුම් පිදුම් කරමින් නිසි ගෞරවය දැක්වීම අඩුයි. එදා ගුරුවරයෙක් අවවාදයක් ලබාදෙන අවස්ථාවේදී අත් දෙකම එකට තබාගෙන ඇහුම්කන් දුන්නා වගේම ඒ අවවාදය අකුරටම පිළිපදින ස්වභාවයක් තිබුණා. එක් පාර්ශ්වයකින් මව්පියන්, අනෙක් පාර්ශ්වයෙන් ගුරුවරු ගුණවත්කම් ඇතිකිරීමට කටයුතු කළා.

පැවිදි වීම වගේම අධ්‍යාපනය ලැබූ අවධිය අර්ථවත් වීමට බලපෑවේ කුමන ආකාරයේ කාරණාද?

මාතර පොල්හේන ශ්‍රී පුරාණ විහාරස්ථානයෙන් පැවිදි ජීවිතයට අවශ්‍ය පෙර පුහුණුවීම් හොඳින් සිදු කළා. ඒ දවස්වල බොහෝ විට දානය ලැබුණේ නැහැ. එවැනි අවස්ථාවලදී පොඩි හාමුදුරුවන් වහන්සේලා සමඟ එකතුවෙලා ඉතාමත් උනන්දුවෙන් ,ශ්‍රද්ධාවෙන් ඒ කාර්යය ඉෂ්ට කළා. ලොකු හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා ඒ ආකාරයෙන්ම පිළිපැදීමට වග බලා ගත්තා. ගුරුදේවෝත්තම ගණේගම අත්ථදස්සී හාමුදුරුවන් වහන්සේගේත්, දිවියාගහ විපුලතිස්ස හාමුදුරුවන් වහන්සේගේත්. ආචාර්යත්වයෙන් 1947 ඔක්තෝබර් 8 වෙනිදා උතුම් වූ ප්‍රවෘජ්‍යා භාවයට පත් වුණා 1947 වර්ෂයේ සිට 1955 වර්ෂය දක්වා මාතර ශ්‍රී සුදර්ශී පිරිවෙනින් අධ්‍යාපනය ලබාගනිමින් සිටියදීම 1955 වර්ෂයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පත්තියට පත් වුණා. ඒ කාලවකවානුව තුළ දීම විද්‍යෝදය පිරිවෙන මූලික කරගනිමින් ඉදිරි අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. විෂය දැනුමට පරිබාහිරව බොහෝ දැනුම් සම්භාරයක් ලබාගැනීම ජීවිතයට ශක්තියක් එක් කළා. එවකට පරිවේණාධිපති බද්දේගම පියරතන ස්වාමීන් වහන්සේ, වැඩ බලන පරිවේණාධිපති වැලිවිටියේ සෝරත ස්වාමීන් වහන්සේ යන දෙනමත්, කළුකොඳයාවේ පඤ්ඤාසේඛර හිමියන් , දෙහිගස්පේ පඤ්ඤාසාර හිමියන්, බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන් වහන්සේ වැනි උගත්කමින් පරිපූර්ණ මහා පඬිවරුන්ගේ ඇසුර ලැබීමත් ජීවිතයේ සාර්ථකත්වයට ඉවහල් වුණා. නායක හාමුදුරුවන් වහන්සේ මධ්‍යම රාත්‍රිය පහන්වෙන තුරු පොත්පත් පරිශීලනය කරමින් ශාස්ත්‍රීය කටයුතු නියැළීමෙන් ගත කළ ආදර්ශ සම්පන්න පැවිදි ජීවිතයෙහි ආභාසය ලැබීම භාග්‍යයක් කොට සලකන්න පුළුවන්. ගුණධර්මවලින් පරිපූර්ණ වූ ශ්‍රද්ධාකාමි යහපත් දරුවෙකු වශයෙන් ගොඩනැගීමට මව්පියන්ගේ ජීවතවල තිබූ ආදර්ශවත් බව බලපෑවා හා සමානව ම ගුරුදේවයන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම්, අවවාද අනුශාසනා පැවිදි ජීවිතයට ආලෝකයක් එක්කළා.

1959 වර්ෂයේ දී විද්‍යෝදය පිරිවෙන විශ්ව විද්‍යාලයක් වීමත් සමඟ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ආරම්භ කරමින් 1962 දී උපාධිය ලබා ගත්තා.

ඔබවහන්සේ ගේ ආගමික ශාසනික සේවය වර්තමාන ශිෂ්‍ය පරපුරට ආදර්ශයක් එක්කරන්නේ කුමන ආකාරයෙන් ද?

ගුරු පත්වීම ලබාගත් විගසම මම අධ්‍යාපනය ලැබූ මාතර ශ්‍රී සුදර්ශී පිරිවෙනේ වැටුපක් නොලබාම ආචාර්යවරයකු වශයෙන් සේවය කළා. වර්තමානය වන විට ඇතැම් පිරිසකට තමාට අධ්‍යාපනය ලබාදුන්. ගුරුවරයාත් අමතකයි. තමන් ඉගෙන ගත් විදුමාතාවට සේවයක් කළ යුතු යැයි ඇතැම් පිරිස් කල්පනා කරන්නේ නැහැ. එය එතරම් යහපත් තත්ත්වයක් නෙවෙයි. කොළඹ ආනන්ද විද්‍යාලය ඇතුළු රජයේ පාසල් විශාල ප්‍රමාණයක ගුරුවරයෙකු වශයෙන් විශාල සේවයක් ඉටු කළා. බොහෝ පාසල්වල බෞද්ධ සංගම් පිහිටුවමින් දරුවන්ගේ ගුණධර්ම වර්ධනය වන ආකාරයට බෞද්ධ ගුණධර්ම ක්‍රියාත්මක කළා.

උසස් පෙළ හදාරන ශිෂ්‍යයන් වෙනුවෙන් බෞද්ධ සංස්කෘතිය සඳහා ග්‍රන්ථ රාශියක් ද්, පාසල් දරුවන්ට අවශ්‍ය කරන ඉතිහාස විෂය සම්බන්ධ ග්‍රන්ථ ද රචනා කළා.

භික්ෂූන් වහන්සේ නමක් ලෙස සැමවිට ම අනුන්ගේ යහපත සඳහා කටයුතු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධාවවාදය නිවැරැදි ව පිළිපැදිය යුතුයි. 1972 වර්ෂයේ සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලේකම් වශයෙන් කටයුතු කරමින් ස්වාමීන් වහන්සේලා ඒකරාශි කරගනිමින් ඒ මාර්ගයෙන් විශාල ආගමික, ශාසනික, සාමාජික සේවාවන් රැසක් ක්‍රියාත්මක කළා. එංගලන්තය ,අමෙරිකාව, ජපානය, ආදි බොහෝ රටවල සංචාරය කරමින් ඒ හරහා විශාල කාර්ය භාරයක නියැළුණා. උදාහරණයක් වශයෙන් මොංගෝලියාවේ තිබෙන ආසියානු බෞද්ධ සාම සම්මේලනය හරහා ලෝක සාමය සඳහාත්, සාමය තුළින් නොයෙක් දරුවන්ගේ සුභසිද්ධිය සඳහාත් දරුවන් තුළ සාමකාමී මනසක් ගොඩනැගීමට අවශ්‍ය කටයුතුත් සම්පාදනය කළා. එම සේවය. අගය කරමින් මොංගෝලියානු රජය විසින් 1982 වර්ෂයේදී රන්පදක්කමක් පරිත්‍යාග කිරීමට කටයුතු කළා. ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපතිත්වය දරමින් ලෝකයට ම ථේරවාදී ධර්මය ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කළා. පන්සලක පටු වැඩ පිළිවෙළකට කොටු වෙනවා වෙනුවට විශාල වශයෙන් ආගමික, සාමාජික, ශාසනික මෙහෙවරක නිරත විය හැකියි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාට වැඩම කළ දවසේ සිටම ස්වාමීන් වහන්සේලා සමාජයේ සුභ සිද්ධිය සඳහා අර්ථයෙන් , ධර්මයෙන් අනුශාසනා කරමින් සමාජය යහපත් තත්ත්වයට පත්කිරීමට කටයුතු කළා. එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කළ යුතුයි.

- හේමමාලා රන්දුනු