Print this Article


දෙවියන් වෙනුවෙන් පූජා කෙරෙන රුහුණු කතරගම මහා දේවාල පෙරහර

දෙවියන් වෙනුවෙන් පූජා කෙරෙන රුහුණු කතරගම මහා දේවාල පෙරහර

ඇසළ මාසය,ලොව්තුරා බුදු පියණන් වහන්සේට මෙන්ම දෙවියන් උදෙසා ද වතාවත් තබන්නා වූ මාසයක් යැයි බොදුණුවන් පමණක් නොව හින්දු භක්තිකයෝ ද විශ්වාස කරති.ඒ නිසාම සතා සිව්පාවුන්ගෙන් පිරි ගිය ,මිනිස් පුළුටක ස්ථිර වාසස්ථානයක් නැති මහා වනයට ,මාස ගණනාවකින් වැහි පොදක් නැති මුඩු බිමක, භක්තියෙන් දෙවියන් පුදන්නට බොහෝ දන පාද යාත්‍රා කළහ. දෙවියන් වැඳ පුදා බාර හාර ඔප්පු කිරීමට පැමිණෙන ඔවුන් ගේ රිදුම් දෙන දෙපාවාරුවට ඇත්තේ දෙවියන් ගේ ආශිර්වාදය පමණක් ම යැයි ඔවුහු විශ්වාස කළහ.

කතරගම දෙවිඳුන් වැඳ පුදා ගෙන රාත්‍රිය ඒකාලෝක කරන කතරගම පෙරහර දැක බලා ගැනීම ද මේ සම්ප්‍රදායේ තවත් සිරිතක් මය.

රුහුණු කතරගම මහා පෙරහරේ අවසන් දිනය වන අද ,අතීතයේ රජ දරුවන් කරා විහිදෙන රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර මංගල්‍යය ඉතිහාසය විමසා බැලීම ද හරි අපූරු ය.

දුටු ගැමුණු රජ දවස දක්වා දිවෙන කතරගම පෙරහර මංගල්‍යයට මූලීක සාධකය වූයේ එළාර,දුටු ගැමුණු ද්වන්ධය ය.යුද්ධයට පෙර දුටු ගැමුණු රජු ,කතරගමට පැමිණ අෂ්ඨඵල බෝධීන් වහන්සේට බාර හාර වී, මෙම බෝධීන් වහන්සේට අධිගෘහිත වූ දෙවි කෙනෙකු වෙත්නම් මා හට ආශිර්වාද කරන්නේ නම් එම දෙවියන් වෙනුවෙන් දිව්‍ය මාළිගාවක් සදා දෙන්නේ යැයි පොරොන්දු වී තිබේ.එය සනිටුහන් කරමින් දේවාලය ඉදිරිපිට කොළ අතුවලින් කුඩා කොටුවක් සාදා දෙවියන් ට ආරාධනා කර ,එහි වැඩ සිටින සේ පවසා තිබේ.

මෙම ද්වන්ධයෙන් ජයගන්නා දුටු ගැමුණු රජු, රට එක් සේසත් කරමින් කතරගමට පැමිණි අතර සිය පොරොන්දුව ඉටු කරමින් කතරගම දේවාලය ඉදිකොට ඇති අතර, එය රන්කොත් මාළිගය ලෙසද හඳුන්වා ඇත.

එහිදී දෙවියන් ට ගරු කරමින් වසර පුරා පෙරහර මංගල්‍යය තුනක් පැවැත් වූ බව ද ,පළමු පෙරහැර, බක්මහා මංගල්‍යය ලෙස ද දෙවැන්න ඇසළ මංගල්‍යය ලෙස ද,ඉන්පසු ඉල්මහා මංගල්‍යය ලෙස ද, පෙරහර තුනක් පවත්වා ඇත. එම චාරිත්‍ර ය අදටත් ඉටු කරමින් බක්මහ පෙරහර මංගල්‍යය එක් දිනක ද, ඉල් මහා මංගල්‍යය එක් දිනක් ද ඇසළ පෙරහර මංගල්‍යය දින පහළොවක් ද පුරා පැවැත් වීම සිදුකෙරේ.

දුටු ගැමුණු රජු විසින් සිදු කළා වූ එම පැරණි චාරිත්‍රයන් එලෙසම සිදු කරන්නට රජතුමා රාජ නීතීයක් ද පනවා ඇති අතර රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර මංගල්‍යය ඉර හඳ පවතිනා තාක් කල් පවත්වන්නට අණ කර තිබේ.

අදටත් මහා දේවලය ඉදිරිපිට අතු පන්දලමක් සදා “මාදං” කොළවලින් සැරසු මඩුවක් සෑදීම සිදු වෙයි.මෙහිදී සිදු කරන තවත් චාරිත්‍රයක් නම් වාර්ෂික ව මෙහි කොළ අතු අලුත් කරන අතර පෙරහර ආරම්භ කොට දින හයක් ගතවූ පසුව මෙහි අලුතින් කොළ බැඳීම සිදු කෙරේ.

ඒ වගේම දුටු ගැමුණු රජු විසින් කතරගම දේවාලයේ වැඩ කටයුතු ඉටු කිරීම සඳහා පන්සිය පස් දෙනෙකුට රාජ කාරී පැවරීම ද සිදු කොට තිබේ.මේ සඳහා කපු මහතුන් හා ලේකම් වරු දෙදෙනෙකු ලෙස එය පත් කර ඇති අතර කිසියම් කෙනෙකු රෝගා තුර වුව හොත් ඒ සදහා ආදේශකයකු ලෙස මෙලෙස දෙදෙනෙකු පත් කර ඇත.

පෙරහර සංස්කෘතිය තුළ කතරගම කිරි වෙහෙර හා කතරගම දේවාල ය අතර ඇත්තේ ද මනා සබඳතාවයකි..පිරිත් නිලය කිරි වෙහෙර රාජ මහා විහාරයට පවරා ඇති අතර, දේවාලයෙහි සිදුවන සියලු ආගමික කටයුතු වල මූලිකත්වය සිදුවන්නේ කිරි වෙහෙර විහාරය මුල් කරගෙන ය.රුහුණු කතරගම මහා දේවාලයේ සියලු පෙරහර වීථී සංචාරයට පෙර කිරිවෙහෙර විහාරස්ථාන ස්වාමින් වහන්සේලා ගේ පිරිත් ආශීර්වාද ලබා ගැනීම ද මෙහි සම්ප්‍රදායකි.

කිරි වෙහෙර සමඟ ඇති තවත් සබඳතාවක් නම් අවසාන පෙරහර කිරි වෙහෙර විහාර මළුවට පැමිණ, පුද පූජා පවත්වා, රාජ්‍ය මට්ටමින් සංදේශය, දිස්ත්‍රික් ලේකම් තුමාට පිළිගැන්වීමෙන් එය නිමාවට පත් කෙරේ.

එමෙන්ම රුහුණු කතරගම මහා දේවාල පෙරහරේ බොදුණු සම්ප්‍රදාය ඇති බවට මතුවන අනෙක් සාධකය නම් පෙරහරේ ධාතූ කරඬුව වැඩම කිරීම ය.මෙහිදි හෙළි වනුයේ පන්සල හා දෙවොල අතර ඇති සබඳතාවයි.

පෙරහර ආරම්භකොට හයවන දින ප්‍රධාන නිලමේ පෙරහරට එක් වීම සිදු කෙරේ.එමෙන් ම සති පිරිත් දේශනය ද ආරම්භ වෙන අතර දේව දූත මෙහෙය මෙන්ම දොරකඩ අස්න ආදී සියලු චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු පිරිත් පැන් ලබා දීම ද පෙරහර සංස්කෘතියේ අංගයකි.

දුටු ගැමුණු රජ දවස කතරගම දෙවියන් උදෙසා වීථී සංචාරය වූ පෙරහරේ ගමන් ගත්තේ එක් ඇතෙකු ,නැටුම් ශිල්පීන් දෙදෙනෙකු ,පන්දම් කරුවන් දෙදෙනෙකු හා කොඩි දෙකක් මෙන්ම නිලමේ තුමා පමණ ය.එහෙත් පසු කාලීන ව පෙරහර ට විවිධ විචිත්‍රාංග එක් වෙමින් වීථී සංචාරය වූ අතර කාන්තා පිරිමි භේදයක් නොමැති ව ශිල්පීන් එක් වීම ද දකින්නට ලැබුණි.

කතරගම දෙවිඳුන්ගේ ආශීර්වාදය පතා දෙවියන් වෙනුවෙන් පූජා කෙරෙන රුහුණු කතරගම මහා දේවාල පෙරහර ලක්දිව ඉතිහාසයේ පැරණිම පෙරහර ලෙස ද හැඳින්වෙයි.