[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සද්ධර්ම රත්නාවලියෙන්: අනුන් රැවටීමේ පාපය බරපතළ ය

සද්ධර්ම රත්නාවලියෙන්:

අනුන් රැවටීමේ පාපය බරපතළ ය

අප මහා බුදුපියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයින් වහන්සේලා දෙනම වහන්සේ ඇතුළු දහසක් වූ මහා සඟ රුවන බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන සැවැත් නුවර සිට රජගහ නුවර බලා චාරිකාවෙන් වැඩම කළ සේක.

වැඩම කොට උපාසක උපාසිකාවන් රැස් වූ අවස්ථාවේ දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ දන්දීම සම්බන්ධයෙන් ඉතා වටිනා දේශනාවක් මෙසේ සිදුකළේ ය. පින්වත් උපාසක,උපාසිකාවනි, මේ ලෝකයේ සමහරු බොහෝ සෙයින් දන් පැන් පූජා කරනු ලබති.නමුත් එම දානයන් පූජා කරන්නේ තනිව ම ය. පිරිවර සම්බන්ධ කර නොගනී. එම නිසාම ඔවුහු උසස් ආත්මවලදී ඕනෑ තරම් භෝග සම්පත් ලබති.නමුත් පිරිවර සේනාව නොලබති.(පිරිවර සම්පත්තිය). සමහරු දන් පැන් සඳහා තමන් කිසිම දෙයක් නොකරති.වියදම් නොකරති.නමුත් දානයට අන් අය සමාදන් කරයි.පොළඹවයි. එම නිසාම ඔවුහු උපන් ආත්මවල දී බොහෝ සෙයින් පරිවාර සම්පත්තිය ලබති. නමුත් දන් නොදීම හේතුවෙන් භෝග සම්පත් නොලබති. තවත් සමහරෙක් දානයන් සඳහා තමන් ද විය පැහැදම් කොට දන් පූජා කරති.එමෙන් ම ඒ සඳහා බොහෝ පිරිස සම්බන්ධ කර ගනී. දානයෙහි සමාදන් කරවති. ඔවුහු උපනූපන් ආත්ම වල භෝග සම්පත් මෙන්ම පරිවාර සම්පත්තිය ද ලබා බොහොම සතුටින් කාලය ගත කරති. සමහර මෝඩ පුද්ගලයන් දන් නොදී පිරිවර ද ඒ සඳහා සමාදන් නොකොට මරණින් මතු උපදින ජීවිතවල, කාත් කවුරුවත් නැතිව ඉතා දුගී දුප්පත්ව උපදී. එම නිසා නුවණැත්තන් ලෙස පිරිවර සමඟින් එකතු වී, සමඟියෙන් යුතුව දන් පැන් පූජා කරන මෙන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනුශාසනා කළහ.

ඒ දහම් අසා බොහෝ පැහැදීමට පත්ව සිටි අය අතර සිටි තරුණයෙක්, සාරිපුත්ත මහ රහතන් වහන්සේ සහ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ ට දනට ඇරයුම් කළේ ය.

‘පින්වත, සංඝයා වහන්සේලා අති මහත් ය. එම නිසා ඔබට පුළුවන් ද සියලුම ස්වාමින් වහන්සේලාට දානය පූජා කරන්න.”අනේ ආර්‍යන් වහන්ස, මට පුළුවනි.ඔබ වහන්සේලා දානයට වැඩම කරන සේක්වා”. කියා මෙම තරුණයා ආරධනා කළේ ය. පසුව ගම් පියසට ගොස් ගමේ සියලුම දෙනා රැස් කරවා, ඒ ඒ පවුල් වලට හැකි අයුරින් දානය බෙදා දුන්නේ ය. සමහර කෙනෙක් එක් භික්ෂූන් වහන්සේ නමක්. තවත් සමහරුන් දෙනමක් තුන්නමක් හතර නමක් ආදී වශයෙන් තම තමනට හැකි පමණින් බාර ගත්තේය. මෙම තරුණයා ද ඉතාම සතුටින් දානයේ සියලු වැඩ කටයුතු සූදානම් කළේය. මේ අතර ඒ නුවර සිටි කෙළඹියෙක් රන්වන් වස්ත්‍රයක් රැගෙන, එයින් කුමන හෝ ප්‍රයෝජනයක් ගන්නා ලෙස ලබා දුන්නේ ය. ඔවුන්ගෙන් සමහර පිරිසක් මේ වස්ත්‍රය ඉතා වටිනා නිසා ගුණ නුවණින් පිරිපුන් සාරිපුත්ත මහ රහතන් වහන්සේට මෙය වඩාත් ගැළපෙන බව කියා සිටියහ. තවත් සමහරෙක් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ සාරිපුත්තයන් වහන්සේ තව මාසයකින් පමණ මේ ගමින් යනු ඇත. නමුත් දේවදත්තයන් වහන්සේ අප සමඟ හැමදාම වැඩ සිටිති. අපගේ දුකට සැපට හැමදාම වැඩ සිටින්නේ දේවදත්ත හාමුදුරුවෝ පමණි. එම නිසා මේ වටිනා වස්ත්‍රය දේවදත්තයන් වහන්සේට පූජා කළහ. ඔහුද එම රන්වන් සිවුරක් කරවා පැළඳ ඉතා උජාරුවෙන් ඒ මේ අත ඇවිදින්නට විය. කෙසේ නමුත් එක් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් මේ පුවත සැළ කළේ ය. බුදුරජාණන් වහන්සේ ද මේ දේවදත්තයන් තමන්ට නොගැලපෙන දේවල් කළේ මෙකල පමණක් නොව අතීතයේදී ද මෙවැනි ක්‍රියාවන් කළේ ය. කරදරයට ද පත් විය. බොහෝ අකුසල් ද රැස් කරගත් ගත්තේ ය. යනුවෙන් දේශනා කරමින් ජාතක කතාවකින් ඒ පිළිබඳ ව විස්තර කළහ.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රජකම් කරන කාලයේ එරට එක්තරා පව්කාර වැසියෙක් ඇතුන් මරා ඒ ඇතුන්ගෙන් දළ, නිය හම, මස් ආදී විකුණා ජීවත් වෙමින් කාලය ගතකළේ ය.එකල මේ ලෝකය බුද්ධෝත්පාද කාලයක් නොවන බැවින් පසේබුදු රජාණන්වහන්සේලා වැඩසිටි යුගයක් විය. කැළේ ජීවත් වූ ඇත්තු ද පසේ බුදුරජාණන් වහන්සේට බොහෝ පැහැදීමෙන් උන්වහන්සේලාට වන්දනාමාන කරමින් පින් රැස් කරගත්හ.මෙය දුටු පව්කාර වැද්දාගේ සිතට ඉතා පාපි අදහසක් ඇතිවිය. ඔහු පසේ බුදුරජාණන් වහන්සේ පැන් පහසුවීමට පොකුණට බසින තුරු සිට හොරෙන් හොරෙන්ම ගොස් සිවුරු හොරකම් කළේ ය. පසුව එම සිවුර හිස සිට පොරවාගෙන ඇතුන් ගමන් කරන මාර්ගයේ රුක් සෙවණට ගොස් සිටියේ ය. ඇතුන් ද වනයට යන අතර තුර පසේ බුදුරජාණන් වහන්සේගේ සිවුරට රැවටී ඇතුළත සිටින්නේ කවුරුන්දැයි නොදැන වන්දනා කරමින් යයි. වැද්දා ද සියලුම ඇතුන් යන තුරු සිට අවසානයට යන ඇතා ඝාතනය කරයි. මේ ක්‍රියාව කාලයක් කළ විට තම කණ්ඩායමේ ඇතුන් අඩුවන බව එකල ඇත් රජුව සිටි අප මහා බෝසතාණන් වහන්සේට දැනුණි. මෙය පරීක්ෂා කිරීමට සිතූ බෝසත් ඇත්‍ රජු එදින අවසානයට ගියේය. වැද්දා වෙනදා මෙන් සියලුම ඇතුන් යනතෙක් සිට අවසානයේ ඇත්‍ රජුට ආයුධයෙන් පහර දුනි. අප මහබෝසත් ඇත් රජුගේ පින් බලය නිසාම එයින් ජීවිතයට හානියක් නොවුණි.වැඩේ වැරදුණු බව දැනගත් වැද්දා දිව ගිය ද කෙටි දුරක් ගිය තැන බෝසත් ඇත් රජාණන් වැද්දා කොටු කළේය. ඔහුට පහර දීමට සිතුණ ද ඇඟ දරා සිටින අරිහත් ධජයට ගරු කිරීම නිසා මෙසේ අවවාද කළේ ය. අසූචි කළයක් කොතරම් පිටින් සිත්තම් කළද ඇතුළත අපවිත්‍ර වන්නා සේ කෙලෙස් කසට පිරුණවුන්ට මෙවැනි කසාය වස්ත්‍ර නොගැළපෙන බව පවසමින් අනුශාසනා කළේ ය.

මේ ජාතක කතාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ද ධර්මය දේශනා කළ සේක. ධර්ම දේශනාව අවසානයේ බොහෝ දෙනා මාර්ග ඵලයන්ට පත්විය. බොහෝ දෙනකුගේ ජීවිතවලට මෙය ඉතා හරවත් දේශනාවක් විය. එපමණක් නොව අපගේ ජීවිත වලට ද මෙයින් ගත හැකි කාරණා රාශියකි. එයින් වැදගත්ම දේ නම් අප කළයුත්තේ අපට ගැළපෙන සුදුසු දේ පමණි.නොගැළපෙන නොසුදුසු දේ කළහොත් එයින් අප මෙන්ම අන් අය විශාල අනතුරකට පත්වනු ඇත. එම නිසා සුදුසු දේ කිරීමට පමණක් වග බලාගත යුතු වේ. එවිට අනාගත ලෝකය මීට වඩා සුන්දර ස්ථානයක් වනු නොඅනුමාන ය.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]