Print this Article


පූජාච පූජනියනං

කඹුරුගමුවේ ගුණරතන හිමි

ශාස්ත්‍රපති කඹුරුගමුවේ ගුණරතන හිමිපාණන් වහන්සේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායික සංඝ සභාව මඟින් ශ්‍රී ධර්ම රක්ෂිත වංශාලංකාර යන ගරු නාම සම්මුතියෙන් පුද ලද ධර්ම විනයධර යතිවරයාණ කෙනෙකි.

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුගමුව නම් ගම්පියසෙහි දී 1957 අප්‍රේල් 24 දින ජන්ම ලාභය ලද උන්වහන්සේ මාර / කඹුරුගමුව මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලබන තෙළෙස් හැවිරිදි කුමරකු ව සිටියදී පූර්වකෘත පුණ්‍ය බලයෙන් මෙහෙයවන ලදුව 1970 ජූලි 10 දින තල් අරඹ ශ්‍රී මහේන්ද්‍රාරාමයෙහි දී සම්බුදු සසුන්ගත වූහ. තත්විහාරාධිපති කඹුරුගමුවේ සිරිජිනරතන හිමිපාණන් වහන්සේ හා වැලිගම ශ්‍රී විජයාරාමාධිපති පණ්ඩිත තල්අරඹේ සිරිපියරතනාභිධාන අධිකරණ සංඝ නායක හිමිපාණන් වහන්සේ උන්වහන්සේට ආචාර්යත්වයෙන් අනුග්‍රහය දැක්වූහ. විනයාචාර්ය කපුගම සුමනවංස නාහිමිපාණන් වහන්සේ උපාධ්‍යායත්වයෙහි පිහිටියහ. උන්වහන්සේ වැලිගම සෝමානන්ද පිරිවෙන, රත්මලානේ මල්ලිකාරාමස්ථ ශ්‍රී ධර්මරක්ෂිත ධර්මායතන පිරිවෙන හා කොළඹ හුණුපිටියේ ගංගාරාමස්ථ ශ්‍රී ඥානෙශ්වර පිරිවෙන යන විද්‍යායතනයන්හි ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හැදෑරීමෙහි භාග්‍යය අත්විය. ශාසනික යෝග්‍යතා සපුරාගෙන උන්වහන්සේ 1977 මැයි 22 දින වැලිගම පැළෑන ගංගාරාමාසන්න උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පත්තියෙහි පිහිටියහ. එහිදී උන්වහන්සේගේ උපාධ්‍යායත්වයට පත් වූවාහු ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මඩිහේ සිරි පඤ්ඤාසීහ මහ නාහිමිපාණන් වහන්සේයි.

උන්වහන්සේ 1978 දී අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයට ඇතුළත් ව පස් අවුරුදු පාඨමාලාව හදාරමින් ත්‍රිපිටකවේදී උපාධිය ලබා ගත්හ. 1982 දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් ව බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් 1990 දී කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියත් උන්වහන්සේට හිමි වී තිබේ. මේ හැර එම වසරෙහි ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා සහතිකය හා 1998 දී ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකය හිමි කර ගැනීමේ භාග්‍යය ද, උන්වහන්සේට අත් විය. මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනෙහි ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සමිතියෙන් පවත්වනු ලබන ත්‍රිපිටකධර්ම පරීක්ෂණයට පෙනී සිටීමෙන් විනයාචාර්ය හා සද්ධර්මාචාර්ය යන සහතික හිමිකර ගැනීමට ද උන්වහන්සේ සමත් වූහ.

තමන් අත්කරගත් අධ්‍යාපන කුසලතා සිසු පරපුරේ ගුණ නැණ වර්ධනය සඳහා උපයෝගී කිරීමෙහි කැප වී සිටින ගුණරතන හිමිපාණෝ පාරිවේණික අධ්‍යාපනයට මෙන්ම පාඨශාලීය අධ්‍යාපනයට ද මහඟු සේවයක් සැලසූ යතිවරයාණ කෙනෙකි. මාතර ජයසුමන මූලික පිරිවෙනහි හා මාතර මහාමන්තින්ද පිරිවෙනෙහි ගිහි පැවිදි සිසුන් උදෙසා ධර්ම ශාස්ත්‍ර දානයෙහි නියැළෙමින් ඔවුන්ගේ ජීවිත සාඵල්‍යයට උපස්ථම්භක වූ උන්වහන්සේ 1990 සිට මේ වන තෙක් මාර / තල් අරඹ ශ්‍රී ඉන්දසාර මහ විදුහලේ ධර්මාචාර්ය තනතුරෙහි සේවයෙහි නිරත වී සිටිති. ස්වකීයාචාර්ය පාදයන් වහන්සේ අපවත් වීමෙන් පසු 1984 දී මාතර තල් අරඹේ ශ්‍රී මහේන්ද්‍රාරාමයෙහි ආධිපත්‍යයට පත් උන්වහන්සේ විහාරස්ථානය කේන්ද්‍රකොටගෙන ප්‍රදේශයේ ආගමික හා සාමාජික සේවා කටයුතු උදෙසා සිය අනුග්‍රහය දැක්වීමට සමත්ව සිටිති. විහාරස්ථානයෙහි උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ආයතන කිහිපයක් ඔස්සේ මෙම සේවා කටයුතු ව්‍යාප්ත වී තිබේ. සිරිමිහිඳු පෙර පාසල, ශ්‍රී මහේන්ද්‍ර ධර්ම විද්‍යාලය, ශ්‍රී මහේන්ද්‍ර මූලික පිරිවෙන හා මධුරංග කලායතනය ආරම්භ කොට ඒවා මඟින් මහඟු සේවයක් සැලසීමේ ගෞරවය උන්වහන්සේට හිමි වෙයි. ශ්‍රී මහේන්ද්‍රාරාම දායක සභාව, සංඝමිත්තා කුලඟන සමිතිය, තල් අරඹ ග්‍රාමීය සංවර්ධන පදනම, සිරිමිහිඳු ළමා සමාජය හා ශ්‍රී මහේන්ද්‍ර ධර්මවිජය සමාජය පිහිටුවා එමඟින් ද සමාජ අනුග්‍රහයක යෙදීමට උන්වහන්සේ සමත් වී සිටිති. ජනපි‍්‍රය ධර්මකථිකයාණ කෙනකු ලෙස ජනාදරය දිනූ ශ්‍රී මහේන්ද්‍රවංශාලංකාර ධර්ම කීර්ති ශ්‍රී තල්අරඹේ ඉන්දසාර නාහිමියන්ගේ නිවාස ග්‍රහණයෙන් සම්මානයට පත් වූ ශ්‍රී මහෙන්ද්‍රාරාමයෙහි සංවර්ධන කටයුතු සඳහා ද නියාමකත්වය සපයන පූජ්‍ය කඹුරුගමුවේ ගුණරතන හිමිපාණන් වහන්සේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකාය මගින් එහි කාරක සංඝ සභික තනතුර සහිත ව ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර යන ගරුනාම සම්මුතියෙන් ද, කොරියානු බෞද්ධ ආයතනය මඟින් බෞද්ධ දර්ශන විශාරද (සම්මාන ආචාර්ය) උපාධියෙන් හා රජය මගින් පිරිනමන ලද සමස්ත ලංකා සාමවිනිසුරු පදවියෙන් ද සම්මානිත වූ උද්‍යොගිමත් යතිවරයාණ කෙනෙකි.

කඹුරුගමුවේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුන් කෙත තව තවත් අස්වද්දාලමින් දීර්ඝ කාලයක් නිදුක් නිරෝගී ව වැජඹේවා.

****

යාලගමුවේ ධම්මිස්සර හිමි

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම යාලගමුව ග්‍රාමයේ ඉපිද, දිඹුලන පුරාණ රාජමහා විහාරයේ දී සසුන් ගතවන මෙම මහා පඬිරුවන යාලගමුවේ ධම්මිස්සර හිමිපාණන් වහන්සේ ය.

ධම්මිස්සර හිමිපාණන් වහන්සේ 1983 දී විද්‍යෝදය පිරිවෙනේ රාජකීය පණ්ඩිත උපාධිය අවසන් කර, ඉන් අනතුරුව එම පිරිවෙනේ ම ආචාර්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍රවේදී උපාධිය වෙත යොමු වූහ. එකල රටේ පවතින අයහපත් දේශපාලන පසුබිම නිසා උපාධිය අවසන් කිරීමට වසර හයක් පමණ ගතවන නමුත් එය අවසන් කොට 1989 දී මහායාන දර්ශනය අධ්‍යයනය කිරීමේ බලාපොරොත්තුවෙන් ජපානයට වැඩම කරනු ලබයි. උපාධි අධ්‍යයනය කිරීමේ බලාපොරොත්තුවෙන් ජපානයට පැමිණිය ද, ආර්ථික අපහසුකම් නිසා බාහිර අධ්‍යයන ශිෂ්‍යයෙකු ලෙස (Taisho University) ඇතුලු විය.

ශ්‍රී ලංකාවේ පන්සල ටෝකියෝ නගරයේ සිට ඉතා ඇතින් පිහිටීම නිසා ජපානයේ සිටින ලාංකිකයන් බොහෝ දෙනෙකුට තමන් ගේ ආගමික කටයුතු සිදුකර ගැනීමට මහත් දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදුව තිබිණ. මෙම කාරණාව අවබෝධ කරගත් අපේ ස්වාමින් වහන්සේ, ටෝකියෝ නගරය ආශ්‍රිත පන්සලක් ආරම්භ කිරීමට කටයුතු කළහ. මහායාන විහාරස්ථානයේ ආචාර්‍ය, ෂොමෙයි (මසකි) අශිකගා (Rev. Dr. Somei (Maski)Ashikaga) නා හිමියන් විසින් එම විහාරස්ථානයේ ම වෙනත් යාබද ගොඩනැගිල්ලක අලුතින් ථෙරවාද විහාරස්ථානයක් ආරම්භ කිරීමට ආරාධනා කළහ.

ටෝකියෝ බෞද්ධ ජනතාව, ජපන්, බංගලිදේශ, වියට්නාම් ආදී විවිධ ථේරවාදී බෞද්ධ රටවල පින්වතුන් ගේ පුදබිමක් බවට පත්ව ඇති සකමුනි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය (Sakamuni International Buddhist Center, URL:http://www.sakamuni.org) ජපානයේ මුල්වරට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සංවිධානය කර, එය මේ දක්වා අඛණ්ඩ ව පවත්වා ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන වෙසක්, පොසොන්, කඨිණ පින්කම් මාලවන් ඉතා අලංකාරවත් අයුරින් සංවිධානය කිරීමට උන්වහන්සේ කටයුතු කරයි.

ජපානයේ උතුරු දෙසින් පිහිටා ඇති ග්‍රාමීය නීගතා(Niigata-ken) ප්‍රදේශයේද නව ශාඛාවක් ආරම්හ කරමින් විශාල ශාසනික මෙහෙවරක නිරතවෙමින් සිටිති. මෙම අද්විතීය ශාසනික මෙහෙවර වෙනුවෙන් උඩරට අමරපුර මහා නිකායේ නොමද සහයෝගය ලබන ධම්මිස්සර හිමියන්, ජපානයේ ප්‍රධාන සංඝ නායක තනතුර මෙන්ම එම කිකායේ අනු නායක තනතුරින් ද පිදුම් ලැබී ය.

ජපානයේ සේවාවෙන් පමණක් සෑහීමට පත් නොවන, යාලගමුවේ ධම්මිස්සර හිමියන් අතින් ශ්‍රී ලංකාවේ ශාසන අභිවෘද්ධිය ද අතිමහත් ය.

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයට ආසන්නයේ පිහිටි ඌව පරණගම දිඹුලන රාජමහා විහාරයේ විහාරධිපති ධුරය මෙන්ම ඌව පරණගම පිහිටි ශ්‍රී ධම්මනන් ද විද්‍යායතන පිරිවෙන සහ ශ්‍රී ධම්මිස්සර මූලික පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි තනතුර හොබවන ධම්මිස්සර හිමිපාණන් ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා භික්‍ෂූන් වනන්සේලා පුහුණු කරවන භික්‍ෂු පුහුණු මධ්‍යස්ථානයක් ඇරැඹීමට මූලික කටයුතු සම්පාදනය කරමින් සිටිති. එමෙන්ම පාලි බෞද්ධ සරසවියේ (The Buddhist and Pali University of Sri Lanka) ශාඛාවක් ජපානයේ ආරම් භ කිරීමටද මහත් වෙහෙසක් ගනිමින් කටයුතු කිරීම ශ්‍රී ලාංකික මෙන්ම බොහෝ ජපන් ජාතිකයින් ගේ ද නොමද පැසසුමට ලක්ව තිබේ.

ජුලි මස 19 වෙනි ඉරුදින සිය 60වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේගේ ශාසනික කටයුතු පවත්වාගෙන යාම සඳහාත් දීර්ඝායුෂ සම්පත්තිය පතා ආසිරි පැතිමට විශේෂ ආශිර්වාද පුජා මාලවක් පැවැත්විණි.

උන්වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.