Print this Article


ප්‍රඥාවේ ඇස පහළවනතුරු...

ප්‍රඥාවේ ඇස පහළවනතුරු...

" සත්වයා නිතරම එකළොස් ගින්නකින් දැවෙන අයුරු බුදු දහමේ පෙන්වා දී ඇත. එම එකොළොස් ගින්න වන්නේ රාග, ද්වේශ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස යනාදියි. එකළොස් ගින්නකින් සත්වයා නිතර නිතර, දැවී දැවී, පිච්චි පිච්චි සිටිය ද, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය නම් වූ කාම දැලට හසු වී සිටින බැවින් එය ගින්නක් සේ නොදැනේ. බුදු හිමි පෙන්වා දෙන්නේ මෙවැනි ගිනිවලින් දැවෙනා සත්වයාට කුමන සිනාවක් ද, කුමන සතුටක් ද බවයි. "

ලෝකයේ ජීවත් වන පුහුදුන් සත්වයෝ කෙලෙස්වලින් අනූන ය. රාග, ද්වේශ, මෝහ යන කෙලෙස්වලින් මුසපත් ව නිරන්තරයෙන් මුලා වී ජීවත් වෙති. හරි දේ හරි ලෙසින් දැකීමට තරම් බුද්ධියක් ඔවුනට නොමැත.

බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කොටගෙන කෘතගුණ සලකනු වස්, බරණැස් නුවර මිගදායේ ඉසිපතානාරාමයේ සිටි පස්වග තවුසන්ට දහම් දෙසීමට වැඩම කරන කල්හි අතරමඟ දී උපක ආජීවක හමුවිය.

එහිදී උපක ආජීවකට බුදු හිමි ප්‍රකාශ කර සිටින්නේ, “මම ධර්ම චක්‍රය පවත්වන්නට කසී රට බරණැස් නුවරට යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි දහම් අමා බෙරය ගසන්නෙමි.”

වශයෙනි. ඒ අනුව බුදුහිමි ලෝක සත්වයාගේ ස්වභාවය, එසේත් නැතිනම් මනෝ භාවයන් දේශනා කොට ඇත. සත්වයා සසර සැරිසරන්නේ ද අවිද්‍යාව හෙවත් නොදැනීම හේතුවෙනි. පටිච්චසමුප්පාද දේශනාව තුළින් ඒ බව මනාව විද්‍යමාන වේ.

ධම්ම පදයේ ලෝක වග්ගය තුළින් මේ සම්බන්ධ ව වටිනා උපදෙසක් අපට ලබා ගැනීමට පුළුවන. එනම්,

“මේ ලෝකයේ ජනයා අන්ධ භූත ව වසති. ස්වල්ප දෙනෙක් පමණක් හරි ආකාරයෙන් ලෝකය දකිති. ඔවුහු දැලෙන් මිදුණු කුරුල්ලන් සේ සුගතිය කරා යති”.

මෙහිදි ‘අන්ධ’ යන වචනය භාවිත කොට ඇත්තේ ප්‍රඥාව නොමැති අය කෙරෙහි ය. යථාර්ථය දැකීමට නම්, ප්‍රඥාව අත්‍යවශ්‍ය වේ. බුදු හිමි බොහෝ සූත්‍ර අවසානයේ දී ‘චක්ඛුං උදපාදී, පඤ්ඤා උදපාදී ආලෝකෝ උදපාදී යනුවෙන් දේශනා කොට ඇත්තේ සුළු පිරිසක් හෝ යථාවබෝධය ලබන බැවිනි. ලෝකයේ ටික දෙනෙකුට පමණක් නුවණ ඇති අතර, බොහෝ දෙනෙක් මෝඩයන් වෙති. ප්‍රඥාව වනාහී විභාග සමත්කොට ලබන උපාධි තානාන්තර මත තීරණය වෙන්නක් නොවේ. ප්‍රඥාව ඇති ටික දෙනෙක් හෝ යථාර්ථය දැක මෝහය නැමති අන්ධකාරයෙන් මිදීමට උත්සාවත් වෙති. එය හරියට දැලකට හසු වූ වටු කුරුලු රංචුවක් අතරින් වටු කුරුලු කිහිප දෙනෙක් හෝ උත්සාහයෙන් දැලෙන් මිදී මරණයට හසු නොවී පලා යන්නාක් බඳු ය. එසේ පලායන වටුවෝ ම මරණයෙන් මිදුණෝ වෙති.

අන්ද වූවන් හරියට දැලකට හසු වූ වටු කුරුල්ලන් සේ එතැන ම මරණයට පත්වේ. එය “පමාදෝ මච්චුනෝ පදං” යන දහම් පදයට සාපේක්ෂ ව සිතීම වැදගත් වේ.

අන්ධ බව යනු පස්කම් සැපයට හසු වී, යථාර්ථය නොදැකමියගොස් නිරයට යෑමයි. අන්ධ බව නිරයට යන මාවතයි. බොහෝ පිරිස් පස්කම්වලට ම ගිජු ව, එහිම ඇලී, ගැටී, එයින් ම මැරී ගොස් නිරයේ ඉපදෙති. “අප්පෝ සග්ගාය ගච්ඡති”

අන්ධ සත්වයින් අතුරින් ටික දෙනෙක් සුගතියට යති. මරුගේ පස්කම් නැමති දැලට වැටුණු සතුන් අතුරෙන් ටික දෙනෙක් පමණක් එයින් මිදී සුගතියට පැමිණෙති. සත්වයා නිතරම එකළොස් ගින්නකින් දැවෙන අයුරු බුදු දහමේ පෙන්වා දී ඇත.

එම එකොළොස් ගින්න වන්නේ රාග, ද්වේශ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස යනාදියි. එකළොස් ගින්නකින් සත්වයා නිතර නිතර, දැවී දැවී, පිච්චි පිච්චි සිටිය ද, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය නම් වූ කාම දැලට හසු වී සිටින බැවින් එය ගින්නක් සේ නොදැනේ. බුදු හිමි පෙන්වා දෙන්නේ මෙවැනි ගිනිවලින් දැවෙනා සත්වයාට කුමන සිනාවක් ද, කුමන සතුටක් ද බවයි.

බොහෝ දෙනෙක් නිරයට යන්නේ පංච කාමය දැඩිව ගැනීම හේතුවෙනි. අවසන් මොහොතේ දී පවා උපාදානයක් ලෙස ගමන් කරනු ඇත. මගේ, අපේ යන ආත්ම සංකල්පය දැඩිව ගැනීම තුළින් සිදු වන්නේ එය ඉවත් කර ගැනීමට අපහසු වීමයි. එයම දුකට මූල බීජය වන්නේ ය. සෝවාන් වීමේ දී නැතිවෙන දස සංයෝජනවලට අයත් පළමු අංගය වන්නේ ද සක්කාය දිට්ඨිය නොහොත් ආත්ම දෘෂ්ඨියයි. මම ය, මාගේ ය යන සංකල්පයන් සසර භව ගමනය දුග්ගහි වීමට සෘජුව ම බලපාන්නකි. ඒවා නැති නොකර ගැනීම තුළින් සිදු වන්නේ නිරයට නොහොත් අභෞව්‍යස්ථානවල ඉපදීමට තමා විසින් ම මාවත පාදා ගැනීම ය.

මෝහයෙන් මුලා වී සිටින සත්වයා එම අන්ධකාරයෙන් මුදවා ප්‍රඥා ඇස ලබා දීම උදෙසා බුදුවරු ලොව පහළ වෙති. හරියට ලිප ගිනි මොලවන තෙක් දිය කෙළියෙහි සිටින කකුළුවා සැපයක් සේ සිතා ක්‍රියා කරන්නා සේ සත්වයා ද පංච කාමයෙන් අන්ධ ව ඊළඟ භවය ගැනවත් නොසිතා කටයුතු කරති. එතුළින් මියගොස් නිරයෙහි ඉපදීම අනිවාර්ය වේ. මේ කරුණු සිහියට ගෙන බුදුන් දෙසූ දහම තම තම නැණ පමණින් හෝ වටහා ගැනීමට උත්සාහවත් විය යුතු ය. සංසාර චක්‍රය බොහෝ දීර්ඝ බැවින් නැවත නැවත ඉපදීමට ඇති වාර ගණන කොතෙක් ද යන්න නිශ්චිත ව කිව නොහැක. එලෙස නැවත නැවත ඉපදීමට ප්‍රාර්ථනා නොකළත්, ප්‍රඥා ඇස පහළ වනතුරු හෝ ඉපදීමට සිදු වේ. එම ඉපදෙන ආත්මවල නිරයට නොයා සුගතියකම ඉපදීමට උත්සාහවත් වීම උසස් මනසක් ලැබූ සත්වයාගේ බුද්ධිමත් ම ක්‍රියාව විය යුතු ය.