Print this Article


දැන දැක දුරු කළ යුතු අකුසල් මුල්

දැන දැක දුරු කළ යුතු අකුසල් මුල්

" ලෝභය ලාම්පු දැලි මෙන් බැඳුණු දෙය අත් නොහරී"


කුසලය නැමැති ශ්‍රේෂ්ඨ ධර්මයට විරුද්ධ ව ඇති එකම ධර්මය අකුසලය යි. ඒ නිසා කුසල් නොවන සියල්ල අකුසල ලෙස හඳුන්වා තිබේ. එය දැක්වූයේ “න කුසලං අකුසලං” යනුවෙනි.

අටුවාව අකුසලය යන වචනයට තේරුම් දී ඇත්තේ මිත්‍ර ධර්මයට ප්‍රතිවිරුද්ධ ක්‍රියා ඇති තැනැත්තා අමිත්‍රයා වන්නා සේ, කුසල ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ වූයේ අකුසලය වෙයි යනුවෙනි. මේ අනුව කුසල ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ සියලු දේ අකුසල් යනුවෙන් හඳුනා ගත හැකි ය. සියලු භය උපද්‍රවයන්ට හිතවත් ව, පවතින, පහත් ලාමක හීන ධර්මයන්ගේ පැවැත්මට හේතු වන කරුණු අකුසල නම් වේ.

සියලු අකුසල ධර්මයන්ට ලෝභ, ද්වේශ හා මෝහ යන අකුසල මුල් තුන හේතු වන බව සර්වඥයන් වහන්සේ දේශනා කළ සේක.

ලෝභය යනු වස්තුකාම, ක්ලේශ කාම දෙකෙහි පවත්නා ගිජු බවයි. ආශාව, කැමැත්ත, සෙනෙහෙස, බැ¼දීම, කාමය, රාගී බව, ඇලී ගැලී සිටීම, පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති කැමැත්ත, ධනය බලය කිර්තිය යනාදියට ඇති ආශාවත්, ලෝභය ලෙස හැඳීන්විය හැකි ය. ලෝභය කපුටු වසුරක් මෙන් වැටුණු තැන ඇලී සිටියි. රත් වූ තැටියකට දැමූ මස් වැදැල්ලක් එහි ඇලෙන්නේ යම් සේ ද ලෝභයත් එසේ මය. ලෝභය ලාම්පු දැලි මෙන් බැඳුණු දෙය අත් නොහරී. ප්‍රබලව ගලා යන සැඩ පහරින් ගංගා ජලය මුහුදට ගලා යන්නා සේ ලෝභය සත්වයා දුක කරා ඇද ගෙන යයි.

ද්වේශය යනු අනුන් කෙරෙහි සිතේ උපදනා දුෂ්ට වූ සිතිවිලියි. නොකැමැති බව, පිළිකුල, කෝන්තරය, නොරිස්සීම, විරෝධය. වෛරය, පළිගන්නා සුළු බව ද්වේශය ලෙස හැඳීන්විය හැකි ය. ද්වේශය තුළ කුපිත වූ නාගයෙකුගේ විෂ වැනි බිහිසුණු බවක් ඇත. නාග විස ඉතා ඉක්මනින් ශරීරය තුළ පැතිර යන්නාක් මෙන් ද්වේශය ද සිත තුළ ඉතා ඉක්මනින් පැතිර යයි. ද්වේශය සත්වයා දවාලයි. හරියට වනයේ පවතින ලැව් ගින්නක් හා සමාන ය. ලැව්ගින්නෙන් හසුවන සියලු දේ දවාලයි ද, එසේම ද්වේශයෙන් සත්වයා දවා විනාශ කරයි.

මෝහය යනු යථා ස්වභාවය වසාලන මුළාවයි. අනුවණකම, ව්‍යාකූලතාව, මෝඩකම, නොදැනීම, දෘෂ්ටියක එල්බ සිටීම, අවිචාරවත් විශ්වාසය, මිථ්‍යාදෘෂ්ටිය මෝහය ලෙස හඳුන්වාදිය හැකි ය. මෝහය අන්ධභාවය හා සමානයි. නොදැනුවත්කම ස්වභාවය කොට ඇත. මෝහය තිබෙන තාක් කිසිවක හොඳ නරක, යහපත අයහපත, අභ්‍යන්තරය පරීක්‍ෂා කර නොබලයි. මෝහයේ ඇත්තම ස්වරූපය යථා ස්වරූපය බැහැර කිරීම යි.

මෙම අකුසල මූලයන් තුන දැන දැක දුරු කළ යුතු ය. නොඑසේනම් සිදුවන්නේ මහා විනාශයකි. මහා දුක්ඛයකි. ඒ බව සර්වඥයන් වහන්සේ ම මෙසේ පැහැදිලි කළ සේක. මහණෙනි, ලෝභයෙන් උපන් ලාමක අකුසල ධර්මයන් විසින් මඩනා ලද සිත් ඇති පුද්ගලයා මේ ආත්මයේ දී ම උපද්‍රව සහිත වූ, උපායාස සහිත වූ කායික චෛතසික පරිළාහයෙන් යුක්ත වූයේ නිරතුරුව ම දුකසේ වාසය කරයි. මරණින් මතු දුගතියට ද පැමිණේ. මහණෙනි, ද්වේශයෙන් උපන් ලාමක අකුසල ධර්මයන් විසින් මඩනා ලද සිත් ඇති පුද්ගලයා මේ ආත්මයේ දී ම උපද්‍රව සහිත වූ, උපායාස සහිත වූ කායික චෛතසික පරිළාහයෙන් යුක්ත වූයේ නිරතුරුව ම දුකසේ වාසය කරයි. මරණින් මතු දුගතියට ද පැමිණේ. මහණෙනි, මෝහයෙන් උපන් ලාමක අකුසල ධර්මයන් විසින් මඩනා ලද සිත් ඇති පුද්ගලයා මේ ආත්මයේ දී ම උපද්‍රව සහිත වූ, උපායාස සහිත වූ කායික චෛතසික පරිළාහයෙන් යුක්ත වූයේ නිරතුරුව ම දුකසේ වාසය කරයි. මරණින් මතු දුගතියට ද පැමිණේ.

අකුසල මුල් තුනෙන් ඇති වන මහා විනාශය තව තවත් පැහැදිලි කිරීම සඳහා සර්වඥයන් වහන්සේ මාලුවාලතෝපමාව දැක් වූ සේක. යම්කිසි සල් ගසක තුන් පැත්තෙහි මාලුවා වැල් තුනක් ක්‍රමයෙන් වැඩී සල් ගසේ අතුපතරාදිය වෙළා ගසත් වසාගෙන වැඩෙන්නේ ය. ඒ වැලේ කොළ ගොටු සහිත ව විශාල වර්ගයක් බැවින් වර්ෂා කාලයේ දී ඒ කොළ ගොටුවල ජලය පිරෙයි. සුළං කාලයේ දී සල් ගසේ ලොකු කුඩා අතු කැඩී ගසේ කඳ පමණක් ඉතිරි වෙයි. මාලුවා වැල් වර්ධනය වීමෙන් අන්තිමේ දී ඒ කඳත් විනාශයට පැමිණෙයි. ලෝභ, ද්වේශ, මෝහ අකුසල මුල් තුන සල් ගස වෙළා ගත් මාලුවා වැල් තුන හා සමානයි. ඒ වැල් තුන වැඩීමෙන් සල් ගස විනාශ වූවා සේ සිත් තුළ අකුසල මුල් තුන වැඩීමෙන් අපේ ජීවිත ද විනාශයට පත් වෙයි. ඒ නිසයි මෙම අකුසල් මුල් තුන දැන දැක දුරු කළ යුත්තේ.