Print this Article


සැනසීම දුරු කරන සංසාරගත පුරුදු

සැනසීම දුරු කරන සංසාරගත පුරුදු

මව්පියන් දරුවන්, සහෝදර සහෝදරියන්, ඤාතීන්, ගුරුවරු ශිෂ්‍යන්, මිතුරු පසමිතුරන්, අසල්වැසියන්, සේවක ස්වාමින්, පැවිද්දන් දායකයන් ආදි වශයෙන් වූ චරිත මේ ජීවන ගමනේ දී අපට නිරන්තරයෙන් හමු වෙනවා.

එහෙත් මේ හැමෝ ම අපගේ අවසාන මොහොත දක්වා සැම දා සැම අයුරින් රැඳී සිටින්නේ නැහැ. ලෝභ ද්වේෂ මෝහයන් තුළ සිදු වන විවිධ ගැටුම් නිසා හෝ හමුවනවාට වඩා ඉක්මණින් වෙන්ව යනවා. සමහර අවස්ථාවල දී සංසාරගත පුරුදු ලෙස වෛරයෙන්, ද්වේෂයෙන්, පළිගැනීම්වලින් යුතුවනවා. මේ අයුරින් මිනිස් ජීවිත සන්තානයේ ඇතිවන නොයෙක් මානසික අඩුපාඩුකම් පෙන්වා දෙමින් සමාජයේ එකමුතු බව, විශ්වාසය සතුට සමගිය ආරක්‍ෂා කර ගනිමින් ජීවත් වන්නට හොඳම මාර්ගෝපදේශකයන් වහන්සේ පන්සිය පණස් ජාතක පොත් වහන්සේ බව ජාතක පොත් වහන්සේ කියවන කොයි කාටත් වැටහෙනවා.

ඉතින්, මෙම ජාතක පොතේ එන මිත්තා මිත්ත නම් ජාතක කතාව තුළින් පැහැදිලි කරනු ලබන්නේ ද මිනිස් මනසේ ඇති වන වෛරි, ද්වේෂ සහගත සිතුවිල්ලේ ස්වභාවය පිළිබඳවයි. එසේ ම තමන් ඇසුරු කරන මිතුරා තමා කෙරෙහි වෛරයෙන්, ද්වේෂයෙන්, තරහෙන් සිටිනා බව හඳුනා ගන්නේ කොහොම ද කියලත් කරුණු සපයනවා.

බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙ වැඩ වාසය කරන අවදියේ එක් ආරාමයක එක්තරා භික්‍ෂුණ් වහන්සේ නමක් සාමණේර භික්‍ෂුණ් වහන්සේ නමකට උපාධ්‍යන් වහන්සේ වුණා. මෙම උපාධ්‍යන් වහන්සේ සහ කුඩා සාමණේරයන් වහන්සේ විශ්වාසයෙන්, එකිනෙකා තුළ පිය පුතු සෙනෙහසින් සතුටින් වාසය කළා. ඒ නමුත් සැම විටම තම ගුරුවරයා කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත ව කටයුතු කරන්නට වග බලා ගත් අතර උන් වහන්සේ සමඟ ඉතාමත් ම හිතවත් විදියට වත් පිළිවෙත් කළා. දිනක් මෙම කුඩා සාමණේරයන් වහන්සේ තම ගුරු හාමුදුරුවෝ කෙරෙහි බොහෝ ආදර ගෞරව උපදවා, උපාධ්‍යන් වහන්සේගේ පාවහන් දැමීමට පසුම්බියක් අවශ්‍ය බව දැනගෙන ගුරු හිමියන් සමඟ පැවතුන විශ්වාසය මත,

මා කළ දෙයකට ගුරු හිමියන් වහන්සේ අමනාප නොවෙයි.’

සිතා රෙද්දක් ගෙන පසුම්බියක් මසා පූජා කොට උපාධ්‍යන් වහන්සේට ඒ බව පසුව පැවසුවා. මෙසේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගුරු හිමියන් වහන්සේ බොහෝ සෙයින් කේන්ති ගෙන

‘ මාගේ රෙදි කඩ කුමකට මගෙන් නොඅසා අරගත්තේ ද? ’ සැරෙන් ඇසුවා

‘ ඔබ වහන්සේ මට ඇති විශ්වාසය නිසා මෙම රෙදි කැබැල්ල අරගෙන ඔබ වහන්සේට පාවහන් තබා ගැනීමට පසුම්බියක් කළා ’

‘ තොප හා මා අතර කුමන විශ්වාසයක් ද ? ’ ‘ ඔබ කළේ වරදක් ’කියා සාමණේරයන් වහන්සේ ට අතින් පහර කිහිපයක් ගැසුවා. මෙම කතා පුවත දම් සභා මණ්ඩපයේ සිටි භිකෂුණ් වහන්සේලා අතර කතා බහට ලක් වුණා. බුදු රජාණන් වහන්සේ එහි වැඩම කොට එම පුවත අසා

‘ මහණෙනි පෙරත් මෙම උපාධ්‍යන් වහන්සේ කෝපයෙන් යුක්තව කටයුතු කළා. ’ යැ යි අතීත ආත්ම භාවය මතක් කළා.

එවිට බුදු රජාණන් වහන්සේ, භික්ෂූණ් වහන්සේලාගෙන් ලද ආරාධනාවට එම අතීත ජාතක කතාව දේශනා කළා .

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කාලයේ බෝසතාණන් වහන්සේ එකී රටේ බමුණු පවුලක ඉපිද වැඩි වයසට පත්ව ගිහිගෙයි ඇල් ම අතහැර දමා හිමාල වනයට ගොස් තවුස් පැවිද්දෙන් පැවිදිව නිරන්තරයෙන් අන් තාපසයන් උදෙසා අවවාද අනු ශාසනා ලබා දෙමින් බොහෝ තාපසවරුන් ට නායක ව වාසය කළා.

උන් වහන්සේ යටතේ කටයුතු කළ තාපසයන් අතර සිටි එක් තාපසයෙක් ඇත් පැටවෙකුට පුත්‍ර ප්‍රේමයෙන් යුතුව කෑම බීම ලබා දෙමින් ඇති දැඩි කළා. ඒ ඇතා ලැබීමෙන් බොහෝ උවදුරු ඇති වන බව නායක තාපසතුමා දැන ගත්තා. පසුව තමන් ළඟට කැඳවූ තාපසයන් වහ්නසේට අවවාද කොට එම ඇතා කැළයට මුදා හරින ලෙස කියා සිටියා. බෝසතාණන් වහන්සේ කිහිප විටක් ම අවවාද කළ එම තාපසයා එසේ නොකර ඇත් පැටවා ව හදා වඩා ගත්තා.

මෙලෙස ආදර සැලකිලි ලද ඇත් පැටවා බොහෝ ම හොඳීන් උස් මහත් වූණා. මද වැගිරෙන වයසේ දී ඇතා දරුණු වුණා. දිනක් තාපසයා පලතුරු ගෙනෙන්නට ගොස් දින කීපයක් ගතවී පැමිණියා. තාපසයා දුටු ඇතා ඔහු මරා කැළයට පලා ගියා. බොහෝ තාපසවරු එම තාපසයාගේ මෘත දේහය ආදාහනය කොට බෝසතාණන් වහන්සේට ඒ බව කීවා. එවිට බෝධි සත්වයන් වහන්සේ ‘යම් හිතවත් මිනිසකු දුටු විට සතුටින් කතා නොකරයි ද? සිනා සෙන්නේ නැද්ද? ඇසට ප්‍රිය ආකාරයෙන් නොබලයි ද? දැන සතුටු නොවෙයි ද ? යන මේ කරුණුවලින් යුත් තැනැත්තන් වෛරයෙන් යුක්ත වෙනවා’ ද්වේෂයෙන් යුක්ත වූ අවස්ථාවේ, කැලඹුණු දියමත ගැඹුර නොපෙනෙන්නා සේ පියවි සිහියෙන් මිදී බොහෝ අපරාධ කරනවා. තමන්ට කොතෙක් උපකාර කළත් එම අසත් පුරුෂකම තුළ අම්මා තාත්තා ගුරුවරයා කවු ද කියලා හඳුනන්නට නොහැකි වෙනවා. ඒ තාපස නායකයා මෙසේ වදාරා අනෙක් තාපස පිරිස සත් ධර්මයේ පිහිටුවා බොහෝ කලක් සතර ඹබ විහරණයෙන් තාපස ප්‍රවෘජාවෙන් වැඩ සිට මරණින් මතු බඹ ලොව උපන්නා.

“එදා ඇති දැඩි කරනු ලැබු ඇත් පැටවා මේ උපාධ්‍යයන් වහන්සේ යි. ඇත් පැටවා ඇති දැඩි කළ තාපසයා මේ සාමණේර භික්‍ෂුවයි. තාපසයන් ට ප්‍රධාන ව සිටියේ තථාගත වූ මම් ම නොවේ දැ’යි වදාරා බුදු රජාණන් වහන්සේ ජාතක කතාව වදාළ සේක.

ද්වේෂය යනු අකුසල් මූලයන්ගෙන් එකකි. එය යකඩ පිහියෙහි බැඳෙන මළකඩ මෙනි. පිහියේ ම ඇති වී පිහිය විනාශ කරන්නේ යම් සේ ද ? ද්වේෂය ද පුද්ගලයාගේ සිතෙහි හටගෙන පුද්ගලයාගේ නිවීම වැනසීමක් බවට පත් කරනු ලබනවා. මෙලොව වශයෙන් හා පරලොව වශයෙන් දෙලොවට ම එය බාධාවක් වෙනවා. සිතේ සැනසීම, විශ්වාසය, බවයේ නිරුද්ධත්වය, යහපත් ආත්මභාව මේ සියල්ල ම විනාශ කරනු ලබන ද්වේශය අපේ සිතේ ඇතිවන විට අපි ද එය නුවණින් දැන දුරු කරමු.