Print this Article


ජයභූමියෙහි ඉදිවන සඳහිරු සෑය

ජයභූමියෙහි ඉදිවන සඳහිරු සෑය

වසර 40 ක් අන්‍ය ආගමික පාලනයක් සතුව තිබූ ශ්‍රී ලංකාව එක් සේසත් කර මුදවා ගැනීමේ විජයග්‍රහණයේ සංකේතයක් ලෙස දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකරවීය. එය එදත් අදත් අපේ මහා ස්තූපයයි. 1980 සිට අපේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් පැවතිණ. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඍජු නායකත්වය හා මෙහෙයවීම මත ඒ යුද්ධය 2009 මැයි 19 වැනිදා විජයග්‍රහණය කිරීමට අපේ ආරක්ෂක හමුදාවලට හැකි විය.

ථූපවංශයේ සඳහන් අයුරින් විශාල ස්තූප අපේ රට පු‍රා ඉදිවී ඇත්තේ මේ අයුරින් රට සැබෑ නිදහස හා ස්වෛරීභාවය ලැබූ අවස්ථාවල දී ය. ඒ අනුව යමින් ඒ යුද ජය සැමරීමත් එම යුද්ධයේදි ජාති, ආගම් භේදවලින් තොරව දිවි පිදූ සියලු‍ දෙනා හට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන 2009 දී ජනපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මෙහෙයවීම් හා අධීක්ෂණය ඇතිව මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යය ලෙස අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ සඳහිරු සෑය’ මහා චෛත්‍යය ඉදිවීම ඇරැඹිනි.

2010 නොවැම්බර් 22 වැනිදා එය ආරම්භ කළ අතර 2014 නොවැම්බර් 23 වැනිදා එහි ධාතු නිධන් කිරීම සිදුවිය.

අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි දුටුගැමුණු රජ හා එළාර රජ මුහුණට මුහුණලා සටන් කර දුටුගැමුණු රජ ජයගත් ජය භූමියේ සඳහිරු සෑය ඉදිවීම ද විශේෂත්වයකි. එහි වැඩ කටයුතු දැන් වේගවත් අයුරින් සිදුවෙන අයුරු පසුගියදා එහි ගිය අපට දැකගත හැකි විය.

රුවන්වැලිසෑය එදත් අදත් අපේ රටේ විශාලතම හා උසම ස්තූපයයි. එහි උස අඩි 299 කි. බුදු රජාණන් වහන්සේගේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් තැන්පත් කර ඇති ස්තූපය ලෙස එදත් අදත් අපේ බෞද්ධ ජනතාව එයට ගෞරවය පුද පූජා පවත්වති. මහ සෑ රදුන්ට ගරු කිරීමක් ලෙස සඳහිරු සෑය එයට අඩි 18 ක් අඩුවෙන් එනම් අඩි 281 ක් උසින් යුක්තව ඉදිකිරීම කරනු ලැබේ.

අඩි 281 ක් උසට ඉදිවන මෙහි පළල අඩි 255 කි. වට ප්‍රමාණය අඩි 801කි. සඳගිරිසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13 කි. වැලි මළුව අක්කර 6 ක් රූඩ් එකක් හා පර්චස් 30 ක් අයත්වේ. සලපතල මළුව අක්කර 4 ක් හා රූඩ් 2 ක් ආවරණය කරයි. වෛත්‍යයට පමණක් අයිතිවන මුළු භූමි ප්‍රමාණය අක්කරයක් හා පර්චස් 20 ක් වෙයි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ, රුවන්වැලිසෑය චෛත්‍යාධිකාරි නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් හා මිරිසවැටිය රජමහා විහාරාධිකාරී ඊතලවැටුණු වැවේ ඥානතිලක මාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඇතිව මෙහි සියලු ඉදිකිරීම් සිදු කෙරෙන බව යුද හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සිවිල් ඉංජිනේරුවරු පවසති.


ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා වත්මන් අගමැති, එදා ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා චෛත්‍යයේ සර්වඥ ධාතුන් වහන්සේ හා නිධන්වස්තු තැන්පත් කිරීමේ අවස්ථාව.

ස්තූපය සම්පූර්ණ යෝධ ඉදිකිරීම සඳහා ගඩොල් ලක්ෂ 300 ක් සිමෙන්ති කොට්ට 150000 ක් වැලි කියුබ් 12300 ක් කළුගල් කියුබ් 50000 ක් ඒබීසී මිශ්‍රණය කියුබ් 20000 ක් අවශ්‍ය බව සිවිල් ඉංජිනේරුවන් ඇස්තමේන්තු කර තිබේ. සඳහිරුසෑය ඉදිකිරීම පිළිබඳව කරුණු දක්වන පුරාවිද්‍යා චක්‍රවර්ති මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ 21 වැනි සියවසේ ලෝකයේ ඉදිකෙරුණු විශාලතම හා සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරෙන එකම දාගැබ මේ සඳහිරු සෑය වනු ඇති බවයි.

‘සඳහි‍රුසෑය’ යන්නෙහි තේරුම සඳමෙන් සෞම්‍ය හා හිරු මෙන් තේජස් බවින් යුක්ත රජුන් යන්න බවත් උන් වහන්සේ පැවසූහ. මේ පිළිබඳව කරුණු දක්වන පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසන්නේ මෙම ඉදිකිරීම අවුරුදු දහසකට වඩා වැඩි කාලයකට පසු ලෝකයේ රටවල් ඇතුළත සිදු කෙරෙන ඓතිහාසික ඉදිකිරීමක් බවයි.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ථූප වංශයට අනුව මෙතරම් විශාල චෛත්‍යයක් පාදමේ සිට සම්පූර්ණයෙන් ඉදිකිරීම් කිරීමේ කර්මාන්තයක් අනුරාධපුර - පොළොන්නරු යුගයෙන් පසු සිදු කෙරී නැත. රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය, මිරිසවැටිය ආදී මහා චෛත්‍යය ඉදිකර ඇත්තේ දුටුගැමුණු සමයේදීය. ඊට පසු පොළොන්නරුවේ රන්කොත් වෙහෙර හා කිරිවෙහෙර ඉදිවී ඇත. ඊට පසු රටපුරා විවිධ ප්‍රමාණයේ චෛත්‍ය ඉදි වුවත් සඳහිරු සෑය තරම් විශාලත්වයෙන් යුත් සර්වඥ ධාතූන් නිධන් කරන පාදමේ සිට ඉදිකරන චෛත්‍යයක් වසර 1600 කින් මෙපිට මෙරට ඉදිවී නැති බව පුරාවිද්‍යාඥයෝ පවසති. යුද හමුදාවේ සිවිල් ඉංජිනේරුවරු පවසන පරිදි මෙම චෛත්‍ය සඳහා ස්තූප ගඩොල් ලක්ෂ 310 ක් අවශ්‍ය වේ. මෙම සඳහිරු සෑය ඉදි කරන ගඩොල් සුවිශේෂී ස්තූප ගඩොල් ලෙස හැඳීන්විය හැකි ය. එහි දිග අඟල් 16 කි. පළල අඟල් 8 කි. උස අඟල් 2 කි.

කර්මාන්තතයට අවශ්‍ය වැලි සියල්ල නාවික හමුදාව මගින් ලබාදෙන අතර කළුගල් ගුවන් හමුදාව මගින් ලබාදෙයි. පොලිසිය සිවිල් ආරක්ෂක බලකා නිලධාරීහු ශ්‍රම දායකත්වය සපයන අතර එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සඳහා රුපියල් දස ලක්ෂ 25 ක් ලබාදී තිබේ.

සර්වඥ ධාතූන් වහන්සේ හා නිධන් වස්තු චෛත්‍යයේ තැන්පත් කිරීමේ මහා පුණ්‍යෙීත්සවය 2014 නොවැම්බර් 23 වැනිදා උත්කර්ෂවත් ලෙස

මහා නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. රත්රන් වලින් නිම කළ බුදු පිළිමයක්, රත්රන් වලින් සැකසූ බෝධින් වහන්සේ නමක්, රන් පත් ඉරුවල ලියන ලද ත්‍රිපිටකය ද මෙහි තැන්පත් කෙරිණි.

මෙම සඳහිරු සෑයේ තවත් විශේෂත්වයක් වනුයේ අනුරපුර විශාලතම ශෛලමය කලාගාරයක් ද මෙම ‍දාගැබ පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත බැවිනි. සෑයේ සලපතල මළුව හා වැලි මළුව අතර ප්‍රාකාරයේ සතර දෙසට අඩි 400 බැගින් වූ ප්‍රදේශයේ ගලින් නෙළන ලද බෞද්ධ කැටයම්, දස පාරමිතා බුදු දහමේ විකාශය, ශාසන ඉතිහාසය මෙන් ම යුද්ධය අවසන් කිරීම දක්වා විවිධ අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු යොදා ඇත.

දැන් මෙහි ඉදිකිරීම් වලින් සියයට 70 ක් අවසන් අතර චූඩාමාණික්‍යය මැණික් ඔබ්බවා සකස් කිරීම ද දැන් සිදුවෙමින් පවතින බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ පැවසූහ. චූඩා මාණික්‍යය හා රන්කොත ඉදිරි දිනවලදී දිස්ත්‍රික්ක 20 ක ජනතාවට වන්දනා කිරීමට අවස්ථාව සලසා දීමට ද කටයුතු යොදා ඇති බවත් දැන් චෛත්‍යයේ අඩි 97ක් උසට හතරැස් කොටුව දක්වා ඉදිකිරීම් අවසන් කර ඇති බවත් සඳහිරුසෑය ව්‍යාපෘති සම්බන්ධීකාරක 9 වැනි ඉංජිනේ‍රු රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් මොහාන් කුමාර මහතා පවසයි.

මෙම චෛත්‍යය ලබන වසරේ මැයි මාසයේ වෙසක් පසළොස්වක දින සිට ජනතාවගේ වන්දනා හා පූජා කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතය.