Print this Article


දේව දූතයන් දැක අකුසලයෙන් මිදෙන්න

දේව දූතයන් දැක අකුසලයෙන් මිදෙන්න

දේව දූතයෝ තිදෙනෙක් ගැන බුදුන් වහන්සේ පහදා දුන්නා. ඇතැම් කෙනෙක් සිතෙන්, කයෙන්, වචනයෙන් පව් කර, මරණින් මතු නරකාදියට වැටෙනවා. ජීවත්ව සිටියදී පිනක් දහමක් කළේ නැහැ. බුදුන් වැඳීම, මව් පියන්ට සැලකීම කළේ නැහැ. යහපත් ව ජීවත් නොවී මව් පියන්ට, ස්වාමි දියණියට, ස්වාමියාට, දරුවන්ට, කරදර ආදිය කරමින් නොයෙක් පාප කර්ම සිදු කළා. එය කාය, වාග්, මනෝ දුස්චරිත යනුවෙන් සඳහන් කරනවා.

නිරයේ විපාකය බරපතළ යි

එලෙස පාප කර්ම කර මරණින් මතු නරකාදියේ උපත ලබනවා. නිරය පාලක යමපල්ලෝ දෑතින් අල්ලාගෙන යම රජ්ජුරුවන්ට හමුවට පමුණුවනවා. ‘දේවයන් වහන්ස , මොහු මවට,පියාට,ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට, වැඩිහිටියන්ට සැලකුවේ නැහැ, පිනක් දහමක් කළේ නැහැ යනුවෙන්. දේවයන් වහන්ස, මොහුට කැමැති දඬුවමක් දෙන්න කියනවා. එවිට යම රජ්ජුරුවෝ මෙලෙස අසනවා. ‘නුඹ දැක තිබෙනවාද, පළමු දේව දූතයා? නැත ස්වාමීනි, “නුඹ මනු ලොව සිටියදී ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වයස අවුරුදු අසූව , සියය හෝ එයට වැඩි ගණනක් ජරා ජීර්ණ ව, නැඟිට ගන්නට නොහැකිව කෑ ගසනවා, ආතුරයෙක් ව, කෙස් ටික පැසී, දසන් වැටී , ඇඟ රැලි වැටී සිටිනවා නුඹ දුටුවේ නැතිද?” යනුවෙන් විමසනවා.

එහෙමනම් නුඹට සිතුණේ නැතිද මේ තත්ත්වයට තමාත් පත්ව පිනක් දහමක් කළ යුතු බව. එහෙම සිතුණේ නැහැ ස්වාමීනි, නුඹ වචනයෙන්, සිතෙන්, කයෙන් පව් කර ප්‍රමාද විහරණයෙන් වාසය කර, දැන් නුඹ පැමිණ සිටින්නේ එහි විපාක විඳින්න යි.

මව් පියන්ට, සහෝදර සහෝදරියන්ට, මිත්‍රයන්ට, ඥාතීන්ට , දෙවියන්ට , ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකුවේ නැහැ. නුඹ දරුණු පාප කර්ම කර තිබෙනවා යනුවෙන් පැවසුවා. නුඹ දෙවන දේව දූතයා දුටුවාද? නැත ස්වාමීනි. ඇයි? නුඹ මනු ලොව සිටියදී ආබාධ වලින් පෙළී ගිය, ගිලන් ව සිටි, වැසිකිළි කැසිකිළි එක්තැනක කරගෙන නැඟිටගන්න බැරිව කෑ ගසන කෙනෙකු දුටුවේ නැතිද?

දුටුවා ස්වාමීනි. එහෙමනම් ඔබට ඒ මොහොතේවත් සිතුණේ නැතිද, අනේ ! මාත් මෙවැනි තත්ත්වයට පත්වෙනවා යනුවෙන්. රෝගීව දුක් විඳින්න සිදු වී කෑ ගසන්න වෙනවා , හොඳ කළ යුතු බව දන්නේ නැති ද?

මගේ ප්‍රමාදයක් ස්වාමීනි, මට කරගන්න බැරි වුණා.

නුඹගේ ප්‍රමාදය නිසා සිතෙන්,කයෙන් , වචනයෙන් හොඳ දේ කළේ නැහැ, එහෙමනම් ඔබට මහා දරුණු විපාක ලැබෙනවා.

ඉදිමී ගිය මළ සිරුරත් පාඩමක්

‘මනු ලොව සිටියදී නුඹ තුන්වන දේව දූතයා දුටුවේ නැති’ද?

‘නැත ස්වාමීනි”

‘නුඹ මනු ලොව සිටියදී ඉදිමී, නිල් පැහැ ගැන්වී , සැරව ගලන, පණුවන් ගසා ඇති මෘත සිරුරක් දුටුවේ නැති ද? “දුටුවා ස්වාමී”. එහෙමනම්, ඔබට සිතුණේ නැති ද ඒ තැනැත්තා මෙන් තමා ද මරණයට පත්ව ඉදිමී , කුණුවී , පණුවන් ගසන බව.

සිතුණේ නැහැ. ස්වාමීනි.

එය ද ප්‍රමාදයක් බව පැවසුවා.

නුඹ සිතෙන්, කයෙන්, වචනයෙන් පව් කළා. පිනක් දහමක් නොකර ප්‍රමාදවී පව් කළා. මව් පියන්ට සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට සැලකුවේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට , දෙවියන්ට සැලකුවේ නැහැ. ඔබට දරුණු පාප කර්ම තිබෙනවා. ඒ නිසා දරුණු විපාකයක් විඳිය යුතු යි යනුවෙන් පැවසූ විටම යම පල්ලන් පැමිණ මොහුට පංචවිධ බන්ධනයක් කරනවා. යකඩ උල්වලින් දෑතට, දෙපාවලට, පපුවට විද දරුණු දුක් ලබා දෙනවා. ඇදගෙන ගොස් වෑයෙන් රහිනවා. උල තබනවා. ලෝදිය පොවනවා. ලෝහ ගුලි ගිල්වනවා, හිස පහළට, දෙපා ඉහළට තබා වෑයෙන් රහිනවා, ගින්නෙන් දිලෙන අඟුරු පර්වත මත විසි කරනු ලබනවා. මේ මත නැංවීම, බැස්සවීම නිරතුරුව ම සිදු කරනු ලබනවා. උතුරන ලෝ දිය මත හිස ඔබ්බවා නැවත දෙපා ද දමයි. මෙලෙස අති භයානක ඝෝර කටුක දුක් දෙනු ලබයි. මෙහි විඳින දුක සීමාවක් නැහැ. සතර කොණේ ඇති දොරටු සතරෙන් පැන යන්නට සූදානම් වුවත් ඒවා නැවත වැසී යනු ලබනවා. මෙලෙස නරකාදියෙහි විඳින දුක සීමාවක් නැහැ.

මෙලෙස පාපයන්ට ගොදුරු වුණේ මනු ලොව සිටියදී පාපයන් සිදු කළ නිස යි. ඒ නිසා මනු ලොව සිටින ඕනෑම කෙනෙක් මවට පියාට, සහෝදර සහෝදරියන්ට, නෑදෑ හිත මිතුරන්ට , වැඩිහිටියන්ට සලකන්නේ නැතිනම්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සලකන්නේ නැතිනම්, බුද්ධ, ධම්ම , සංඝ රත්නත්‍රයට සලකන්නේ නැතිනම්, අගෞරව කරනවා නම්, සත්ත්ව ඝාතන ආදී පස් පව් කරනවා නම්, සූදුව, දුරාචාරය කරනවා නම්, කිසි දිනක සැනසුමක් නැහැ. නරකාදියට යා යුතු ම යි. එහිදී නඩු විභාගයෙන් පව් කළ බව ඔප්පු වූයේ නම්, ඒ මොහොතේ පටන් ගිනි ජාලාවක් මධ්‍යයේ දුක් විඳිය යුතු යි. එහි විඳින දුක සීමාවක් නැහැ. කෑ ගසා විලාප නඟා පැන යන්න හදනවා. කුමන ලෙසකින්වත් යන්නට බැහැ. කළ පව් දරුණු වැඩි යි. විපාක දරුණු යි. ඒ නිසා පින්වතුනි, පැවිදි, ගිහි, රජෙක් වුව ද, කොයි කවුරු වුව ද කිසිම පාපයක් කරන්නට එපා.

සියලු සම්පත් ලබන මග පහසු යි - පිරිසුදු යි

මේවා හොඳින් දැන කියාගෙන හොඳින් පන්සිල් රැක , පෝයට අටසිල් ගෙන, පන්සලට යන්න එන්න, හොඳින් බුදුන් වඳින්න, බණ අසන්න, දානමය පින්කම් , භාවනා ආදිය කර ගන්න. මව් පියන්ට වැඩිහිටියන්ට හොඳින් සලකන්න. මෙලෙස පින්දහම් කළොත් මනු ලොව, දෙව් ලොව දෙකෙහි ම අති විශාල සම්පත් ලැබෙනවා. සියලු සම්පත් ලබා ගන්න පුළුවන් වන්නේ සිත , කය , වචනය ආදියෙන් පින් දහම් කළොත් පමණ යි. සිත හොඳනම්, සිත පිරිසුදු නම්, මේ කියන ලද කුසල ධර්මයන් රැස් කළොත්, දාන, ශීල, භාවනා වශයෙන් යමෙකුට මරණින් මතු යහපත් භවයක් ලැබිය හැකි යි. මනු ලොව, දෙව් ලොව උපත ලබන්න පුළුවන්. භාවනා කළොත් බඹ ලොව උපත ලබන්න පුළුවන්.

සිත, කය , වචනයේ සංවර බව

එසේනම්, දේව දූත සූත්‍රයේ දැක්වෙන පළමු දේව දූතයා, දෙවන දේව දූතයා, තුන්වන දේව දූතයා යනුවෙන් අපම යි මෙලෙස සඳහන් කරන්නේ. වයසට ගිය කෙනෙක්, ජරාවට පත්වුණ රෝගී වූ අයෙක්, මරණයට පත්ව මෘත සිරුරෙන් ලේ වැඟිරෙන, සැරව වැගිරෙන අයෙක්. මේ අවස්ථා තුන ඇසට දකින්න, කනට ඇසෙන්න තියෙනවා. මේ ගැන කල්පනාවෙන් සැවොම පවට ගිජු නොවී , සිතෙන් , කයෙන්, වදනෙන් පව් නොකර යහපත් දේ කරන්න. බුදු, පසේ බුදු , මහ රහතන් වහන්සේ අපට යා යුතු මඟ හොඳින් පහදා දුන්නා. නිවන් මඟ ගොස් සුගතියක වාසයෙන් , අපායට යන දොරටු වසා දමා ගන්න. ඒ සඳහා සිත, කය , වචනය සංවර කරගත යුතු ම යි.

මනු ලොව ඇතැමුන් දුගී දුප්පත් ව ආහාර ඇඳුම් පැළඳුම් නැතිව පෙළෙනවා. අද කාලයේ වැනි දරුණු වසංගත රෝගවලින් පෙළෙනවා. මේ පාපයේ විපාකය යි. මේ ගැන හොඳින් කල්පනා කර සෑම දෙනාම පිනට දහමට ගුණයට නැඹුරු වන්න. අපායට බිය වී තම සිත දමනය කර, හැකිතාක් දාන, ශීල, භාවනා, කර දිනපතා ම නළලත බිම තබා හොඳින් බුදුන් නමඳින්න. පිරිසුදුවට සම්බුද්ධ පූජාවන් පවත්වා ගන්න. මේ පිනම අපා දුකෙන් නිදහස් වෙන්නට හේතු වෙයි. කාටත් මෙලෙස සතර අපා දුකෙන් නිදහස් ව නිවන් පසක් කරගන්නට හේතු වාසනා වේවා !