Print this Article


පහන් සිතක කවි

තුන්ලොව දිනූ සේක

බුදු වන බවට සලකුණු දැක සිහින පසින්
මිදුමට කෙලෙස් තිර අදිටන තැබුවෙ නිසින්
වැඳුමට දහම් කඳ සත වෙත ස තර දෙසින්
සිදු විය මාර සෙන් පැරදුම කුලුණු බසින්

වනසා ලෝ සතුන් කප් කෙළ විඳපු දුක
සනසා සියලු සත දම් ඔසුවකින් එක
සුන් කර කෙලෙස් මර සෙන් පුන් පෝ දාක
තුන් ලොව දිනූ ගුරු පිරිනිවි වැඩි සේක

****

ජයග්‍රාහී කවිය

සමරමු මිහිඳු හිමි

පියරජු ඇරයුමෙන් දන වෙත බැඳුන පෙමින්
හිමියනි මිහිඳු වැඩි ලක දම් සුවඳ ලමින්
පෝයට පොසොන් බුදු සිරිපා ළඟට වෙමින්
සමරමු මිහිඳු හිමි පුද මල් සුවඳ දමින්

හෙළ බොදු කලා නිමවුම් රටතොට මැවුනී
දාගැබ් පිළිම ළඟ හෙළ දන දණ නැමුනී
දහමට පිනට ලැදි සැම බුදුමඟ ඇදුනී
අනුබුදු මිහිඳු හිමි දෙසු දම් රට දිලිනී

****

ලොකු හාමුදුරුවෝ

දී හැම විටම ඔවදන් පෙරටුවෙහි සිටී
නායක හාමුදුරුවෝ ලෙඩ ඇෙඳහි සිටී
ජීවය අයැද බෝ හිමි අබියසෙහි වැටී
දායක පිරිස හෙළුවා දුක් කඳුළු කැටී

දෙවියන් බුදුන් වෙත දුක් මුසු පුවත කියා
සැදැහැතියෝ දුවති තෙල් මල් සුවඳ සොයා
අවසන් බෝධි පූජාවට ලකුණු තියා
දැල් වූ පහන් සැඩ සුළඟට නිවී ගියා

හුදු දන වෙත දහම් දෙසමින් සුපසන්න
ගොරතර සසර භවයෙන් උන් මුදවන්න
ගෞරවනීය හිමියනි උජු පටිපන්න
යළි බුදු පුතෙකු වී මේ බිම උපදින්න

****

අනුසස්

බුදුරුව ඉදිරියේ ඇති පරමල්
අස්කිරීමේ පින නම් මනරම්
බෝ විහාර මළුව වැනි ඇමදුම්
අනුසස් ලැබෙයි අති මනරම්

****

අනියත බව

දෙපෝය වැඩියේ ඊයේ දවසෙයි
බෝපත් හැලිලා රටා නිමාවෙයි
පහන් වැටේ සිළු මියඳුන ගානයි
මලසුන මත මල් පරවුණ පාටයි

සියල්ල වෙනසක හැඩරුව අරගෙන
කාලෙ ගෙවෙන හැටි සිහියෙන් දැනගෙන
පොඩි හාමුදුරුවො බුදු ගෙයි හිඳගෙන
බවුන් වඩනවා සිත සන්සුන් වෙන

****

කොවිඩ් සිතිවිලි

නොඅඩුය ධන බලය බටහිර රට වලට
සුලබය උපකරණ රෝහල් බිම් වලට
දුබලය මිනිස්කම අපගේ මෙන් එහෙට
මරණය පත් කරයි ලෝවැසියන් දුකට

ලොව අනියත ය තිලකුණ දෙස යොමු වන්න
දුක නියතයකි කෝවිඩ් ගැන ගොනු වන්න
දින දෙක තුනක් තුළ මර බිය මුසු වන්න
මිනිසා කළ වරද කිමදැයි විම සන්න

****

හොඳ නොහොඳ

ඉසිකෝ මානයෙන් සිත කෙලෙසන්න එපා
මුසාවාදයට නම් යොමු වෙන්න එපා
මනසින් පහත් අය ලෙස හැසිරෙන්න එපා
කළ ගුණ කෙලෙසවත් අමතක කරනු එපා

හොඳ දිවි පෙවෙතකට යහ මඟ කියා දී
දරුවන් යවා නිසි උපදෙස් ලබා දී
කරමින් රට දැයට සුබ දේ සලසා දී
විස්සයි විස්ස සමරමු විසි එකේ දී

****

පරම නිදහස

රූපය කිමැයි තේරුම් ගත් දිනෙක යමෙක්
ඇතිවෙයි ඇසේ නිදහස නොමැතිවම දුකක්
හඬ තේරුම් ගනී නම් යම් අයකු දිනක්
සවනින් ලබන නිදහස වේ අසුරු මිණක්

තනිව සරන දුර ඕනෑ තරම් යන
සිරුර නොමැත ලෙන තුළ ඇති ලැගුම් ගෙන
අරුම සිතක නිදහස ලැබුවොතින් පින
අමර සුවය එය වේ මැයි නිවන් යන

****

බෝපත් සෙවණ

රන්වන් දළුලන බෝපත් සෙවණ යට
නිල්වන් කොළලන බෝපත් සෙවණ යට
සහනය ගෙනෙයි සමිෙඳ් ඔබ නෙතුමානේ සිටින විට
නිවන තමයි අන් සරණක් නැත අපට

****

ආයු බෝ වේවා!

හමුදා ත්‍රිත්වය ඇතුළු රෝහල් සැම සියලු දෙනා
වෙහෙසදරා ගුණ නුවණින් සැවොම එක්ව වැඩ කෙරුණා
කොරෝනාව පැරදවු රට උතුම් ම ශ්‍රී ලංකාව වුණා
මෙහැම ඇතුළු රටේ සැවොම සියක් ආයු බෝ වේවා !