Print this Article


මානසික සුවයට සැහැල්ලු දිවිපැවැත්ම

මානසික සුවයට සැහැල්ලු දිවි පැවැත්ම

"මනා වාතාශ්‍රයෙන් ගහන වූ එළිමහනක් සිතකට මොනතරම් සහනයක්, සුවයක්, සැහැල්ලුවක් ඇති කරනවා ද? බඩුබාහිරාදියෙන් ගොඩගැසුණු කාමරයක් තුළ, භෞතික මෙවලම්වලින් පිරි පරිසරයක් තුළ චිත්ත විවේකය හීනවෙයි."

“අප්පිච්ඡතා” යනු නොයෙක් දෙයට ආශාවන්ගෙන් තොර බවයි. එසේ ම දැඩි ආශාවන් නොමැති, මද ආශාවන් ඇති බවයි. “සන්තුට්ඨිතා” යනු යහපත් වූ හෝ, අයහපත් වූ හෝ, මද වූ හෝ තමාට ඇති දෙයින් සතුටට පත්වන බවයි. මෙම ගුණධර්ම දෙක ගහට පොත්ත සේ පොත්තට ගහ සේ එකට බැඳී පවත්නා ගුණයන් දෙකකි.

තමන් සන්තකයේ කොතෙක් ධනස්කන්ධයක් උපභෝග පරිභෝග වශයෙන් තිබුණත් අනෙකා ළඟ පවතින කුඩා ම දෙය කෙරෙහි වුව ලෝභ සහගත වී එයට ආශා කිරීම පෘථග්ජන ස්වභාවයයි. ඒ පිළිබඳ ව බුදු දහමේ “ඉච්ඡාව“ හෙවත් “ආශාව“ සතරාකාරබව “පරමත්ථ ජෝතිකා” නම් වූ ඛුද්දකපාඨට්ඨකථාවෙහි ද “මෙත්ත” සූත්‍ර වර්ණනාවෙහි ද දක්වා ඇත.

ලද දෙයින් තෘප්තිමත් නොවී, දේ සිතන පතන ස්වභාවය අත්‍රිච්ඡතාවයි. මානසික ආතතියකින් පෙළෙමින් අනුන් සන්තක දේ තමන්ට ලැබිය යුතුයි යැයි සිතයි. එවන් ළාමක ලෝභයෙන් නිර්මිත අත්‍රිච්ඡිතයා සමාජය තුළ පිළිකුලට පත්වී තම ලාභයන්ගෙන් පිරිහීමට පත්වෙයි.

කොතෙකුත් භෞතික සම්පත් ලැබුණත් තව තවත් දේ අපේක්ෂාවෙන් ගිජුව බොහෝ දේ සොයන, රැස්කරන ස්වභාවය මහිච්ඡතාවයි. අත්‍රිච්ඡතා මහිච්ඡිතා හේතුවෙන් වඩා ළාමක ලෝභය ඉස්මතුව නැතිගුණ මවාපාමින් අතෘප්තිකර අධිපරිභෝජන ප්‍රත්‍ය පරිහරණ මානසික ස්වභාවය පාපිච්ඡතාවයි.

ඇති ගුණ සඟවන බව ද, පමණ දන්නා බව ද අප්පිච්ඡතා නම් වේ. එසේ ම තම ගුණ දැනගැනීම නොකැමැතිවීම “අල්පේච්ඡතාව“ ලෙස හැඳින්වේ. අල්පේච්ඡ තැනැත්තා තම ප්‍රත්‍ය පිළිබඳ, ධූතාංග පිළිබඳ, පර්යාප්තිය පිළිබඳ, හා අධිගමනය පිළිබඳ අන්‍යයන්ගේ දැනගැනීම අපේකෂා නොකරයි. මන්ද යත් “අප්ප” යන අභාවාර්ථයෙන් ගම්‍ය වන්නේ සර්වප්‍රකාරයෙන් ම නසන ලද කෙලෙස් ඇති රහතන් වහන්සේ ය. උන්වහන්සේ තුළ ස්වල්පමාත්‍ර වූ ද ආශාවක් නොමැති හෙයිනි.

අප්පිච්ඡතාවෙන් පිරිපුන්, සන්තුට්ඨිතාවෙන් හික්ම වූ ආර්යයා තම දිවි පෙවෙතෙහි ජීවය ලෙස අප්පිච්ඡතාවය සලකා තෘෂ්ණාවෙන් හා කාමුකත්වයෙන් තොරව වාසය කරයි. බඩු බාහිරාදිය වැඩිවන තරමට ඒවා සංරක්ෂණය කිරීමට, සොයා බලා ගැනීමට සිත වෙහෙසීම සඳහා කාලයක් ගතවෙයි. එබඳු කළයුතු වැඩ වෙනුවෙන් තම කාලය බහුල කරගැනීමක් සේ සිතයි. කාලය කළමනා කර ගැනීම අල්පේච්ඡ තැනැත්තා හඳුනා ගැනීමට ඇති උපස්ථම්භයකි.

කාමච්ඡන්දයෙන් ගිජු වූ, තෘෂ්ණාවෙන් භරිත වූ පුද්ගලයා තම මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ආශාවන් අවදිකොට හඹා යමින් ඒවා වැඩි වැඩියෙන් අත්පත් කර ගැනීමට වෙහෙසෙයි. පාරිභෝගිකත්වය මත දිවි වඩන එවන් පුහුදුන් පුද්ගලයා සියලු ආශාවන් සලකන්නේ තම තමන්ගේ අවශ්‍යතාවන් වශයෙනි. මේ නිසා ම ඔහු බහු භාණ්ඩිකත්වයෙන් හෙබි, අප්පිච්ඡතාව පිළිබඳ අල්පමාත්‍ර වූ හැඟීමෙන් තොරව අගහිඟකමින් මිරිකී, නැතිබැරිකමින් හා දුප්පත්බවින් අසරණ ව ජීවිකාව ගතකරයි. එසේ ම අනවශ්‍ය අවශ්‍යතාවන් තමන් වෙත සමීපකර ගැනීම සඳහා පඤ්ච දුශ්චරිතයන්ට මැදි වී දූෂිත ධනෝපායයන් හා පොළියට මුදල් ගැනීම ආදී වූ විවිධ අක්‍රමිකතාවන්ට ගොදුරු වෙයි. අවසන ඔහු වෙත ඉතිරිවනුයේ ගැටලු, අසහනය සහ පරිහානිය පමණි. ඔහු මිය යන්නේ ද අතෘප්තිකර ආශාභරිත අයකු පරිද්දෙනි.

බෞද්ධ චින්තාවන්ට අනුගත ව දිවි වඩන්නෙකුට අවශ්‍යතාවන් වැඩි කර ගැනීම නොව, ඒවා අඩු කරගැනීම සිතේ සැහැල්ලුවට හේතු වෙයි. සැහැල්ලු පැවැත්ම විශිෂ්ට ජීවිතයකට තිබිය යුතු උතුම් චරිතාංගයකි. ඇඳුමෙන්, පැළඳුමෙන් හා පරිබාහිර සලකුණුවලින් වඩාත් උසස් බව පෙන්නුම් කරන්නට යත්න දරන මද මානසිකත්වයෙන් හෙබි පුහුදුන් පුද්ගලයා ඉන් තම අභ්‍යන්තර හිස්බව ප්‍රකට කරයි. අප්පිච්ඡතාවෙන් දිවි ගෙවීම යනු ඇතුළත නොසිස් බව පෙන්නුම් කිරීමකි. බාහිර ආටෝපයන් තුළින් කුල්මත් ව අභ්‍යන්තරය හිස්කරගත් තැනැත්තා අනවශ්‍ය ඝෝෂාවෙන් හා පරිබාහිර අලංකාරයෙන් නුවණැතියන් හමුවේ පරිභවයට පාත්‍ර වේ. බුදු දහමින් ශික්ෂිත ව, ප්‍රභාවිත වූ අපේ පැරැන්නෝ චාම් දිවි පෙවෙත අගය කළෝ ය. බාහිර අලංකාරය සඳහා වැඩි සැලකිල්ලක් නොදැක්වූහ. අනිත් අයට වඩා තමන් උසස් වූවකු ලෙස මානයෙන් උදම් වූ ඇතැම්හු භෞතික මෙවලම් කෙරෙන් සැපත සොයා යන්නටත්, ඉන් තම පුරාජේරුව කියාපාන්නටත් උත්සුක වෙති. අවසන් ප්‍රතිඵලය ලෙස ඔවුන් සතු කරගන්නේ අල්පේච්ඡතාව වෙනුවට අසහනයෙන් තෘප්ත වූ අසංතෘප්තියයි.

පුද්ගල අවශ්‍යතා නානප්‍රකාර ය. විවිධ අශ්‍යතා අවම වශයෙන් සපුරාගෙන කෙනෙකුට ජීවත්වීමේ හැකියාව හා තෘප්තිමත් මානසික කළමනාකාරිත්වයක් ඇති කරගැනීම අල්පේච්ඡතාව වශයෙන් ගැනේ. වත්මන් සමාජය තුළ ක්‍රියාත්මක ව පවතින බහුවිධ ආර්ථික රටාවන් දෙස බලන විට අල්පේච්ඡතාවක්, ලද දෙයින් සතුටුවීමක් ගැන සිතන්නට පවා දුෂ්කර ය. අල්පේච්ඡතාව ඉක්මවූ පරිභෝජනයෙන් ද, පරිභෝජනයන් ඉක්මවූ අධිපරිභෝජනයන් ද අල්පේච්ඡතාව හා සන්තෘප්තිය වෙන්කර ගැනීම හා තෝරා බේරාගැනීම වත්මනෙහි ඤාණවන්තයාට ඇති අභියෝගයකි.

බොහෝ දෙනා ජීවන දරිද්‍රතාවෙන් මිරිකී ඉච්ඡාභංගත්වයෙන් කායික මානසික දුක් විඳිමින් අප්පිච්ඡතා ගුණය හුරුපුරුදු කර ගැනීමට අපොහොසත් ව දිවි ගෙවති. ධාර්මික පදනමක පිහිටා මෙලොව පරලොව අභිවෘද්ධිය අභිප්‍රායෙන් අප්පිච්ඡතාවට පේ වන තැනැත්තා සැහැල්ලුබව අත්විඳිනු ඇත.

එහෙයින් ම බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට සිව්පස පරිභෝජනය සඳහා ශික්ෂා පනවා වදාළහ.

නුවණින් සලකා බලා චීවර පරිහරණය, පිණ්ඩපාත භෝජන පරිහරණය, සේනාසන පරිහරණය, ගිලානප්‍රත්‍ය පරිහරණය කළ යුතු බව අනිවාර්යයෙන් අවධාරණය කළහ. සිව්පසය සිල්වතාට සුදුසු ය. දුස්සීලයාට නුසුදුසු යැයි ද පෙන්වා දී ඇත. ඒ නිසා ම භික්ෂුව සිල්වත් ව, අන්තේවාසික දායක පින්වතුන්ගේ ප්‍රත්‍ය පිළිගන්නට යුහුසුළු වෙයි. ආධ්‍යාත්මික ගුණ දියුණු කරගනිමින් අප්පිච්ඡතාව වඩන්නට උත්සාහවත්වන කවරකුට වුව සකල ක්ලේශයන් ප්‍රහාණය කිරීමට සිහිනුවණින් සිව්පස පරිභෝගය ඉවහල්වනු ඇත.

ගිහි පැවිදි උභයපාර්ශවයට ම ලෝභාදී පාප ධර්මයන් නොවැඩෙන පරිදි සිව්පස පරිභෝජනය කිරීමෙන් අප්පිච්ඡතා සන්තුට්ඨිතා, සුභරතා වැනි ශ්‍රේෂ්ඨ ගුණධර්ම වැඩෙන අතර, එය ලෞකික ලෝකෝතර විමුක්ති සාධනයට ද ඉවහල්වනු ඇත.

මනා වාතාශ්‍රයෙන් ගහන වූ එළිමහනක් සිතකට මොනතරම් සහනයක්, සුවයක්, සැහැල්ලුවක් ඇති කරනවා ද? බඩුබාහිරාදියෙන් ගොඩගැසුණු කාමරයක් තුළ, භෞතික මෙවලම්වලින් පිරි පරිසරයක් තුළ චිත්ත විවේකය හීනවෙයි. භාවනාවෙහි නියුතු යෝගාවචරයාට මෙන්ම, අද්‍යයන කාර්යයන්හි නියුතු ශිෂ්‍යයාට ද බහුභාණ්ඩිකවීම අනවශ්‍ය කරදරයකි.

බහුවිධ උපකරණ නිර්වාණ ප්‍රතිපදාවට හා අල්පේච්ඡතාවට අවහිරයකි. තෘෂ්ණාවේ වහලුන් බවට පත්ව දිවි ගෙවීමකි. එවැන්නෝ අනිවාර්යයෙන් ම අප්පිච්ඡතාවෙන් පිිරිහිණු සන්තුට්ඨිතාවෙන් ගිලිහුණු සසර ගමනට භාජනය වූවෝ වෙති. එහෙයින් සම්බුද්ධ දේශිත “අඤ්ඤාහි ලාභූපනිසා - අඤ්ඤා නිබ්බානගාමිනි’ යන ධම්ම පදයට අනුව “ලාභසත්කාර උපදවන පිළිවෙත එකක්. නිවන කරා ළංවන පිළිවෙත අනෙකකි.” යන්න තේරුම්ගෙන බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ලාභ සත්කාරවලට යටනොවී විවේකය වඩමින් අප්පිච්ඡතාවෙන් හා සන්තුට්ඨිතාවෙන් දිවි වඩන්නට උත්සාහවත්විය යුතු ය.