Print this Article


බුදුදහම හා සැබෑ ආදරය

බුදුදහම හා සැබෑ ආදරය

2017 වසරේ ඔක්තෝම්බර් 08 වන දා ලැව්ගින්නෙන් මියගිය, ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ නාපාවැහිලි පදිංචිව සිටි චාල්ස් හා සාරා කොප්ලි යුවලගේ මරණ මෙරට පුවත්පත් හා ජනමාධ්‍ය ගණනාවක කැපීපෙනුණු ප්‍රවෘත්තියක් බවට පත්ව තිබිණ.

පිළිවෙළින් අවුරුදු නවය හා එකොළොස්වන වියේ හමුව, 1942 වසරේ විවාහ වී, අවුරුදු 75 ක සාමකාමී හා ආදරබර යුගදිවියක් ගෙවා මියයන විට සාරා මහත්මිය 98 වියත්, චාල්ස් මහතා අවුරුදු 100 ත් සම්පූර්ණකොට සිටියහ. ඔවුන්ගේ දරුවන් පස් දෙනාට අනුව ඔවුහු කිසිදා එකිනෙකාට අගෞරව වදන් භාවිත නොකළ, නිකැළැල්, ආදරබර යුවළක් වූ අතර, චාල්ස් මහතාට දිවි බේරා ගත හැකි ව තිබූමුත්, රෝගී සාරා මහත්මිය බේරා ගැනීමට උත්සාහ කිරීම කරණකොට සිය අවසන් ගමන් ගොස් තිබිණි. ඔවුන්ගේ නොබිඳුණු ආදරය සැමගේ විමතියටත්, අත්‍යන්ත ගෞරවයටත් ලක්විය.

2012 වසරේ දත්තවලට අනුව ඇමරිකානු විවාහ අතරින් දෙකෙන් එකක් ඒකාන්තයෙන් ම දික්කසාදයෙන් කෙළවර වේ. ශ්‍රී ලංකාවේ එම තත්තත්වය ගත්කළ ප්‍රතිශතය විවාහ දහසකට 1.5 කි. නමුත්, මෙය සැබැවින් ම වර්ධනය වනු දක්නට ලැබෙන්නේ මීට කලින් ලාංකේය දත්තය 0.57 ක් වූ නිසාවෙනි. මෙයට හේතුව කුමක්ද? සැබෑ ආදරය කුමක්ද යන්න වටහාගත නොහැකි බව යි.

බුදුදහමට අනුව සැබෑ ආදරය මේ ජීවිතය තුළ දී මෙන් ම නිවන් දක්නා ජාති දක්වා ම බෙදා හදා ගන්නා අධිෂ්ඨානශීලී බන්ධනයකි. පාරමිතා එකට පූරණය කරමින්, දහම් මග වඩමින් නිර්වාණ ගාමී මාර්ගයේ එකිනෙකාට සහාය වෙමින් ගමන් ගන්නා, දිවි හිමියෙන් කරන මහා පොරොන්දුවකි. මරණය වුව ද එහි තාවකාලික නැවතුම්පළක් පමණි. උපනුපන් ආත්මභාවවලදී එකට කැටුව යාමට සැබෑ බොදුනු ආදරය සපථ කරයි.

හුදෙක් ආදරය මිශි‍්‍රත හැඟීමකින් පමණක් උපනුපන් ආත්මභාවයන්හි එකට හමුවිය නොහැකි බව නකුලමාතා, නකුලපිතා කථාවස්තුවෙන් පැහැදිලි වෙයි. සොළොස් වියෙහි දී විවාහ වී ආදරබර දිවියක් ගෙවූ අසූ වන විය සැපිරූ ඒ දෙපළ හමුවට බුදුරදුන් වැඩි අවස්ථාවෙහි නකුලපිතා නොහොත් නකුලගේ පියා බුදුරජාණන් වහන්සේට මෙසේ තම සිතිවිලි දක්වාලූයේ ය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම දහසය වන වියෙහි නකුලමාතා සමග විවාහ ව, ඉතාමත් සෙනෙහෙබර යුග දිවියක් ගෙවමි. මේතාක් අප අතර කිසිදා බහින්බස් වීමක් තබා අමනාපයෙන් බැලීමක් වත් සිදු වී නැත. මම කිසිදා නකුල මාතාව හැර අන්‍ය ස්ත්‍රියක් පිළිබඳ රාග සිතිවිලි මාත්‍රයක් හෝ නොසිතුවෙමි. මේ ආත්මයේ පමණක් නොව මතු ආත්ම භාවවලදීත් ඇයව දකින්නත්, මුණගැසෙන්නත්, ඇය හා එක්ව වාසය කරන්නත් කැමැතියි.

නිහඬව සිටි නකුල මාතා ව ද මෙසේ පැවසුවා ය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම ද එසේ වෙමි. අප දෙදෙනාම අසූ වියැති වෙමු. මා නකුලපිතා හා විවාහ වූ පටන් මේ දක්වා අමනාප බැල්මක්වත් නොහෙළුවෙමි. සිතිනුදු ඔහු නොඉක්මවූයෙමි. කයින් එය කෙසේ වන්න ද? මම ද ඔහු මගෙග් මතු ආත්මවලදී ද ස්වාමියා කරගන්නට කැමැති වෙමි. එය එසේ ඉටුවේද? ස්වාමීනී?”

බුදුරජාණන් වහන්සේ මඳසිනා පහළ කළහ.

“එය විය හැකි ය. ඉඳින් යම් යුවළක් සම ශ්‍රද්ධා, සමසීල, සමචාග, සමපඤ්ඤා යන ගුණ හතරින් යුක්ත වෙනවා නම් එම යුවළගේ සංසාර බලාපොරොත්තුව ඒකාන්තයෙන් ම ඉටුවන්නේ ය.

ඒ අසා නකුල මාතාත්, නකුල පිතාත් ඉතා සතුටට පත් වූහ.

මෙහි එන කාරණා හතර ඉතා වැදගත් හෙයින් කෙටියෙන් ඒ ගැන මෙහි දැක්වීමට සිතමි.

සම ශ්‍රද්ධා - සමව ශ්‍රද්ධාව එනම් තෙරුවන් කෙරෙහි ඇති අවබෝධයෙන් යුතු පැහැදීම දියුණු කිරීමට උත්සාහවත් වීමයි.

සමසීල - එක්ව සීලය ප්‍රගුණ කිරීමට උත්සාහවත් වීමයි. ගිහි ශීලය වන පංචශීලය මෙහිලා මූලික වේ.

සම චාග -එක්ව සමාන සිත් ඇතිව දානය ප්‍රගුණ කිරීම හෙවත් පරිත්‍යාගශීලීත්වය මෙයින් කියැවෙයි.

සම පඤ්ඤා - එක්ව එකිනෙකාට නොදෙවෙනි ව ප්‍රඥාව පුරමින් කටයුතු කිරීම මෙයින් අදහස් වෙයි.

ඇතැම්හු ඊළඟ ආත්මයෙහි හමුවෙමු යැයි දිවි නසා ගනිති. එය ඉතා මෝඩ ක්‍රියාවක් වන අතර, ඉන් බොහෝ කොට දුගතියක උපදිනවා විනා හමුවීමට නම් නොහැකිබව මින් දත යුතු ය.

එසේම සැබෑ ආදරය යනු අනිකා තමාගෙන් ඈත් වූ පසු ඔවුන්ට හානිකිරීම හෝ ඝාතනය කිරීම ද නොවේ. එබඳු සිතිවිලි ඒ නම් තමාට ඒ පුද්ගලයා පිළිබඳ ව තිබී ඇත්තේ රාගීය වියරුවක් මිස ආදර මාත්‍රයක් හෝ නොවේ. සැබෑ ආදරය විවෘත ය. ඔහු හෝ ඇය බිඳුණු පසු ද ඒ ආදරය නිමා නොවේ. එසේම සැබෑ බොදුනු ආදරය පළිගැනීමට නොසිතන්නකි. එය සමාව දෙයි. එක්වෙයි. මුදුවෙයි. එසේම ඇවැසි තැන වේදනාවෙන් වුවද අත්හරියි. සැබෑ ආදරය කරුණාවෙන් යුක්ත ය. මෛත්‍රියෙන් යුක්ත ය. මුදිතාව හෙවත් අන්‍යයාගේ සතුටෙහි දී සතුටුවන ශීලී ය. උපේක්ෂාවෙන් ද යුක්ත ය.

එය ඉතා ශක්තිමත් ය. ආර්ථික අපහසුතාවක් නිසා හෝ එක් බහින්බස්වීමක් නිසා හෝ, දෑවැද්ද අඩුවෙන් ලැබුණා කියා හෝ, දරුවන් රහිත බවින් හෝ අතහැරෙන එකක් නොවේ.

බොදුනු ආදරය එකිනෙකාගේ ජීවිතය ධර්මයේ දිශාවට යොමු කරන්නකි. අකුසලින් දුරුවීමටත්, කුසල් වැඩීමටත්, එකිනෙකා උනන්දු කරවන්නකි. ශ්‍රද්ධා, සීල, හිරි, ඔත්තප්පිය (පවට බය හා ලජ්ජාව) සුත (ධර්ම දැනුම), වාග (පරිත්‍යාගශීලීත්වය) හා පඤ්ඤා යන සප්තවිධ ආර්යය ධනයෙන් පොහොසත් වූවකි. එකිනෙකා කෙරෙහි අත්‍යන්ත ගෞරවය, ප්‍රසාදය හා බැඳීම වැඩිවෙන කායික, වාචසික හා මානසික ක්‍රියාවලින් පිරුණකි. බෞද්ධයාගේ සිත්හි ගොඩනඟා ගත යුතු සැබෑ බොදුනු ආදරය මෙබඳු ය.