Print this Article


මෙවර වස් විසීම නිකිණි පොහෝ දිනට පසුදින යෙදී ඇති අගෝස්තු 04 වැනිදා

මෙවර වස් විසීම නිකිණි පොහෝ දිනට පසුදින යෙදී ඇති අගෝස්තු 04 වැනිදා

මෙවර වස්සාන ඍතුව උදා වන්නේ එළඹෙන ඇසළ (ජූලි) මස විසිවැනි (20) දින ය. එමෙන් ම මේ වර්ෂයේ මහා සංඝයා වහන්සේගේ වස් විසීමේ ආරම්භය නිකිණි (අගෝස්තු) මස හතරවැනි (04) දිනට යෙදී තිබේ. ඊට හේතුව මේ වර්ෂයට වප් පොහොය දෙකක් යෙදී තිබීම ය.

මේ සම්බන්ධයෙන් තෛ‍්‍ර නිකායික මහානායක මා හිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි පසුගිය ජනවාරි දාහතරවැනි දින බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේ, අමරපුර මහා නිකායේ හා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා දිවියාගහ ශ්‍රී යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ගංකේවල ශ්‍රී ඤාණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ඡ්‍යොතිෂය පිළිබඳව ද දැන උගත් පැවිදි හා ගිහි විද්වතුන් කිහිප දෙනෙකු ද සහභාගි වූ හ. බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා ද ඊට සහ සම්බන්ධ විය.

ලිත් සියල්ල ම අධ්‍යයනය කොට ඒ අනුව ගත් තීරණය මෙපරිදි වේ. ඒ අනුව 2020 අගෝස්තු මස තුන්වැනි (03) සඳු දින යෙදී තිබෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දින මහා සංඝයා වහන්සේ පොහොය කොට අගෝස්තු මස හතරවැනි (04) කුජ දින පෙරවස් විසීම සැප්තැම්බර් මස පළමු කුජ දිනට යෙදෙන බිනර පුර පසළොස්වක පොහෝ දින පොහොය කොට සැප්තැම්බර් දෙවැනි (02) බුධ දින පසුවස් එළඹීම.

ඔක්තෝබර් මස තිස් එක්වැනි ( 31) ශනි දිනට යෙදී ඇති අධි වප් පොහෝ දිනයෙහි පොහොය කොට එදින ම පෙරවස් පවාරණය.

නොවැම්බර් මස විසිනව වැනි (29) රිවි දින (ඉරිදා) වප් පුර පසළොස්වක පොහොය දින පොහොය කොට එදින ම පසුවස් පවාරණය සිදු කිරීමට තීරණය කරගන්නා ලදී.

එමෙන් ම මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගරුතර කාරක සංඝ සභාව මඟින් සාකච්ඡා කරනු ලැබ මේ වසරේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය වෙසක් (මැයි) මස හත්වැනි (07) දිනට යෙදී ඇති වෙසක් පුරපසළොස්වක පොහෝ දින ආරම්භ කොට පොසොන් (ජුනි) මස පස්වැනි කිවි දිනට යෙදී ඇති පොසොන්පුර පසළොස්වක පොහෝ දින අවසන් කිරීමට තීරණය කළ අතර, එම උපසම්පදා පුණ්‍යොත්සවය හා වස් විසීම, වස් පවාරණය ආදී සියලුම තොරතුරු සඳහන් විස්තර පත්‍රිකාවක් (ලිතක්) ශ්‍යාම නිකායික සියලුම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ද තැපැල් කර යවා ඇත. මාධ්‍ය වෙතින් ද ප්‍රසිද්ධ කර රටේ ඇති වූ කොරෝනා ව්‍යසන තත්ත්වය නිසා උපසම්පදා පුණ්‍යොත්සවය පැවැත්වීමට නොහැකි වන බවත්, වස් විසීම ආදී සියලුම ආගමික කටයුතු බාධාවකින් තොරව සිදු කළ හැකි බවත්, මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය සංඝ සභාවන් හි දී තීරණය විය. සෙසු නිකායික මහා සංඝරත්නය ද ඒ අනුව ම කටයුතු කිරීමට තීරණය කරගත් බව අමරපුර මහා නිකායේ හා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප වෙත දන්වා ඇත. ඒ අනුව මේ වර්ෂයේ වස් විසීම ආදී විනය කර්ම කටයුතු උක්ත දිනයන්හි සිදු කිරීමට තීරණය කරගත් බව සිහිපත් කරමු.