Print this Article


දරුවන්ට ලබාදිය හැකි හොඳම දායාදය

දරුවන්ට ලබාදිය හැකි හොඳම දායාදය

මෙම ලිපියේ මුල් කොටස පොසොන් පුර පසළොස්වක පෝදා (ජුනි 05 වනදා) පත්‍රයේ පළ විය

අවි ආයුධ භාවිතයෙන් සිදුවන හිංසනය ගැන දරුවන්ට පහදා දිය හැකියි. මෙරටට බුදු දහම එවීමට කටයුතු කළ ධර්මාශෝක රජු පවා ආරම්භයේ දී යුද්ධ කළ හැටි හා අවසානයේ අවිආයුධ අත් හැර දහමට යොමුවූ ආකාරය පෙන්වා දිය යුතුයි. විශේෂයෙන්ම සරල දිවි පෙවෙතකට දරු දැරියන් හුරු කළ යුතු වෙනවා. සරල දිවි පෙවෙතේ අවිහිංසාව වැනි ගුණධර්ම නිතැතින්ම ඇතුළත් වනවා. අතීතයේ ජනතාව තමන්ගේ දිවිය ඉතා සරල ලෙසින් ගත කෙළේ. නිවාස පවා සකස් කර ගත්තේ තම අවශ්‍යතාවයට පමණයි. එකල තිබුණු එක නිවසක් හෝ අද සොයා ගැන්මට නැහැ. නමුත් බෞද්ධ සිද්ධස්ථාන තිබෙනවා. එයින් පෙනී යන්නේ ආගමට දහමට ලැදි , ඒ ජනතාව ආගමික ස්ථාන හොඳීන් කල් පවතින ලෙස ස්ථාපිත කළ බව හා තමන්ගේ දිවි පෙවෙත සරලව ගත කළ අයුරුයි. රජමාලිගා වැනි විශේෂිත ස්ථානවල නටඹුන් තිබුණත් නිවාස හෝ වෙනත් ඔවුන්ගේ ස්ථාන දක්නට නැත්තේ එම ජනතාව තම අවශ්‍යතා ඉටු කර ගත්තේ අනෙක් අය ගැනත් සිතා තම ජීවිත කාලයට පමණක් අවශ්‍ය වන ලෙසින් වීම නිසයි.

සරල දිවි පෙවෙත හරහායි අවිහිංසාව රැක ගැන්මට පුළුවන් වන්නේ. අවිහිංසාව දරුවන්ට ලබා දීමට නම් දරුවන්ගේ සිත් පළමුවෙන්ම ඒ වෙනුවෙන් යොමු කළ යුතු වෙනවා. එහෙත් අපේ සමාජයේ කුඩා දරුවන්ට පවා මවුපියන් රැගෙන දෙන්නේ සෙල්ලම් තුවක්කු, ප්‍රහාරක යානා වගේ සෙල්ලම් බඩු. එයින් දරුවන් කරන සෙල්ලම කුමක්ද? ඔවුන්ගේ සිත් එම උපකරණත් සමඟම දරුණු බවට පත් වෙනවා. පසු කාලීනව එම උපකරණ සැබෑ ලෙසින්ම ක්‍රියාත්මක කරන්න ඔවුන්ගේ සිත් යොමුවෙනවා.

ලෝකයේ දහම පිරිහෙන විට ආයුෂ පිරිහෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කර තිබෙනවා. ගුණධර්ම පිරිහෙන විට අවුරුදු 10ක් දක්වා ආයුෂ අඩු වන ආකාරය ද චක්කවත්තිසීහනාද, අග්ගඤ්ඤ වැනි සූත්‍රවලින් පෙන්වා දී තිබෙනවා.

අද වන විට අප්‍රිකාවේ ඇතැම් රටවල අවි ආයුධ ගෙන සටන් වදිනවා. අවුරුදු 30ක් 40ක් පමණ තමයි ඔවුන්ගේ ආයුෂ රඳා පවතින්නේ. අවුරුදු 10දී පමණ විවාහ වන තත්ත්වයක් දකින්න තියෙනවා. මත් වතුර බීම ඒ කුඩා වයසේ සිට සිදුවෙනවා. මත් වතුර ලෙසින් ඔවුන් බීමට යොදා ගන්නේත් වාහනවලින් ඉවතට දමන තෙල්වර්ග හා මිශ්‍රකරගත් සිරුරට කිසිසේත්ම සුදුසු නොවන ආයුෂ කෙටි කරන පානයන්. බුදු දහම මිහිපිටම සත්‍ය බව එයින් අපට පෙනෙනවා.

ඒ අනුව මිහිඳු හිමි දේශනා කළ මේ අවිහිංසා ධර්මය දරුවන්ට ලබා දෙන්නට නම් ඔවුන්ට පරිසරයෙන්ම සිදු වන දේ ප්‍රායෝගිකව දැකගත හැකි දේ අනුව වටහා දීමට කටයුතු කළ යුතු වෙනවා. එහි ප්‍රධාන වගකීමක් ඇත්තේ ගුරු දෙගුරුන් අතයි. ඒ වගකීම නිසි ලෙසින් සිදුවනවානම් අවිහිංසාව දරුවන්ගේ සිත් තුළට යොමු කිරීම අපහසු වන්නේ නැහැ.