Print this Article


තමන්ගේත් අනුන්ගේත් රැකවරණය නුවණ හා වීර්යය තුළයි

තමන්ගේත් අනුන්ගේත් රැකවරණය නුවණ හා වීර්යය තුළයි

කවරයේ කතාව

“නුවණ මෙහෙයවා නොපසුබට වීර්යෙන් සහ අධිෂ්ඨානයෙන් කටයුතු කරන විශිෂ්ට නායකයෙකුට තමනුත් ආරක්‍ෂා වී තම පිරිවරත් ආරක්‍ෂා කරගත හැකි ය.”

යමක් කිරීමට ඇති අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය තරම් වටිනා දෙයක් තවත් නැති තරම්. කළ යුතු වන්නේ ඉවසීමෙන්, නිහඬ ව නුවණින් කල්පනා කරලා වැඩ කිරීමයි. එදා ගැල් පන්සියයක තම පිරිවර සමඟින් මහා වාලුකා කාන්තාරයේ ජලය නොමැතිව අසරණ වූ සාත්තුනායකතුමාගේ කතාව මේ සඳහා අපට මහත් ආදර්ශයක් සපයනවා.

අපගේ සාන්ති නායක අමා මෑණි සම්බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ භාවනා කිරීමේත්, මහණදම් පිරීමේත් වීර්ය අත්හළ එක් භික්‍ෂූවක් අනෙක් භික්‍ෂූන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් බුදු රජාණන් වහන්සේ හමුවට යොමු කළා. බුදු රජාණන් වහන්සේ ඒ භික්‍ෂුවගෙන් එය සත්‍ය දැ’යි විමසා සිටියා.

“පින්වත් මහණ, මේ කියන කතාව සැබෑවක් ද? ඔබ නිවන් මඟ සෙවීමේ වීර්ය අත්හළේ ද?”

“එසේය, ස්වාමීනි එය සැබෑවකි. මා පැවිදිව වනගත වූයේ බවුන් වඩමින් මාර්ග ඵල ලැබුමටයි. එහෙත් එම අරමුණ ඉටුකරගන්නට කොතෙක් උත්සහ කළත් නොහැකි වුණා. ඒකයි මම නැවත ආවේ ” ඒ භික්‍ෂුව පිළිතුරු දුන්නා.

“ පින්වත් මහණ, ඔබ අද මෙලෙස වීරිය අත්හැරියට අතීතයේ වැලි කතරක ගමන් කරමින් සිටි පන්සියයක් ගැල්වල සිටි වෙළෙඳුන්ට ඉතා වීර්යවන්ත ව ජලය සපයා දී, වන්නට ගිය විපතින් බේරා ගත්තා.” යි

කියමින් බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුව අරභයා දම් සභාවේ සිටි භික්‍ෂූන්ගේ ආරාධනයෙන් එම අතීත ජාතක කතා පුවත දේශනා කර වදාළා.

එකල බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අප මහා බෝසතාණන් වහන්සේ තවලමින් වෙළඳාම් කර ජීවත් වන ගැල් පන්සියයක් හිමි සාත්තුනායක වෙළඳ කුලයෙහි උපන්නා. මේ බෝසත් වෙළෙන්දා ගැල් පුරවා බඩු රැගෙන ඈත ගම් දනව් සිසාරා වෙළඳාම් කර දැහැමින් සෙමින් ජීවත් වූණා. එක්තරා දවසක මේ වෙළඳ නායකයා ගැල් පන්සියයක් බඩු පුරවාගෙන තම පිරිවරත් සමඟින් ඈත වැලි කතරක වෙළඳාම් සඳහා පිටත් වුණා. ඒ කාන්තාරයේ වැලි ඉතා සියුම් නිසාත්, රත්වන නිසාත්, හිරු රස්මිය දැඩි නිසාත් දහවල් කාලයේ වැලි කතරේ ඇවිද යාම ගොඩාක් අපහසු කාරණයක් වුණා. දවල් කාලයේ හිරු උදාවීමත් සමඟ ගැල සුදුසු තැනක නවත්වා ගොනුන්ට තණ කවා, පැන් දී, උයා පිහා ආහාර ගෙන ගැල් සෙවනේ ම නිදාගෙන විවේක ගත්තා. මෙහෙම දින කිහිපයකින් යොදුන් හැටක් පමණ ගමන නිමා කළා.

අවසාන දින ගෙවන්නට ඇත්තේ එක් රාත්‍රියක ගමනක් යැ’යි දැනගත් බෝසතාණන් වහන්සේ ගැල්වල තිබෙන වැඩිපුර දර, පැන්, තෙල්, සහල් ඉවත් කොට ගැල් සැහැල්ලු කරගැනීමට සිතුවා. එසේ ගැල් සැහැල්ලු කරගත් තවලම් කණ්ඩායම නැවතත් හිරු බැස යන වේලේ ගමන පටන් ගත්තා.

තාරකාවලින් දිසාව හඳුනාගෙන මඟ පෙන්වන්නේ ඉදිරියෙන් යන ගැලයි. ඒ නිසා අනෙක් ගැල්කරුවන් ද ඉදිරියෙන් ගමන් කරන නායකතුමාගේ ගැල අනුව ම ගමන් කළා. ගැල මෙහෙයවන සාත්තුනායකතුමාට දින ගණනාවක් ම නින්ද මදිකම නිසා ගැල මෙහෙයවන අතරතුර නින්ද ගියා. නිසි මාර්ග සංඥා නොලැබුණ ගවයන් ආපසු කැරකී ගැලත් ඇදගෙන පෙර දින සිටි තැනටම පැමිණියා. හිරු උදාවත් සමඟින් ම නින්දෙන් අවදි වූ බෝසත් නායකතුමා සිදු වී ඇති කාරණය වටහාගෙන ගැල නතර කළා.

අනෙක් ගැල් කරුවන් ද “ මේ පෙර දින අප කඳවුරු බැඳී තැන ම ය. දර, පැන්, තෙල්, සහල් ආදිය ද අප සතුව නැත. එබැවින් අප දැන් විනාශ වන්නේ යැ’යි ශෝකයෙන් වැළපෙමින් ගැල් ලිහා දමා කනගාටු වුණා.

ඒ වෙලාවේ බෝසත් වෙළෙන්දා නුවණින් කල්පනා කරන්නේ, “ මම වීර්ය අත් හළොත් සියලුදෙනාම විනාශ වෙනවා.” යම් විසඳුමක් ගැන සිතමින් නායකතුමා එහා මෙහා ඇවිදින අතර ඊ තණ පඳුරක් දුටුවා. “ මෙම ඊතණ පඳුර වැඩෙන්නේ පොළව යට දිය සීරාව උරාගෙනයි. එනිසා නිසැකයෙන් ම මෙතැන දිය තිබිය යුතුයි. ” තම තියුණු නුවණින් අනුමාන කර සේවකයන් ගෙන්වා එතැන සාරන්නට පටන් ගත්තා. ගැඹුරට හාරාගෙන යන විට මහා කළු ගල් තලයක් මුණ ගැසුණා. වෙහෙසට පත් ව සිටි සේවකයන් තවත් උදාසීන වී වීර්යය අත්හැර ගොඩට පැමිණියා. බෝසත්තුමා “ මේ කළු ගලට යටින් දිය තිබිය යුතුමැයි ” සිතා ළිඳට බැස ගල් තලාවට කණ තියා යටින් ගලාගෙන යන දිය පහරේ හඬ අසා සිටියා. උත්සාහය අත් නොහළ බෝසත් නායකතුමා තමාට ගොඩාක් ම ලෙන්ගතු සේවක පුරුෂයෙකු ගෙන්වා “ ඔබ වීර්ය උපදවා උත්සාහයෙන් මේ කුළුගෙඩියෙන් ගසා ගල සිඳීන්න යැයි ” කීවා. අන් සැම දෙනාම උත්සාහය අත්හළ මොහොතක ඒ සේවකයා තම නායකතුමාගේ ධෛර්යවන්තකම සිත් ගෙන පුළුවන් වෙර යොදා කුළු ගෙඩි පහර ගසා ගල් තලය සිඳීන්නට වුණා. නිසි මඟ පෙන් වූ, දැඩි අධිෂ්ඨානශීලී ව බලා සිටි බෝසත් නායකතුමාගේ වීරිය, අධිෂ්ඨානය සඵල කරමින් ඒ මොහොතේ නාඹ තල් කඳක් වැනි දිය කඳක් පැන නැගී සියලු දෙනා ම තෙමුණා. සෑම මුහුණකම අභියෝග ජයගැනීමේ සතුට ද, වීර්යයවන්තකමේ ප්‍රතිඵලය ද අත්විඳීමින් සතුටින් ඉපිළ යමින්, ඒ දිය දහරට පැණ, නා, උයා, පිහා, කා, බී, ගවයන් ද කවා පොවා , අවශ්‍ය තරම් ජලය රැගෙන ඉර බැස යන විට ගමනට සූදානම් වුණා. බෝසතාණන්ගේ උපදෙස් පරිදි එම මාර්ගයේ එහා මෙහා ගමන් කරන අයට ඒ ජලය පිරි ළිඳ තිබෙන තැන දැනගන්නට එම ස්ථානයේ කොඩියක් ද හිටවා තමනුත් අන්‍ය සියලු දෙනාත් ආරක්ෂා කරගෙන ගමන ආරම්භ කළා.

පසුදා තමන් පැමිණිය යුතු ගම් දනව්වලට පැමිණ සතුටින් වෙළඳාම් කර බොහෝ සෙයින් ලාබ උපයාගෙන ආපසු බරණැසට ම ආවා. බෝසත් නායකතුමා ඇතුළු පිරිස බොහෝ කාලයක් පින් කම් ආදිය කර ගනිමින් දැහැමි ජීවිත ගෙවා මිය පරලොව ගියා.

තිලෝගුරු බුදු පියාණන් වහන්සේ

“පින්වත් මහණෙනි, යම් සේ ඒ ගැල් නායකයා වීර්ය වඩා නුවණින් කටයුතු කොට මහා වාලුකා කතරකදීත් ජලය සොයා ගත්තා නම්, ඒ ආකාරයට ම වීර්ය වඩා සසුන් කෙත සිත් අලවා බවුන් වඩන්නේ නම් ඒ භික්‍ෂුව සැනසීම ලබන්නේ ය.” යනුවෙන් වදාළා.

එදා අත් නොහරින ලද වීර්යයෙන් සාරන ලද ළිඳේ ගල් තලය බිඳ ජලය ඉපැදු තරුණයා අද වීර්ය අත් හැර සිටින මේ භික්‍ෂුවයි. තවලමේ සිටි සෙසු පිරිස මේ දම්සභා මණ්ඩපයේ සිටින අනෙක් භික්‍ෂු පිරිසයි. ඒ සමයෙහි නුවණැති ගැල් නායකතුමා සම්මා සම්බුද්ධත්වයට පත්ව සිටින මම් ම වෙමි. ” යි කියා අපගේ බුදු රජාණන් වහන්සේ අතීත කතාවත් වර්තමාන කථාවත් ගළපා වදාළ සේක. දේශනාව කෙළවර පසුබට වීර්යෙන් බවුන් වැඩීමත්, නිවන් මඟත්, අත්හළ ඒ භික්‍ෂූන් වහන්සේ අරහත් භාවයට පැමිණියා.

අප ද මේ කතාව ආදර්ශයට ගෙන නුවණ මෙහෙයවා ඇරඹූ වීර්යයෙන්, අධිෂ්ඨානශීලීව කටයුතු කොට ජීවිතය සාර්ථක කර ගනිමු.