Print this Article


සිංහල දීපය සත්‍යයේ දර්ශනයෙන් ඒකාලෝක විය

සිංහල දීපය සත්‍යයේ දර්ශනයෙන් ඒකාලෝක විය - අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

 

ජාතියක් ශිෂ්ට කළ, ජාතියක් ප්‍රෞඪවත් කළ, ජාතියක් සංවර්ධනය කළ, ජාතියක් සංරක්ෂණය කළ බුදු දහමේ පදනම වැටුණු පරම පූජනීය පොසොන් පොහෝ දිනය දෙදාස් තුන්සිය විසි අට වෙනි වරට මෙවර උදා වේ.

දඹදිව අශෝක අධිරාජ්‍යයාගේ ආශිර්වාදයෙන් වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස එදා මිහින්තලේ අම්බස්තලයේ සිට දෙවන පෑතිස් මහ රජු වෙත දායාද කළ ශ්‍රී සදහම් ගඟුළ මෙරට දස දිසාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර යාමට ගත වූයේ කෙටි කාලයකි.

මෙම ධර්මවිජය පණිවිඩයත් සමඟ අවිද්‍යාවෙන් දුර්වර්ණ වී තිබූ සිංහල දීපය සත්‍යයේ දර්ශනයෙන් ඒකාලෝක විය. ඒ නිසා නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති, ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වූයේ කෙටි කලකිනි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ නරපතියන්, රණකාමී සෙන්පතියන්, වනයේ තිබූ මහා කඵ ගලට මෛත්‍රිය, කරුණාව, සමාධිය වැනි උතුම් ගුණාංග එක් කළ විස්මිත කලාකරුවන්, සොබාදහමේ අසිරිය කියා පෑ ශ්‍රේෂ්ඨ කවියන් මෙරට පෝෂණය කළහ.

මෙවර පොසොන් උදාවත් සමග ලෝක පරිසර දිනය ද එදිනට යෙදී තිබේ. අපේ මුතුන් මිත්තන්ගේ සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු ඔස්සේ කිඳා බැස තිබූ මෙ ශ්‍රේෂ්ඨ දර්ශනය නිසා ඇළට දොළට, ගහට කොළට, සතා සිව්පාවට නිරන්තරයෙන් ආදරය කරන හා ඒවා ආරක්ෂා කරන අනභිබවනීය ජාතියක් බිහි විය.

අද යම් තරමකට එයට පිටු පෑ නිසා මුළු ලෝකයට ම නැවත වරක් ආපසු සිතා බැලීමට කොවිඩ් 19 වසංගතය සුවිශේෂී පාඩමක් කියා දේ. ලංකාවේ එම වසංගතය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකි වූයේ අප මුළු මහත් රටක් ලෙස එකාවන් ව කටයුතු කළ නිසාත්, බුදුදහමේ පෝෂණය මත පිහිටා ගුණ දහම් හා වත්පිළිවෙත් පිරීමත් නිසාය. තව කෙටිකලක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් මත අපි සැවොම ක්‍රියා කළ යුතු වෙමු.

ඒ තුළින් මෙම වසංගතය සහමුලින් පරාජය කිරීමට රටක් හා ජාතියක් ලෙස ඉදිරියට යාමට හැකි බව මාගේ විශ්වාසයයි. එබැවින් ගුණ ධර්ම පෙරටු කොට සැමට දයාව හා කරුණාව දක්වා මෙම වසංගතය ජය ගැනීමට අදිටන් කර ගමු.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා