Print this Article


ඓතිහාසික මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය

ඓතිහාසික මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය

58 වන වසර

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේ දී ‘ආරෝග්‍ය පරමා ලාභා‘ යන තේමාව යටතේ පැවැත් වේ. එම උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ප්‍රධාන අමුත්තන් ලෙස එක්වීමට නියමිත ව තිබීම මිහින්තලා පුදබිමට කරන ගෞරවයකි.

මෙරට ප්‍රථම පොසොන් ආලෝක පූජාව ලෙස 1963 වසරේදී ඇරැඹි මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව 58 වැනි වරට මෙවරත් කොරෝනා වයිරස උවදුර හමුවේ වුවද මිහින්තලා පුණ්‍ය භූමියේ දී 4, 5, 6 දිනවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

සෞඛ්‍ය නීති රීති අනුව, දුරස්ථ බව රැක ගනිමින් මිහින්තලේ රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අවවාද අනුශාසනා පරිදි මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වීමට ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය හා පාලනාධිකාරිය කටයුතු කිරීම එතෙර - මෙතෙර බොදු ජනතාවගේ නොමඳ සතුටට හේතු වන කරුණකි.

රාජ්‍ය පොසොන් උත්සවය ද මෙවර මිහින්තලා පුදබිමේ දී ‘ආරෝග්‍ය පරමා ලාභා‘ යන තේමාව යටතේ පැවැත් වේ. එම උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ප්‍රධාන අමුත්තන් ලෙස එක්වීමට නියමිත ව තිබීම මිහින්තලා පුදබිමට කරන ගෞරවයකි.

පොසොන් පසළොස්වක පොහෝ දිනයත්, මිහින්තලාවත්, ලේක්හවුස් ආයතනයත් ‘බුදුසරණ‘ පුවත්පතත් අතර ඇත්තේ වසර 60කට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන එන නොබිඳීය හැකි නොබිඳීය යුතු ගෞරවණීය සබඳතාවකි.

එය අන් කිසිවක් නොව කුමන බාධක මධ්‍යයේ වුව වසර 58ක් තිස්සේ මිහින්තලා පුදබිම ආලෝකවත් කරමින් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිසාම ඇතිවූ සබඳතාවකි.

ලේක්හවුස් ආලෝක පූජාව ඇරඹෙන්නේ ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ අදහසක් අනුව ය.

ලේක්හවුස් ආයතනයේ එවකට කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රංජිත් විජයවර්ධන මහතාගේත් අධ්‍යක්ෂවරයෙකු වූ ජී. බී. එස්. ගෝමස් මහතාගේත් මෙහෙය වීමෙන් එදා ආලෝක පූජාව ආරම්භ විය. 1963 සිට නොකඩවා පැවැති මෙම ආලෝක පූජාව නිසා මිහින්තලාවට පොසොන් පසළොස්වක දින හා ඒ ආශ්‍රිත දිනවල යන එන බැතිමතුන්ට මහත් සෙතක් සැලැසුණි.

ඈත අතීතයේ බොදු දනන් මිහින්තලා පුද බිම වන්දනා මාන පිණිස පැමිණියේ බොහෝ දුර බැහැර ගෙවාගෙන පාගමනිනි. වෙහෙස නොබැලූ ඔවුහු පෝදා සඳ එළියේ ම මිස්සක පව්ව තරණය කළහ. ඒ හුලු අතු, පන්දම් එළියේ ආධාරයෙනි. අගනුවර සිට විශාල විදුලි ජනක යන්ත්‍ර මිහින්තලාවට ගෙන ගොස් පුද බිමේ අඳුර දුරු කරමින් විදුලි ආලෝකය දීමට කටයුතු කිරීම බොදු ජනතාව ලද භාග්‍යක්ම විය. . ඒ සඳහා සම අනුග්‍රහය එදා සිට අද දක්වා ම ලබා දෙන්නේ විදුලිබල මණ්ඩලයයි.

මෙම ආලෝක පූජාව ඇරැඹිමත් සමඟ මිහින්තලේ ප්‍රදේශයේ පොසොන් මාසය පුරාම බෞද්ධ ආගමික ප්‍රබෝධය හා ආගමික වැඩ සටහන් පැවැත්වීමේ අවස්ථාව තවත් වැඩි විය. ඒ අනුව දන්සල්, ජල පහසුකම් හා සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්ද වැඩි විය.

මිහින්තලා පුද බිමට ස්ථිර විදුලි ආලෝකය ලැබෙන්නේ 1978 වසරේ දී ය. පසුව ආලෝක පූජාවේ වියදම් කටයුතු සඳහා මිහින්තලා ආලෝක පූජා භාරය නමින් අරමුදලක් ද බිහි විය.

මේ ආලෝක පූජාවට සමගාමී ව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පාසල් ගණනාවක සිසු සිසුවියන් සිල් සමාදන් කරවීමේ වැඩසටහන් ද පැවැත්විණි. ඒ අයට අවශ්‍ය සිල් රෙදි ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් ලබාදුන් අතර මිහින්තලාව හා පොසොන් පසළොස්වක දිනය පිළිබඳව කථික හා රචනා තරග ද ‘බුදුසරණ‘ පුවත්පත අනුග්‍රහයෙන් ආරම්භ විය.

පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා රටේ අනාරක්ෂිත බවක් ඇතිව තිබුණත් ලේක්හවුස් ආයතනය මිහින්තලා ආලෝක පූජාව පැවැත්වීම නිසි අයුරින්ම සිදු කළේ ය. මින් පෙරද එවැනි අවාසනාවන්ත කාල උදාවිය.

1985, 1988, 1986 වසරවල කොටි ත්‍රස්තවාදීන් හා විප්ලවීය කණ්ඩායම්වල සාමාජිකයන් කළ පහරදීම්, බියගැන්වීම් හමුවේ වුව ද ආලෝක පූජාව නොකඩවා පැවැත්වීමට ඒ ඒ කාලවල ලේක්හවුස් පාලනාධිකාරිය කටයුතු කළේ ය.

1985 ආලෝක පූජාව පැවැත්වුණේ අනුරාධපුරයට කොටි ත්‍රස්තවාදීන් පහර දී දින 15 - 20ක් යාමටත් පෙර යුද්ධයේ දරුණුතම උණුසුම මැද බව මතක් කළ යුතුව ඇත.

එකල කොටි ත්‍රස්තවාදීහු අනුරාධපුරය හා මිහින්තලේ අවට ගම්මාන වලට ද ප්‍රහාර එල්ල කළහ. එවන් භයානක යුද වාතාවරණයක් යටතේ මගේ පියාණන් වන හිටපු බුදුසරණ කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ මහතා, එවකට ලේක්හවුස් පිරිස් කළමනාකාරතුමා ප්‍රමුඛ සේවක පිරිසක් දිවි නොතකා මිහින්තලාවට ගොස් මිහින්තලේ ලේක්හවුස් ආලෝක පූජාව දින තුනක්ම සිදු කළේ බුදුදහ ම රටට ම පැතිරු තැන පොසොන් පසළොස්වක දින අඳුරේ තැබීමට නොහැකි බැවිනි.

1989 වසරේ දී මින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමී ව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍ර දේශයේ පාසල් සඳහා විද්‍යාගාරයක් ඉදිකළේ ය. ඊට පසු වසරවල දන්ත ශල්‍යාගාරයක්, පුස්තකාලයක් ලබා දෙන ලදී. මේ යටතේ මිහින්තලේ මහා විද්‍යාලයට ‘බුදුසරණ‘ පුස්තකාලය හා පරිගණක මධ්‍යස්ථානයක් පිරිනමා ඇත.

කම්මික්කුලම මහා විද්‍යාලයට විද්‍යාගාරයක් ලබා දී ඇති අතර එම ගම්මානය 1990 දී විදුලි ආලෝකයෙන් ආලෝකවත් කිරීමට ද ලේක්හවුස් ආයතනය කටයුතු කළේය. කුරුන්දන්කුලම විදුහලට වඩු කාර්මික පුහුණු වැඩපොළක් ද, මිහින්තලා කනිටු විදුහලට දන්ත ශල්‍යාගාරයක් ද, ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව ලබා දී ඇත.

ඊට අමතර ව ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් පසුගිය වසරවල දී මිහින්තලේ උඩ මළුවට අලංකාර බුදු මැදුරක්, පොහොය ගෙයක් හා දොළොස්මහේ පහනක් ද ලබා දී තිබේ.

2002 දී පමණ මිහින්තලාවේ පැරැණි විදුලිබල පද්ධතිය ඉවත්කොට භූගත විදුලිබල පද්ධතියක් ඇති කිරීමට මේ ආලෝක පූජාවට සම අනුග්‍රහය දක්වන විදුලිබල මණ්ඩලය පියවර ගත්තේ ය.

මීට පෙර ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් මිහින්තලේ පුදබිමෙහි ආලෝක පූජාව සිදු කළේ පොසොන් පසළොස්වක දින, ඊට පෙර දිනය හා ඊට පසු දින පමණි. නමුත් විදුලිබල මණ්ඩලයේ ඉහත පියවර නිසා මිහින්තලයේ පුදබිම දැන් රාත්‍රී 10 තෙක් විදුලි බලයෙන් ආලෝකවත් ව පවතී. එය එහි යන එන සැදැහැවතුන්ට මහඟු සෙතකි.

මේ අනුව වසර 58ක් තිස්සේ නොකඩකොට පවත්වාගෙන ආ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව සෞඛ්‍ය ගැටලු මධ්‍යයේ වුවද සෞඛ්‍ය ආරක්ෂිත ලෙස මෙවරත් පැවැත්වීමට කටයුතු කරන ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ප්‍රමුඛ ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයටත් ඒ සඳහා කවදත් සම අනුග්‍රහය දක්වන විදුලිබල මණ්ඩලයටත්, ඩයලොග් ආයතනයටත්, ජාතික ලොතරැයි මණ්ඩලයටත් බෞද්ධ ජනතාවගේ පුණ්‍යානුමෝදනා හිමි වනු ඇත.