Print this Article


සීල සුගන්ධය හමා ගිය පොසොන් පුන් පොහෝ දා

සීල සුගන්ධය හමා ගිය පොසොන් පුන් පොහෝ දා

අනුබුදු මිහිඳු මා හිමියන් අප රටට වැඩමවීමෙන් පසුව ශ්‍රී ලංකා ධරණී තලයට බුදු දහමේ මිහිරියාව ලැබුණා. එදා මිහින්තලාවේ මිස්සක පව්වේ දී මිහිඳු මහ රහතන් වහන්සේ දෙවනපෑතිස් රජු වෙත බුදු දහමේ තිබෙන හරය වටහා දීමත් සමගින් රජතුමා ඇතුලු සියලු පිරිස බෞද්ධ උපාසක භාවයෙහි පිහිටා මේ ලක්දිව සිල්වත් පිරිසක් බිහිවීම ආරම්භ වුණා.

මුව දඩයමේ ගිය තිස්ස රජුට මිහිඳු මාහිමියන් වහන්සේ එහි ආදීනව වදාළා. උන්වහන්සේ තිස්ස රජු දහමට නැඹුරු කරවීමට චුල්ලහත්ථිපදෝපම දේශනාවෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජනිත කරවා ඉන් අනතුරුව සිදුකළේ පවට ලජ්ජා, භය ඇතිකරලීම යි.

මිහිඳු මා හිමි දේවානම්පියතිස්ස රජුට ලජ්ජා, භය ඇතිකරලීම සඳහා දේශනා කළේ විමානවත්ථු සහ පේ‍්‍රතවත්ථු දේශනා යි. විමනා වත්ථුවේ පින්කම් කොට දෙව්ලොව ගිය පිරිසත්, පේ‍්‍රත වත්ථුවේ පව් කොට දුගතියේ ගිය පිරිසත් පිළිබඳ සඳහන් වෙනවා. මේ කාරණා දෙක රජුට පැහැදිලි කරනවාත් සමගම පවට ලජ්ජාව භය ඇතිවුණා. එනිසා ඔවුන් කායික ව, වාචසික ව හික්මුණා. සිල්වන්ත වුණොත් සුගතිගාමි වන බවත් දුස්සීල වුණොත් දුගතිගාමී වන බවත්, රජතුමා තේරුම් ගත්තා. මේ ලෝකයේ ජීවත්වන අප හැමෝම සැපයට කැමැතියි. දුකට අකැමැතියි. සැපට කැමැති නම්, සැප විඳින ප්‍රතිපදාව අනුගමනය කළ යුතු වෙනවා . දුකට අකැමැති නම් දුකෙන් නිදහස් වීමේ ප්‍රතිපදාව අනුගමනය කළයුතු වෙනවා. සැප විඳින ප්‍රතිපදාවට පින කියනවා. පරලොව ජීවිතය සැපවත් කර ගන්නට උපකාරි වෙන මූලික සුඛ ප්‍රතිපදාවට යි සීලය කියන්නේ. ඒ සීලයේ තිබෙන වටිනාකම දේවානම් පියතිස්ස රජුට මිහිඳු මාහිමි පැහැදිලි කර වදාළා. පවට භය ඇතිවන විට දුස්සීල බවින් වළකින්න ඔහු පෙළඹුණා. සුගතියේ සිත බැඳෙන විට සිල්වන්ත වුණා.

සීලය කියන්නේ කයෙන්, වචනයෙන් සංවර වීමයි. සිත සංවර වීම ශ්‍රද්ධාවේ ඇති ස්වභාවය යි. මිනිස්සු දුස්සීල වන්නේ කයෙන් සහ වචනයෙන්. ඒ දුස්සීලකම සමාජයට දැනෙන්නේ කය, වචනය අසංවර වන විටයි. මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරන කාලයේ දේවානම්පියතිස්ස රජුට පින, පව පිළිබඳ හැඟීමක් තිබුණේ නැහැ. එනිසයි එතුමා විනෝදයට දඩයමේ ගියේ. ධර්මය ඇසූ රජු පළමුව සිල්වත් වුණා. ඉන්පසු තමන්ගේ අනුගාමිකයන් සීලයේ පිහිටවූවා. ඒ අනුව පංචසීල ප්‍රතිපදාව රාජ්‍ය පාලනයට එක් කරන්නට එතුමා සමත් වුණා. එතුමා ලක්වැසි හැම දෙනාම කයින්, වචනයෙන් සංවර කරලීමට පෙළඹුණා. රාජ්‍ය නීතියට පවා සිල්පද ඇතුළත් කර ලංකා ජන සමාජය සිල්වත් කළා. සතුන් මැරීම තහනම් කොට ආඥාවක් පැන වූයේ සීලයෙන් ලැබෙන සුවය අන් අයටත් ලබා දීමට යි. මිනිසුන් සිල්පද රැක්කා.සීල ප්‍රතිපදාවට ගරු කළා. සීලයෙන් ලැබෙන අභය හෙවත් බිය නැතිව ජීවත්වීමට තිබෙන හැකියාව තහවුරු වුණේ අප මාහිමියන්ගේ පැමිණීමෙන් බව අප තේරුම් ගත යුතුයි.

විවිධ මිථ්‍යාදෘෂ්ඨින්ට අනුගත ව සිටි ජන සමාජයක් සම්මා දිට්ඨියෙහි පිහිටුවා ඒ සම්මා දිට්ඨිය පූර්වාගමනය වූ සීල ප්‍රතිපදාවට නැඹුරු කරවන්න එතුමාට හැකියාව ලැබුණා. අරිට්ඨ කුමාරයා ප්‍රමුඛ ප්‍රධාන රාජකීය කුමාරවරුන් පැවිදි කර ලංකාවේ සංඝ ශාසනය ඇති කළා. ඒ සංඝ ශාසනය ඇතිකරනවාත් සමගම ලක්දිව සම්බුද්ධ ශාසනය ලක්දිව් තලයේ ස්ථාපිත වුණා. හෙළදිව උපසම්පදා භික්ෂූන් වහන්සේ පහළ වෙනවා සමගම උපසම්පදා සීලය ස්ථාපිත වුණා. ඒ වගේම සංඝමිත්තා රහත් තෙරණියගේ සම්ප්‍රාප්තිය සමගින් අනුලා දේවිය ඇතුලු බිසෝවරු පැවිදි වෙනවා සමග ම මෙහෙණි සස්න ආරම්භ වෙලා ඔවුන ්ද සිල්වන්ත වුණා. මේ සැමට හේතු වුණේ මහින්දාගමනය තුළින් ඇති වූ සැබෑ ආලෝකය යි. මේ ආකාරයට ලංකා සංඝ ශාසනයත්, මෙහෙණි සසුනත් නිසා අප ජනතාව සිල්වන්ත කරන්නට අවශ්‍ය මූලික අඩිතාලම වැටුණා. ශාසනයට ප්‍රවිෂ්ඨ වූ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය ම භික්ෂු ශාසනයත් භික්ෂුණී ශාසනයත් පෝෂණය කළා. ඔවුන්ගේ අවවාද අනුශාසනා තුළින් උපාසක උපාසිකා ගිහි පිරිස නිත්‍ය ශීලය පංචසීලය ලෙසින් පිළිගෙන සිල්වත් ජීවිතයක් ගතකළා.

පවින් වැළකුණා. පවේ ආදීනව දුටු නිසා. පිනෙහි යෙදුණා පින් සිදු කළවිට පිනෙන් ලැබෙන ආනිශංස දැකීමෙන්, පවින් වැළකීමට දුස්සීලයෙන් වැළකිලා කය වචනය සංවර කර ගත්තා. කය වචනය සංවර වීම තුළ සිත එකඟ වෙනවා. සිත එකඟ වීමෙන් සමාධිය වැඩෙනවා. සමාධිය විදර්ශනා ඤාණය පාදක වෙනවා. සීලයෙන් සිල්වත් වූ කෙනෙකුගේ සිත තුළ ගොඩ නැගෙන සමාධිය විපස්සනා නුවණ පහළ කරමින් සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්නට ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඒ ආකාරයට කටයුතු කළ බොහෝ දෙනා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵලවලට පත්වුණා. ඒ සමගම ලක් දරණී තලයේ බහුතරයක් දෙනා බෞද්ධ ආගම වැළඳ ගැනීමත් සමග ඇතිවූ සම්මාදිට්ඨිය බොහෝ සිත්තුළ ස්ථාවර වුණා. සම්‍යක් දෘෂ්ඨිකයන්ගෙන් ලංකාව පිරී ඉතිරී යන්නට පටන් ගත්තා. එයට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය දේවානම්පියතිස්ස රජතුමා ලබාදුන්නා වගේම, එයට අවශ්‍ය කරන මූලික මාර්ගෝපදේශනය මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලබා දුන්නා.

එදා මිහිඳු මා හිමි ලක්දිව් තලයට වැඩම කර මේ සමාජ පරිවර්තනය සිදුකළේ නැත්නම් අදත් ඇතැම් රටවල උදවිය වගේ අප මිථ්‍යාදෘෂ්ඨි අන්දකාරේ ගිලිලා, කෙ තරම් පව් රැස් කරගෙන සංසාර ගමන දුගතියට හෙළාගෙන ද? එනිසා අප මේ සෑම දෙයක් ම ළංකර ගත්තේ උන්වහන්සේගෙන් අපට ලැබුණ ආභාෂය, ධර්මාලෝකය නිසයි. උන්වහන්සේ අපට වදාළ සීලමය ප්‍රතිපදාවේ තිබෙන සුවඳ අප හොඳින් තේරුම් ගත්තොත් එය අප ලැබූ ඉහළම දායාදය යි. සිල් සුවඳ උත්තරීතරම සුගන්දය යි. සිල් සුවඳ දසතම සුවඳ පතුරන ප්‍රබල සුවඳක්. මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් ඇති වූ ඒ සීල සුගන්ධය අද දක්වා අඩු වැඩි වෙමින් ලක්දිව තලයේ පවතිනවා.

ඒනිසා අප අද දවසේ කළ යුත්තේ උන්වහන්සේ පැතුරූ ඒ සුවඳ අඩු වෙන්නට නොදී තව තවත් වැඩිදියුණු කිරීම යි. ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥා බහුල වශයෙන් පුරුදු කරගෙන සුවඳ හමන මලක් ලෙස කටයුතු කරන්නට වෑයම් කරමු.