Print this Article


මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය හා එහි ඓතිහාසික විශ්වසනීයත්වය

මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය හා එහි ඓතිහාසික විශ්වසනීයත්වය

"උන්වහන්සේගේ උපසම්පදාව සිදුවූයේ වයස අවුරුදු විස්සෙහි දී නම් ලංකාවට පැමිණෙනවිට උන්වහන්සේගේ වයස දෙතිසක් වන්නට ද, පිරිනිවන සිදුවනවිට වයස අවුරුදු අසූවක් වන්නට ද ඇත."

පරිපූර්ණ ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට අවශ්‍ය සංවිධානාත්මක ආගමක් හා දියුණු වූ භාෂාවක් ජනතාව සතුවීම නිසා ශ්‍රී ලාංකේය ජනතාවට ඒකරාශි වී උදාර ශිෂ්ටාචාරයක් ගොඩනැංවීමට අවස්ථාව උදාවුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම නිසා ය.

මේ ආකාරයට දීපවංසය, මහාවංසය හා වංසත්ථප්පකාසිනී ඇතුළු ග්‍රන්ථ රාශියක ම මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය නිසා අපගේ පැවති පැරණි ශිෂ්ටාචාරයේ හැරවුම් ලක්ෂයක් වන බව විවිධ අන්දමින් සඳහන් කර තිබේ. මේ අන්දමින් අති විශිෂ්ට සේවාවක් කළ මහින්ද මහා රහතන් වහන්සේ එවකට ශ්‍රී ලංකාවේ රජු වූ උත්තිය රජතුමාගේ අටවැනි රාජ්‍ය වර්ෂයෙහි දී වප් මස පුර පක්ෂයෙහි අටවැනි දිනයෙහි දී අවුරුදු අසූවක් ආයු වළඳා වස්වැස සිටියදී පිරිනිවන් පෑ සේක.


මිහිඳු සෑය
ඡායාරූපය අන්තර්ජාලය ඇසුරිනි

මහාවංසයෙහි සඳහන් වන්නේ අවුරුදු හැටේදී පිරිනිවන් පෑ බවයි. එහෙත් උන්වහන්සේගේ උපසම්පදාව සිදුවූයේ වයස අවුරුදු විස්සෙහි දී නම් ලංකාවට පැමිණෙනවිට උන්වහන්සේගේ වයස දෙතිසක් වන්නට ද පිරිනිවන සිදුවනවිට වයස අසූවක් වන්නට ද ඇත.

මහාවංසයෙහි සඳහන් වන ආකාරයෙන් ‘ඒ මහාමහේන්ද්‍රස්ථවිර වනාහි පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන උතුම් බුදුසස්න මොනවට ලක්දිව්හි බබුළුවා ලංකාවට ප්‍රදීපයක් බඳු වූයේ මහාසමූහ ඇත්තේ ලක්දිව බුදුන් වැනි වූයේ බොහෝ ලෝවැඩ කොට ඒ උත්තිය රජුගේ රාජ්‍යාභිෂේකයෙන් අටවැනි ජයවර්ෂයෙහි සැට වයස් පිරුණු සේක් වස්සාන මාසයන්හි සෑගිරියෙහි වෙසෙමින් වප්මස ශුක්ල පක්ෂයෙහි අටවක් දවස් ද්වීපවර්ධනයට හේතු වූ මහේන්ද්‍ර ස්ථවිර තෙමේ පිරිණිවන් පෑ සේක. අටවක් දවස්හි මහේන්ද්‍ර ස්ථවිරයන් පිරිනිවි කරුණෙන් දවස ද අටවක් පෝදායි සම්මතවී. ඒ අසා උත්තිය රජතෙමේ සෝක නමැති හුලින් පහරණ ලදුයේ සෑගිරි ගොස් තෙරුන් වැඳ නොයෙක්වර නොයෙක් පරිද්දෙන් හඬා සුවඳතෙල් පුරවන ලද රන්දෙණක මහාස්ථවිර දේහය බහා මොනවට වසන ලද ඒ දෙණ අලංකෘත රන්කුළුගෙයක්හි තබ්බවා කුළුගෙය ගෙන්වාගෙන සාධු ක්‍රීඩා කෙළවමින් ඒ ඒ දිගින් ආ මහත් ජන සමූහයා කැටිව මහත්වූ භට සමූහයා ලවා පූජා විධාන කරවමින් සැරසූ මගින් නොයෙක් අලංකාරයෙන් සරහන ලද නුවරට ගෙනවුත් නුවර රාජවීථීන්හි හසුරුවා මහවෙහෙරට ගෙනවුත් මෙහි පැණඹ මළුවෙහි කුළුගෙය තබ්බවා සත්දිනක් ඒ මිහිපල් තෙමේ තොරන් කොඩිමාලා හා ගන්ධපූර්ණ ඝටයෙන් ද විහාරයන් අවට තුන්යොදුනකුත් රජහුගේ ආනුභාවයෙන් සරහන ලදුයේ විය.

එසේම මුළු ලක්දිව දෙවියන්ගේ ආනුභාවයෙන් සරහන ලද්දේ විය. ඒ මිහිපල් තෙමේ සත්දවසක් මුළුල්ලෙහි නානාප්‍රකාර පූජා සත්කාර කරවා පූර්ව දිසා භාගයෙහි තෙරුන්ගේ බද්ධමාලක නම් තැන සුවඳ දර සෑයක් කරවා මහසෑය ප්‍රදක්ෂිණා කරමින් මනරම් කුළුගෙය එහි පමුණුවා දරසෑයෙහි තබ්බවා අන්තිම සත්කාරය කෙළේ ය. ධාතූන් ගන්වා මෙහි සෑයක් ද කරවී. ක්ෂත්‍රිය තෙමේ ධාතුභාගයක් ගන්වා සෑගිරිවෙහෙරද සියලු විහාරයන්හි ද සෑ බැඳවී. ඒ සෘෂීහුගේ ශරීරය බැහූ තැන අවකාසය ද බුහුමනින් ඉසිභූමඞගණ නමැයි කියන ලදි. එතැන් පටන් එය සිසාරා තුන්යොදුන් මානයෙහි කලුරිය කළ ආර්යයන්ගේ ශරීර ගෙන ඒ පෙදෙස්හි දී දවනුලැබේ.” (මහාවංසය 30-49 ගාථා, ජාතික කෞතුකාගාර ප්‍රකාශනය, 1995)

මෙහි සඳහන් වන ආකාරයට උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා ගෙන්වා සෑයක් නිර්මාණය කළ බව සඳහන් වේ. මේ පිළිබඳ ව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සිය පුරාවිදු පර්යේෂණ නම් ග්‍රන්ථය තුළ කරුණු දක්වා තිබේ.

මිහින්තලේ මහසෑය අසල තිබූ ගොඩැල්ල තුළ අගලක් කැණ බැලූවිට එය සුන්බුන් ගොඩක් නොවන බවත් ජරාවාස වූ දාගැබක් බවත්, පෙනී ගියේ ය. වර්තමානයේ එය වටා මුලුමනින් ම පාහේ ශුද්ධ කර එහි පේසා වළලු දෙකත්, ධාතු ගර්භයත් පාදා ඇත. ධාතු ගර්භයේ පිටපැත්ත හොඳීන් ආරක්ෂා වී තිබේ. සුන්බුන් අතර වූ ගඩොල් ගණනාවක ක්‍රිස්තු පූර්ව වකවානුවකට අයත් බ්‍රාහ්මී අක්ෂර කොටා තිබුණි. එම අක්ෂර වඩු ලකුණු ලෙස සැලකීමට පුළුවන. මෙම ස්තූපය ක්‍රිස්තු පූර්ව අවධියකට අයත් බව මෙයින් ඔප්පු වේ. මෙය කඳු මුදුණේ වූ ශුද්ධ භූමියේ සතර අතට පෙනෙන ස්ථානයක ඉදිකර ඇති හෙයින් පෙර දවස ඉතා වැදගත් සිද්ධස්ථානයක් වන්නට ඇතැයි සිතන්නට පුලුවන. මෙය වර්තමානයෙහි දී මිහිඳු සෑය නමින් හැඳීන්වේ.

එහි බදාමය පවා විශිෂ්ට ක්‍රමයකට සකස් කරන ලද්දකි. මේ සිත් ඇද ගන්නා ස්තූපය වෙනත් ස්තූප හා සමාන කර බලනවිට කුඩා ගොඩනැගිල්ලක් ලෙස පෙනුණත් දැන් එය සංරක්ෂණය කර ඇති නිසා මිහින්තලේ කන්ද දෙස පහළ සිට බලන කෙනෙකුට ඉතා මනස්කාන්ත දර්ශනයක් දිස් වේ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන අන්දමට ලංකාවේ හෝ ඉන්දියාවේ හෝ එතෙක් කිසිවිටෙක හෙළිවී නැති වර්ගයකට අයත් ඔප දැමූ කළු මැටියෙන් ඔප නිම වූ කරඬුවක් එහිදී හමුවී තිබේ. එය ග්‍රීවාකාර කරඬුවකි. එකිනෙකට හාවෙන කොටස් තුනකින් යුක්ත වූ එහි ඉහළම කොටස පියන ලෙසත්, අනිත් කොටස් දෙක වෙනම හෙප්පු දෙකක් ලෙසත් භාවිත කර තිබිණි. මෙම කරඬුව ලංකාවේ මෙතෙක් සොයාගත හැකිවී ඇති ඉතාම වටිනා මැටි බඳුන වන්නේ ය. මෙම ධාතු කරඬුවෙන් නිරූපණය කර ඇත්තේ ඉන්දියාවේ ඇති පුරාණතම ස්තූපය වන සාංචි ස්තූපයේ නිර්මාණ ක්‍රමයයි. එබැවින් මෙම ධාතු කරඬුව තැනූ අය තමන් දවස ප්‍රචලිත ව තිබුණු ස්තූපවල ආකාරය ස්වකීය නිර්මාණයෙන් නිරූපණය කරන්නට ඇතැයිද, ඒ අනුව බලනවිට මෙය ක්‍රි. පූ. තෙවැනි හෝ දෙවැනි හෝ සියවසේ නිර්මාණයක් විය යුතු යැයි ද නිගමනය කිරීම සාධාරණ ය. මෙය සුන්බුන් අතර වූ ගඩොල්කැටවල කොටා තිබුණු බ්‍රාහ්මී අක්ෂරවලටත් ගැළපෙන වකවානුවකි. මුල් ස්තූපයත්, ධාතු කරඬුවත් එකම කාලයකට අයත් යැයි සිතිය හැකි නිසා කරඬුවෙහි තිබුණු අළුද ස්තූපයක් සාදා නිදන් කර ගරු කළ යුතු තරම් ශ්‍රේෂ්ඨ යැයි සැලකූ අතිපූජිත සමකාලීනයකුගේ අළු යැයි සැලකිය හැකි ය. මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ රජගලින් ලැබෙන සෙල්ලිපියකින් ද මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණය පිළිබඳ ව තොරතුරු ලැබේ.

මෙසේ ලක්දිව සුබ සිද්ධිය සඳහා මුළු ජීවිත කාලයම කැප කළ ඒ මාහිමියාණෝ ජීවතුන්ගේ ලෝකයෙන් වෙන්ව ගියහ. එහෙත් උන් වහන්සේගේ නාමය අද දක්වාත් මෙරට වාසීන්ගේ සිත්සතන්වල නොමැකී පවතියි. අද පවා දහස් ගණන් වන්දනාකරුවෝ එ හිමියන් සිටි තැනට ගලින් කැපූ එක්දහස් අටසියයකට අධික පියගැටපෙළ තරණය කරති. අද එම පර්වතය මිහින්තලේ (මහින්ද ථල) යන නමින් ද, එහිමියන් සිටි ගල් ගුහාව මිහිඳු ගුහා යන නමින් ද හැඳීන්වේ. කඳු මුදුනට ස්වල්පයක් පහළින් දක්නට ලැබෙන කුඩා ගල්තලය මිහිඳු මාහිමියන් සැතපුණු සයනාසනය යනු ජනප්‍රවාදයෙන් එන විශ්වාසය වේ.