Print this Article


තමන් කවුද? හඳුනා ගන්න

තමන් කවුද? හඳුනා ගන්න

මේ සසර බියකරු ය. තෘෂ්ණාවෙන් බැඳී, කර්ම රැස් කරන සත්ත්වයන් වැඩිපුරම ඉපදෙන්නේ සතර අපායේ ය. එයට හේතුව නම් තෘෂ්ණාවෙන් බැඳුණ තැන බහුල ලෙස සිදුවන්නේ අකුසල කර්ම නිසා ය.

තෘෂ්ණාව පැවතියත්, අවබෝධයෙන් යුතුව සම්මුතිය හා පරමාර්ථය තේරුම් ගත්තේ නම් කර්ම සකස් නොවන ආකාරයට සිතිවිලි, අරමුණු පවත්වාගත හැකි ය. ජීවිතය හසුරුවා ගත හැකි ය. ඒත් වැඩි පිරිසක් අවිද්‍යාවේ ගිලී සිටිති. තෘෂ්ණාවෙන් බැඳී සිටිති. ඉන්ද්‍රියන් පිනවති. රූප ශබ්ද ආදී අරමුණු කෙරෙහි “මම”, “මගේ” කියන දැක්මෙන් තෘෂ්ණාව උපදවා ගනිති. ඒ නිසා පස් පව් කරති. දස අකුසලෙහි නියැළෙති. ඒ තුළ අකුසල කර්ම රැස් කර ගනිති. මේ නිසා සත්වයෝ නැවත නැවතත් දුගතියන්හි ම උපදිති. එසේ දුගතීන් හි ඉපදෙමින්, සසර ගමන් කරන්නා වූ සත්වයෝ මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ නම්, ඒ ඉතා ම දුර්ලභව ය. මේ දුර්ලභ ව ලැබූ මනුෂ්‍ය ජීවිතය ද දුක ය. ලෙඩ වේ. මහලු වේ. මරණයට පත්වේ. අප්‍රමාණ වූ දුක් කම්කටොළු විඳින්නට සිදුවේ. මේ නිසා මේ දුර්ලභ ව ලැබූ මනුෂ්‍ය ජීවිතය, සතර සතිපට්ඨානය පුරුදු කරන ලද ආකාරයෙන්, මනාකොට සිහිය පිහිටුවාගෙන කටයුතු කළ යුතු වේ. ඒ පුද්ගලයා බුදු දහමට අනුව මනා වූ උපාසක හා උපාසිකා ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වේ.

සත්පුරුෂ ජීවිතයක් වේ. කල්‍යාණවන්ත ජීවිතයක් වේ. ආර්ය ප්‍රතිපදාවක් වේ. මෙහි දී තමා කවුරු ද කියා හඳුනාගැනීම අවශ්‍යය ය. අතිශය දුර්ලභ ව ලැබූ මනුෂ්‍ය ජීවිතය, සැනසිල්ලේ ගත කිරීමට නම්, තමාගේ සිත, සිතිවිලි හඳුනා ගැනීම අවශ්‍ය ය. ඒ සඳහා ධර්මයේ පෙන්වාදෙන ආකාරයෙන් ලෞකික වූ, යහපත් වූ අධ්‍යාපනයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයයි. මෙය බාහිර ලෞකික අධ්‍යාපනය පමණක් නොවේ. ලෝකෝත්තර වශයෙන් සීලයේ පිහිටිය යුතු වේ. කුසලාරම්මනයන් හි සිත පවත්වා ගත යුතු වේ.

පැවිදි උතුමෙක් නම් පැවිදි බවේ කාර්යභාරය හඳුනා ගනී. තමන් කෙලෙසුන්ගෙන් බැහැර ව, ධර්මාවබෝධය පිණිස මඟ සලසා ගනී. ඒ වගේ ම ගිහි සමාජයටත් ඒ දහම් මඟ මැනවින් කියා දේ. පෙන්වා දේ. පැවිදි ජීවිතය “අබ්භෝකාසං විය” අහස වැනි ය. ඇලීම්, බැඳීම්වලින් නිදහස් වූ බවක් ඇති කර ගත යුතු වේ. ඒ වගේ ම ගිහි ජීවිතයේ අපමණ බාධකවලින් නිදහස් විය යුතු වේ. මේ බව අවබෝධ කරගන්නා වූ භික්ෂූන් වහන්සේ හිරු මෙන් සැඩ රශ්මිය නොපතුරුවති. සඳ මෙන් සිසිලස දෙති. ශාන්ත වෙති.

එහෙත් සඳ මොනතරම් සෞම්‍ය වූව ද, සඳට කැමැති වූව ද, කිසිවෙකුටත් සඳ ඇල්ලීමට නො හැකි ය. ළං විය නො හැකි ය. භික්ෂුව ද එවැනි ය. ඇලීමක් නැත. බැඳීමක් නැත. එහෙත් සෞම්‍ය ය. සැමට සැනසිල්ල උදාකරන්නේ ය.

මනුෂ්‍යයෙක් යනු කවුද? මනුෂ්‍යයෙකුගේ වටිනාකම කුමක් ද? මනුෂ්‍යයෙක් කෙසේ තම ජීවිතය පවත්වා ගත යුතු දැයි අපි සැකෙවින් හඳුනන්නෙමු.

එවැනි මනුෂ්‍යයෙක් අම්මා කෙනෙක්, පියාණන් කෙනෙක් බවට පත් වූයේ නම් ඒ ජීවිතය තුළ තිබිය යුතු ගුණාංග පිළිබඳ මනා ලෙස අවබෝධ කරගත යුතු වේ. අම්මා මොනතරම් කාරුණික ද? ඇය, “මමායතී මාතා” මගේ මගේ කියා දරුවන් රකින නිසා මාතා නම් වේ. අම්මා වේ.

“රක්ඛති පිතා” මගේ මගේ කියා දරුවන් රකින නිසා, ආරක්ෂා කරන නිසා පියාණන් වේ.

එසේ නම් ඒ දෙපළ තමාගේ යථා ස්වභාවය මැනවින් තේරුම් ගත යුතු වේ. ඒ අනුව දරුවන් කෙරෙහි තම ගුණ ඔසවා තැබිය යුතු වේ. එනම් තම චරිතය තුළ ඒ ගුණයන් පවත්වා ගත යුතු වේ.

මව්පියවරු ජීවිතයේ සියල්ල කියාදෙති. ආහාර පාන ගැනීම, ඇඳුම් පැළඳුම්, පිරිසුදුවීම්, කතාබහ ආදී සියල්ල කියා දෙති. එබැවින් ඔවුහු “පුබ්බාචරිය” නම් වෙති. දරුවන්ගේ ජීවිත වෙනුවෙන් තම ජිවිත කැප කරන නිසා අනාගත ජිවිතවලට ආලෝකය උදාකරන නිසා “පුබ්බදේව“ නම් වෙති. දුෂ්කර කාලයක දී වුව, මහා දුරු කතරක දී වුව ආහාරපාන ආදිය ගෙනවිත් සංග්‍රහ කිරීමට සුදුසු බැවින් ඒ මව්පියවරු “ආහුණ්‍යෙය” නම් වෙති. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, මේ ගුණ ඒ මව්පියන් විසින් මතකයේ තබාගෙන හදවතින් ම, අවංකව ම ඒ ගුණයන්ට අනුගත වන්නේ නම් අම්මා කියන භූමිකාවත්, පියා කියන භූමිකාවත් දැන, දරුවන් වෙනුවෙන් කටයුතු කළ හැකි ය. යුතුකම් කළ හැකි ය. අනිවාර්යයෙන් ම ඒ මව්පියන්ගේ චරිත දෙස නෙතින් පමණක් නොව සිතින් පවා දකින දරුවෝ එයට අනුගතවෙති.

මේ නිසා ඒ අම්මා හා තාත්තා එසේ භූමිකාව හඳුනාගත් විට දරුවන්ට චරිතාදර්ශයෙන් තම පවුලට පමණක් නොව සමාජයට, රටට ම පළාතට ම මහඟු ආදර්ශයක් වෙති. ඒ දෙපළ තුළ, ස්වාමියා හා බිරිඳ වශයෙනුත් යුතුකම් ඉටු වේ.

මව්පියන් හැටියට දක්වන භූමිකාව තුළ මෙලොව වාසය කරන දෙවියෙක් හා දිව්‍යාංගනාවක් හැටියට ඔවුන්ගේ චරිත ස්වභාවයෙන් ම සකස් වේ. අවංක බව, රැකවරණය, ආරක්ෂාව, වගකීම් හා වගවීම්, දයාව, කරුණාව, ආදරය, ලෙන්ගතුකමේ පටන් සියල්ල සකස් වේ. එවැනි දෙපළක් වාසය කරන නිවහනක් ධර්මයේ හැඳින්වූයේ සුරවිමනක් ලෙසට ය. එහි පිසෙන භොජුන් රාජභොජුන් හැටියට ය. පැල්පතක වු ව පිසෙන සාමාන්‍යයෙන් ආහාරයකින් යුතුව, ජීවත්වන පවුලක් ද විය හැකිය. මෙය පවුල් කතාවක් හැටියට දැක්වූවත් සමාජය ම වශයෙන් එය චරිතාදර්ශයෙන් පිරිපුන් වූ දහස් ගණනකට මඟ කියාදෙන හැබෑ ම යුතුකම් හා ඉටුකම් මතු කරන පරිසරයක් මවා දිය හැකි ය.

හැම මනුෂ්‍යයෙක් ම අම්මා කෙනෙක්, පිය කෙනෙක් නොවිය හැකි ය. හැම මනුෂ්‍යයෙක් ම ස්වාමි දියණියක්, ස්වාමි පුත්‍රයෙක් නොවිය හැකිය. හැබැයි සෑම මනුෂ්‍යයෙක් ම දරුවෙක් බවට පත්වේ. එය විශේෂිත කරුණකි. මේ නිසා සෑම දරුවෙක් ම මව්පියන් නම් බොහෝ උපකාර ඇත්තන් බවත්, මව්පියෝ නම් පෙරදිගින් පායන හිරුමෙන් තමාගේ ජිවිතයට ආලෝකය ලබාදෙමින් ජීවිතයෙන්, ජීවිතයක් ලබාදුන් බවත් නිරන්තරයෙන් සිහිපත් කර ගත යුතු වේ. මව්පියන් රැක බලා ගැනීම. මව්පියන්ගේ කුදුමහත් කටයුතු කිරීම, රෝගීවන විට ප්‍රතිකාර කිරිම මැනවින් අධ්‍යාපනය ලැබීම මව්පියන්ගේ ගුණවත් චරිත මඟ නො කෙලෙසා ආරක්ෂා කිරීම ආදී වශයෙන් ලෞකික කතාව දැක්විය හැකි ය. පුතා දුව කියන තනි වචනයකින් හැඳින්වූවොත් මව්පියන්ගේ සිත යහපත් ලෙස සතුටු කරන නිසා, පූරණය කරන නිසා පුතා හෝ දුව බවට දැක්වීය. ගුණ ගරුක අම්මා කෙනෙක් පිය කෙනෙක් තමනුත් සත්පුරුෂ වී දරුවන් කෙරෙහි ද මෙත්තා ආදී ගුණයන්ගෙන් ආකල්ප පවත්වන නිසා ඒ දරුවන්ට මව්පියන් කෙරෙහි ඇති වන්නේ යහපත් වූ සද්පුරුෂ වූ සිතිවිලිමය. ඒ නිසා එවැනි මව්පියන්ගේ සිත් සම්පූර්ණ කිරීම යනු යහපත් වූ ලෝකයක සද්පුරුෂ වූ මනුෂ්‍යයෙක් වීමට තමනුත් ගන්නා වූ උත්සාහයක් හැටියට දැකිය හැකිය. එවැනි ලොවක් තුළ මව්පියන්ට දැනෙන්නේ රජෙක් රාජනියක් නොවුණත්, තමාගේ ජිවිත තුළ සිත් හෝ හදවත් සම්පූර්ණ කළ පිනෙන් පහළ වූ සසර ගමනේ දුර්ලභ ව මුණගැසුණු සද්පුරුෂ දරුවෙක් හැටියටය.

වර්තමාන පරිසරය තමා කවුරුන් දැයි හඳුනා ගන්නා තැන පවුල් පරිසරයෙන් ම හඳුනාගත්තොත් සමාජයට, රටට, ලෝකයට යන ඔබ හැම කෙනෙකුට ම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සහෝදරයෙක්, සහෝදරියක් හා දරුවෙක් බවට පත්වෙනවා නිසැක ය. එය ම උතුම් මනුෂ්‍යත්වය හඳුනාගත්, ලෞකික වශයෙන් යහපත් වූ එමෙන් ම ලෝකෝත්තර වශයෙන් දුගතිය බැහැර කරන සුගතිය උරුම කරන පුද්ගලයෙක් බවට පත්විය හැකි වේ.