Print this Article


සම්මා සම්බුද්ධත්වයට පෙර නිමිති පෙන් වූ පංචමහා සිහින

සම්මා සම්බුද්ධත්වයට පෙර නිමිති පෙන් වූ පංචමහා සිහින

අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන තෙක් සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් පාරමි ධර්මයන් සම්පූර්ණ කරලයි මනුලොව උපත ලැබුවේ.

බෝසතාණන් වහන්සේ ගිගිගෙයින් නික්ම ගොස් දුෂ්කරක්‍රියා සිදු කර එය නිවන් මග නො වන බව තේරුම් ගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය සොයාගෙන ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ පිළිවෙත් පුරා සම්බුද්ධත්වයට ආසන්න වී තිබෙන වෙසක් පුන් පෝ දිනට කලින් රාත්‍රියේ විශේෂ සිහින පහක් දුටුවා.

අංගුත්තර නිකායේ මහාසුපින කියන සූත්‍ර දේශනාවේ ඒ සිහින පහ සහ ඒ සිහින පහේ අර්ථ සඳහන් වෙනවා. අප මහා බෝසතාණන් වහන්සේ වෙසක් දිනට කලින් දින රාත්‍රියේ ඒ සිහින පහ දුටුවාට පස්සේ උන්වහන්සේට තේරුම් ගියා අනිවාර්යයෙන් ම මම හෙට උදාවෙන වෙසක් පුන් පොහෝ දිනයේ සම්බුද්ධත්වයට පත්වෙනවා. එයට පෙර නිමිත්තක් ලෙසයි මම මේ සිහින පහ දුටුවේ කියලා. මහා අර්ථයක් ඇති ශ්‍රේෂ්ඨ සිහින කියන අර්ථයෙන් .තමයි මහා සුපින කියා ඒ සූත්‍රදේශනාවට කියන්නේ.

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය ලබා සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී භික්ෂු සංඝයා උදෙසා ඒ සිහින එකින් එක පැහැදිලි කරමින් ඒ සිහිනවල අර්ථ භික්ෂු සංඝයාට මනාකෙට පැහැදිලි කළා. භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවක සඟරුවනට තෝරා දුන් ආකාරය තමයි මෙම සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ දේශනාව මෙසේයි.

මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිිසත්ව වූයේ මේ මහා පෘථිවිය මහා සා යනාසනයක් විය. හිමාල පර්වත රාජයා කොට්ටය විය. වම් අත පූර්ව දිශාවෙහි සයුර ඉක්මවා පිහිටියේ ය. දකුණු අත බටහිර දිශායෙහි සයුර ඉක්මවා පිහිටියේ ය. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිිසත්ත්ව වූයේ ම මේ පළමුවෙනි මහා සිහිනය පහළ වූයේ ය.

තවද මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිිසත්ව වූයේ තිරිය නම් තෘණ වර්ගයක් සිය නාභියෙන් මතු ව උඩට නැගී ගොස් අහස් තලයෙහි වැද සුවිසල් ව පැතිර ගියේ ය. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිිසත්ව වූයේ ම මේ දෙවෙනි මහා සිහිනය පහළ වූයේ ය.

මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ කළු හිස් ඇති සුදු පැහැ ඇති පණුවෝ පාදයන් දෙපසින් නැගී දණහිස තෙක් පිරී වසා සිටියා හු ය. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූයේ ම මේ තුන් වෙනි මහා සිහිනය පහළ වූයේය.

තවද මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙරම අනභිසම්බුද්ධ වූ බෝධිිසත්ව වූයේ නා නා පැහැයෙන් යුතු පක්ෂීහු හතර දෙනෙක් සිව් දිශාවෙන් පියඹා අවුත් පාමුල වැතිර සියල්ලෝ ම සුදු පැහැයට පත් වූවාහු ය. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිිසත්ව වූයේ ම මේ සිව්වෙනි මහා සිහිනය යි.

තවද මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ මහත් වූ අසූචි පර්වතයක් මුදුනෙහි අසූචි නො තැවරෙමින් සක්මන් කරමින් සිටිය හ. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ ම මේ පස්වෙනි මහා සිහිනය පහළ වූයේ ය.

මහණෙනි, යම් හෙයකින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙරම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්ව වූයේ මහා පෘථිවිය මහා සයනාසනයක් වූයේ ද, හිමාල පර්වත රාජයා කොට්ටය වූයේ ය. වම් අත පූර්ව දිශායෙහි සයුර ඉක්මවා පිහිටියේ ද, දකුණු අත බටහිර දිශාවෙහි සයුර ඉක්මවා පිහිටියේ ද, පා යුග දකුණ සයුර ඉක්මවා පිහිටියේය ද, මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරන ලද්දේ ද, ඒ අභිසම්බෝධියට නිමිත්ත වශයෙන් මේ පළමු වැනි මහා ස්වප්නය පහළ වුයේ ය.

මහණෙනි, යම් හෙයකින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධි සත්ත්ව වූයේ කළු හිස් ඇති සුදු පැහැ ඇති පණුවෝ පාදයන් දෙපසින් නැගී දණහිස් තෙක් පිරී වසා සිටියාහු ද, මහණෙනි, බොහෝ සුදුවත් හඳින ගිහි ශ්‍රාවකයෝ තථාගත දිවි හිමියෙන් සරණ ගත වුවාහු වෙත් ද, ඒ අභිසම්බෝධියට නිමිත්ත වශයෙන් මේ තුන්වෙනි මහා ස්වප්නය පහළ වූයේ ය.

මහණෙනි, යම් හෙයකින් තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ නා නා පැහැයෙන් යුතු පක්ෂීහු සතර දෙනෙක් සිව් දිශාවෙන් පියඹා අවුත් පා මුල වැතිර සියල්ලෝ ම සුදු පැහැයට පත් වූවාහු ද, මහණෙනි, මේ වර්ණයෝ සතරකි. ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, හා ශුද්‍ර වර්ණයන් ය. ඔවුහු ගිහි ගෙයින් නික්ම තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයෙහි පැවිදිව අනුත්තර වූ අරහත්ඵල විමුක්තිය සාක්ෂාත් කරත් ද, ඒ අභිසම්බෝධියට නිමිත්ත වශයෙන් මේ සිව් වැනි මහා ස්වප්නය පහළ වූයේ ය.

මහණෙනි, යම් හෙයකින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ මහත් වූ අසූචි පර්වතයක් මුදුනේ අසූචි නො තැවරෙමින් සක්මන් කරමින් සිටියේ ද, මහණෙනි, තථාගතයන් වහන්සේ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ලබන්නා හු වෙති. එහිලා තථාගතයන් වහන්සේ ඒ සිවුපසයට නො ඇලී, මුසපත් නො වී, නො බැසගෙන, ආදීනව දකිමින් , ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුතුව නො ඇලෙමින් පරිහරණය කරත් ද, ඒ අභිසම්බෝධියට නිමිත්ත වශයෙන් මේ පස්වැනි මහා ස්වප්නය පහළ වුයේ ය.

මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුද්ධත්වයට සම්බුද්ධත්වයෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ව වූයේ මේ පංච මහා සිහිනයෝ පහළ වූහ.

මේ සිහින පහේ දී බෝසතාණන් වහන්සේ දුටු පරිදි ම ඒ අර්ථ තේරුම් ගත් ආකාරයට උන්වහන්සේ සියලු කෙලෙස් ප්‍රහාණය කර මාර පාරාජය සිදු කර, නිකෙලෙස් හද මඬලක් දරාගෙන උතුම් සම්මා සම්බුද්ධත්වයට ගුරු උපදේශ නො මැතිව ශාක්ෂාත් කළහ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත් භාග්‍යවතුන් වහන්සේ ඒ සිහිනවල අර්ථ තේරුම් ගත් ආකාරයෙන් ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය දෙව් මිනිසුන්තුළ පතළ කර හැරිහ. මේ සිහිනවල අර්ථ මනා කොට භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනය තුළින් පිළිඹිබු විය.