Print this Article


රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වූ

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වූ ඔලබොඩුව සුදර්ශනාරාම රජමහා විහාරය

"නිශ්ශංකමල්ල රජතුමා පළාත් සංචාරයන්හි නියැළෙමින් ශ්‍රී පාදය හා පහත රට සංචාරය කරද්දී ඔලබොඩුව ගම්මානයටද පැමිණ ඇති බවත් එහිදී තුලාභාර දානයක් ලබා දී ඇති බවත් ඉතිහාසයේ දැක්වේ."

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සැමරීමට නියමිත වූයේ හොරණ ඔලබොඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරයේදී ය. කොරෝනා වසංගතය නිසා එය උත්සවාකාරයෙන් පැවැත්වීමට මෙවර හැකියාව ලැබුණේ නැත.

එහෙත් ආගමික වතාවත්වලට මුල් තැන ලබා දී රාජ්‍ය වෙසක් උත්සවයේ මූලික සියලු කටයුතු ඔලබොඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරයේදී සිදු කෙරිණි.

කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ ඔලබොඩුව ගම්මානයේ පිහිටි ඔලබොඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරය ප්‍රධාන වශයෙන්ම අපට වැදගත් වන්නේ කරුණු දෙකක් නිසා ය. එයින් එක් කරුණක් වන්නේ ඔලබොඩුව විහාරස්ථ අතීතය පොළොන්නරුව යුගය දක්වා දිව යාමයි.

විශේෂයෙන්ම නිශ්ශංකමල්ල රජතුමා පළාත් සංචාරයන්හි නියැළෙමින් ශ්‍රී පාදය හා පහත රට සංචාරය කරද්දී ඔලබොඩුව ගම්මානයටද පැමිණ ඇති බවත් එහිදී තුලාභාර දානයක් ලබා දී ඇති බවත් ඉතිහාසයේ දැක්වේ. එහිදී ප්‍රාන්ත ඇමැතිවරයකුගෙන් ප්‍රදේශය ගැන විස්තර ලබා ගෙන එම ස්ථානය දේව අනුහස් ඇති ස්ථානයක් හා මහානුභාව සම්පන්න ස්ථානයක් බව දැනගෙන එහි දෙවොලක් ඉදි කිරීම සුදුසු බව නිර්දේශ කර ඇත.

එතැනින් ඇරැඹුණු ඒ දේව අනුහස් භාවය පසුකලෙක එම ස්ථානයේ උපුල්වන් දේවාලයක් ඉදි කිරීම දක්වා වර්ධනය වී ඇත.

එදා සිට මේ දක්වා උපුල්වන් දෙවියන්ගේ අනුහස් ඇති බවට ජනතාවගේ විශ්වාසයක් ඇත.

එසේම පසුකලෙක ශ්‍යාමෝපාලි මහා නිකායේ පහත රට බුදු දහම ප්‍රචලිත කිරීමේදී වීදියගොඩ රජමහා විහාරය ආශ්‍රිත භූමිය වීදියගොඩ විහාරයට පූජාකර බුදු දහම ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලදී. එම අවස්ථාවේදී වීදියගොඩ ප්‍රථම විහාරාධිපති ලෙස බෙන්තර ශ්‍රී සුදර්ශන නා හිමියන් පත් වූ අතර එම අවස්ථාවේ සිටම ඔලබොඩුව රජමහා විහාරයද ස්ථාපිත කෙරුණු අතර එහි භාරකාර විහාරාධිපති ස්වාමින් වහන්සේ ලෙසද උන් වහන්සේ පත් වූහ.

විහාරාධිපති
උඩුවේ හේමාලෝක
නා හිමි
 

විහාර භාරකාර
ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති
ඔලබොඩුවේ ධම්මික හිමි

වීදියගොඩ රජමහා විහාරයෙන් එසේ ආරම්භ වුණු ඔලබොඩුව රජමහා විහාරයේ ප්‍රථම විහාරාධිපති හිමියන් ලෙස පත් වූයේ ඔලබොඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන්ය.

එතැන් සිට විහාරස්ථානයත් උපුල්වන් දේවාලයත් විශාල දියුණුවකට පත්ව අද පවතින සංවර්ධනය දක්වා පැමිණ තිබේ. ඔලබොඩුව රජමහා විහාරය මූල මහා විහාරය ලෙස කේන්ද්‍ර කරගෙන මේ වන විට විහාරආරාම 24ක් පමණ ස්ථාපිත කර ඇති අතර තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානය ද එයින් එක් ස්ථානයකි. එමෙන්ම බහුශ්‍රැත භික්ෂූන් වහන්සේ 200නමක් පමණ ශාසනයට දායක කර තිබේ.

මඳනල හමා එන වෙල්යායකින් හා දැවැන්ත ගල් තලාවක් සහිත වෘක්ෂ ලතාවන්ගෙන් සපිරි භූමිභාගයක පිහිටි මේ විහාරස්ථානය රයිගම් කෝරළයේ පමණක් නොව සමස්ත දිවයිනේම සැදැහැවතුන්ගේ ගෞරවනීය වන්දනාවට පාත්‍ර වී ඇත.

මෙම විහාරස්ථානයේ තිබූ හමුවූ පෞරාණික කලාශිල්පයන්ගේ දැක්වෙන්නේ ද තුලාභාර දානමය පින්කමයි. අතීතයේ බෝගහවත්ත නමින් ද විහාර භූමිය හඳුන්වා ඇත්තේ මෙහි බෝ වෘක්ෂයන් විශාල ප්‍රමාණයක් තිබුණු නිසා බවද පැවසේ.

වර්තමානයේ විහාරස්ථානයේ දියුණුවට ඇප කැප වී කටයුතු කරන්නේ විහාරාධිපති උඩුවේ හේමාලෝක නා හිමියන් හා විහාර භාරකාර ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන් ය.

විහාරස්ථ දහම් පාසලේ මේ වන විට සිසු සිසුවියන් 1700ක් පමණ අධ්‍යාපනය ලබන අතර කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන දහම් පාසලද එය වන්නේ ය.

ඔලබොඩුව රජ මහා විහාරානුබද්ධව පවතින උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පවත්වනු ලබන පූජා චාරිත්‍රවල ප්‍රධාන අංගයක් වන්නේ වාර්ෂිකව පවත්වනු ලබන නවම් පෙරහර මංගල්‍යයයි. මේ පෙරහර උඩරට චාරිත්‍රවලට අනුගතව මහා විහාර බෞද්ධාගමික චාරිත්‍ර රකිමින් පැවැත්වීම විශේෂත්වයකි.

පෞරාණික විහාර මන්දිරය සහිත උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලය පුරා විද්‍යා ස්මාරකයකි. එහි දේව ප්‍රතිමාව උසස් නිර්මාණ මට්ටමක පවතින්නකි. සැබෑ මිනිසකුගේ ප්‍රමාණයටම ඉදිකර ඇත. එය දඹුලු ලෙන් විහාරගත විෂ්ණු ප්‍රතිමාවට ද සමානතාවයක් දක්වන්නකි. වාහනාරූඪ නොවන අයුරින් එය නිර්මිතය.

පුරා විද්‍යා ලක්ෂණයන්ගෙන් යුක්ත ඓතිහාසික පුද බිමේ මෙවර ජාතික වෙසක් උත්සවය පවත්වන්නට ලැබීම වාසනාවන්ත ය. වෙසක් පුන් පොහෝ දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් එහි පවත්වන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එමෙන්ම වෙසක් සමරුව නිමිත්තෙන් නිකුත් කරන ලද නව මුද්දර 4න් එක් මුද්දරයක දැක්වෙන්නේ තුලාභර දානය ලබා දීමේ සිතුවමයි.

එමෙන්ම ඔලබොඩුව රජමහා විහාර භූමිය පූජා භූමියක් ලෙස ගැසට් කර එහි සන්නස් පත්‍රය විහාරාධිපති උඩුවේ හේමාලෝක නාහිමියන්ට පිරි නැමීමත්, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවය මඟින් බස්නාහිර පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය ගෞරව පදවියත් සමගම ඔලබොඩුවේ ධම්මික හිමියන්ට පිරි නැමීමද සිදු කරන ලදී.