Print this Article


ඔලබොඩුවේ ධම්මික හිමියෝ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවි ලබති

ඔලබොඩුවේ ධම්මික හිමියෝ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවි ලබති


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් විජිනිපත පිළි ගන්වමින්

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහනුවර මල්වතු මහා විහාර පාර්ශවයේ පූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව විසින් ඔලබොඩුව රාජමහා විහාරයේ භාරකාර, ඉතාලිය මිලානෝ නුවර ලංකාරාමාධිපති, වීදියගොඩ ශී‍්‍ර සාමගී‍්‍ර සංඝ සභාවේ ගරු ප්‍රධාන ලේඛකාධිකාරී ඔලබොඩුවේ ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත “සද්ධර්මකීර්ති ශී‍්‍ර විනයාචාර්ය” යන ගෞරව නාම සම්මුතිය සහිතව බස්නාහිර‌ පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

පසුගිය පෙබරවාරි මස 27 වන දින ඒ පිළිබඳ ශී‍්‍ර සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මහනුවර මල්වතු මහා විහාරීය ‌රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශී‍්‍ර සන්නස් පත්‍රය ගරුතර අභිනව නාහිමිපාණන් වහන්සේට පිළිගැන්වීම රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පසුගිය මැයි මස 06 වෙනි බදාදා පෙරවරුවේ තෛ‍්‍රනිකායික මහානායක, අනුනායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව අරලියගහ මන්දිරයේදී සිදු කරන ලදී.

එම අවස්ථාවේ දී උන් වහන්සේට විජිනිපතද පිළි ගන්වන ලදී. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ රෝහිත අබේගුණවර්ධන හිටපු ඇමැතිවරයා විසිනි. ඓතිහාසික ඔලබොඩුව රාජ මහා විහාර භාරකාර, ඉතාලිය මිලානෝ ලංකාරාමාධිපති, වීදියගොඩ සාම ශ්‍රී සංඝ සභාවේ ගරු ලේඛකාධිකාරී, තනතුරු දරමින් උන්වහන්සේ ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් මහත් වූ දායකත්වයක් සපයති. 2006 වසරේ දී ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති ධුරයට පත් වෙමින් ද 2007 දී ඔලබොඩුව ජයවර්ධනාරාම විහාරයේ භාරකාරත්වයට පත් වෙමින් ද සිදු කළ සේවාවට අමතරව උන් වහන්සේ මිලානෝ ලංකාරාම ඉංගී‍්‍රසි දහම් පාසල ද ආරම්භ කරමින් අන්තර්ජාතික සේවාවන් ද සිදු කළහ.

එමෙන්ම ඔලබොඩුව ශී‍්‍ර සුමංගල ඉංගී‍්‍රසි - සිංහල දහම් පාසලේ ද ප්‍රධානාචාර්ය ධුරයට පත් වෙමින් විශාල කාර්යභාරයක් ඉටු කළහ. මිලානෝ බ්ලූම් ජාත්‍යන්තර පාසලේ ආගමික උපදේශක, ඉතාලි බෞද්ධ සංගමයේ උපදේශක, යුරෝපා බෞද්ධ සංගමයේ ථේරවාදී ආගමික උපදේශක – යුරෝපා බෞද්ධ සංගමයේ සම්බන්ධිකරණ ධුරය, සියම් නිකායේ වීදියගොඩ පාර්ශ්වයේ ශ්‍රී සාමගී‍්‍ර සංඝ සභාවේ ලේඛකාධිකාරී ධුරය, තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භාරකාර මණ්ඩලීය සභික ධුරය දරමින් මහත්ම වූ ශාසනික මෙහෙවරක නිරත වෙති.

ඔලබොඩුව රාජ මහා විහාරයේ අභිනව සුවිශාල ධර්ම මන්දිරය, දෙමහල් සංඝාවාසය සහිත ධාතු මන්දිරය, අටවිසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය, ෂඩ් මහා දේවාල මන්දිරය, දහම් පාසල් ගොඩනැගිල්ල, උපොසථාගාරය නවීකරණය කිරීම ද ධම්මික හිමියන්ගේ තවත් සේවාවන් රැසකි.