Print this Article


අනුත්තරීය සූත්‍රය: සිතෙහි යථාර්ථය හඳුනා ගනිමු

සිතෙහි යථාර්ථය හඳුනා ගනිමු

ඇහෙන් රූප බලන්න. එහෙත් නිමිති අනුනිමිති නො ගන්න. අරමුණු පසුපස නො යන්න. යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. අපි යමක් කෑමෙන් පසු තලු මරා රස බලමු. අලංකාර රූපයක් දෙස බලා ඇස් ඉවත් කරගන්නා මුත් යළි එය බැලීමට ආශා කරමු. අපි එම කාරණා ස්ථිරව මනසට ගෙන සංස්කාර ලෙස තබා ගනිමු.

ඉතා රසවත් ආහාරයක් ලැබූ විට අපට සිහි වන්නේ මව ඉඳුල් කට ගෑ දිනයේ කැවූ ආහාරයේ රසය යි. එසේ අප හොඳයි යනුවෙන් ගත් දෙය යළි යළි ලබාගැනීමට වෙර දැරීම මිනිස් ස්වභාවය වේ. සුනඛ, ගව ආදි සත්ත්වයන් අහර ගත් පසු එය වමාරා යළි බුදිති. එමෙන් අපි රසවත් මතකයන් යළි පුබුදුවාලීමට යාමෙන් සංස්කාර ගොඩනගා සසරේ ඉදිරියට යන්නෙමු. යම් රූපයක් දුටු විට අපට රාගික හෝ ද්වේශ සහගත වින්දනයක් ඇතිවේ.

හටගත් වින්දනය යටපත් නො කොට, රාගික සිතක්, ද්වේෂ සිතක් ඇති වූ බව හඳුනාගැනීමයි අප කළ යුතුව ඇත්තේ.

”සදොසං වා චිත්තං සදොසචිත්තන්ති පජානාති”

ද්වේශ සහගත නැත හොත් වෛරී සිතිවිල්ලක් පැමිණි කල තරහවක් පැමිණි බව හඳුනා ගන්න. මේ පිළිබඳ සරල උදාහරණයක් මෙසේ ය. නිවසට හොරෙක් පැමිණි බව අප දැනගත හොත් හැකි ඉක්මනින් නිවස බලා යනු ඇත. එමෙන් රාග, ද්වේෂ, මෝහ ආදි අකුසල මූල හොරු සේ පැමිණෙන අතර, අප එම අකුසල් හඳුනා ගන්නා තෙක් ඒවා අප හා මිතුරු වේශයෙන් පවතී. සිතෙහි යථාර්ථය හඳුනාගත් පසු අකුසල් සිතිවිලි විනාශ වේ. එහෙයින් සිතට පෙනෙන රූප සිත තුළ ඇති වන චෛතසික හා නො ගැටී සිත හඳුනා ගැනීමට අප පුරුදු පුහුණු විය යුතු ය. අප විවිධ මාතෘකා යටතේ සාකච්ඡා කර ඇති සුනඛ රැළ හා වැද්දා පිළිබඳ කථා පුවත මෙම කරුණට කදිම නිදසුනකි. මෙහි දී හඳුනා ගැනීමේ වැදගත්කම පැහැදිලි කිරීම් වස් එම පුවත කෙටියෙන් මෙසේ දක්වමු.

එක් කැලෑවක විසූ භික්ෂූන් පිණ්ඩපාතය සඳහා කැලෑවෙන් පිටතට පැමිණෙමින් සිටියේ ය. එම ගම් ප්‍රදේශයේ විසූ මස් වැද්දෙක් සිය සුනඛ රැළ සමඟ දඩයම් පිණිස කැලෑවට යමින් සිටියේ ය. භික්ෂූව දුටු වැද්දා අප්‍රසාදයට පත්ව කැලෑ වැදුණේ ය. අද මෙන් එදා ද ගමන් යන විට භික්ෂූන් වහන්සේලා දැකීම ප්‍රිය කරුණක් නො වේ යැයි දුර්මතයක් පැවතිණ, එදා වැද්දාට දඩයම් නො ලැබුණු අතර යළි කැලෑවෙන් පිට වීමේ දී පිණ්ඩපාතයේ වැඩි භික්ෂූන් වහන්සේ කැලෑවට ඇතුළු වීමට පැමිණිය හ. දඩයම් නොලැබ කෝපයෙන් පැමිණෙන වැද්දා භික්ෂූන් වහන්සේ දැක සුනඛ රැළ එදෙසට එළවූ අතර, භික්ෂුව ගහකට නගින්නට වූහ. වැද්දාගේ ඊතල පහරින් බේරීම සඳහා ගහ මත සිටි භික්ෂුව දැඟලීමේ දී සිවුර ගැල වී වැද්දා මතට වැටුණු අතර සිවුරට බිරූ සුනඛයෝ වැද්දා වෙත පැන සපා කා, වැද්දා මරා දැමුවෝ ය. සුනඛයන්ගේ හඳුනා ගැනීමට අනුව වැද්දා මරණයට පත් වූවත්, භික්ෂූන් වහන්සේ ඒ පිළිබඳ ව සංවේගයට පත්ව, බුදුරදුන් වෙත ගොස් සියලු පුවත් පවසා තමන්ට අකුසලයක් වූයේ දැයි විමසා සිටියේ ය. එවිට “මහණ, ඔබ තුළ වැද්දා මැරීමේ අරමුණක් නොවූ හෙයින් අකුසල් සිදු නො වේ” යැයි බුදුන් වහන්සේ පැහැදිලි කළ බැව් ධර්මයෙහි සඳහන් වේ.

යමෙක් දුෂ්ට සිතින් පිරිසිදු සිතැත්තෙකුට හානි කිරීමට උත්සාහ කළ කල්හි,

ඒ බාලයාට පව හිමි වන්නේ,

උඩ දැමූ දූවිලි යළි තමාට එන්නා සේ ය.

එසේ බුදු දහම පැහැදිලි කරන්නේ යමෙකුගේ ක්‍රියාවට මුල් වන චෛතසිකය වැදගත් වන බවයි. එහෙයින් අප සැවොම පින්කමක් කරන කල්හි බාහිරින් නොව චිත්තාභ්‍යන්තරයෙන් ම පින් කළ යුතු වේ. පරිත්‍යාගී සිතිවිල්ල, අත්හැරීමේ සිතිවිල්ල ඇති කර නො ගෙන දන්දීමෙන් නියම ආනිසංස ලැබිය නො හැකි ය. එසේ ම යමෙක් කුසල් කිරීමට සූදානම් වීමේ දී ඉන් වළක්වාලීමට උත්සාහ නො කළ යුතු ය.

සුඛො පුඤ්ඤස්ස උච්චයො

අපි හැම සැප විඳීමට කැමැත්තෙමු. සත්‍ය වශයෙන් ම බුදුදහම සැපත උගන්වන දහමකි. “බුදුන් වහන්සේ දුක පිළිබඳ ව කතා කරන හෙයින් ද චතුරාර්ය සත්‍යය තුළින් ද දුක පිළිබඳව ම කතා කරන හෙයින් ද බුද්ධ දර්ශනය අප සිත් ගන්නේ නැතැයි’ සමහරු අප හා පවසා ඇත. දුක යන වදනට අපි සැප යන වචනය යොදා ඒ පිළිබඳ සිතන ලෙස ඔබට ආරාධනා කරමු. අප නිවන හඳුන්වන්නේ නිවන් සැප යනුවෙනි. කිසිවෙක් නිවන් දුක යැයි නො කියති. මෙලොව බොහෝ දෙනා අවිද්‍යාව නිසා වදන්වලට බියේ ජීවත් වෙති.

බුදු දහමේ උගන්වන නියම පරමාර්ථික සැපයට ළඟා වීමට වෙනස් කළ යුතුව ඇත්තේ බාහිරය නොව අභ්‍යන්තරයයි. යමෙකුගේ බාහිරයෙන් පෙන්වනු ලබන ඇවතුම් පැවතුම් තුළින් ඔහුගේ අභ්‍යන්තරය පිළිබිඹු වනු ඇත. යහපත් චෛතසිකයන්ගෙන් හොඳ ප්‍රතිඵල අත් වන අතර, අයහපත් සිතිවිලිවලින් නරක විපාක ගෙන දෙනු ඇත.

යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිපස්සාමීති”

තමන් කරන හොඳ නරක තමන්ගේ දායාදය බවට පත් වන බව බුදුන් වහන්සේ දේශනා කළ සේක. එහෙයින් අප සැවොම ගුණදම් වඩා ජීවිතය අර්ථවත් කරගැනීමට අදිටන් කරගත යුතු ය.