Print this Article


සැමදා සුවෙන් සිටින්නෝ හදිසියේම කිසිවෙක් නොසිතූ අයුරින්

සැමදා සුවෙන් සිටින්නෝ හදිසියේම කිසිවෙක් නොසිතූ අයුරින්


ලොව පුරා පැතිර යන කොරෝනා උවදුර මිනිස් ජීවිත බිලිගත්තේ සිත් පිත් නැති රාක්‍ෂයෙක් ලෙසිනි. ලොව බලවත් රටවල් මෙන් ම ඉතාම දිළිඳු රටවල් ද නොයෙක් අයුරින් මෙම මහා ඛේදවාචකයෙන් රිදුම් ලැබූ අයුරු හද කම්පා කළේය.

චීනයෙන් පටන්ගත් මෙම මහා උවදුර ඉක්වදෝරය වැනි රටවලට පවා පැතිර ගොස් ජීවිත අහිමි වූවන්ගේ මළසිරුරු මං මාවත්වල අතහැර යන තරමට දරුණු විය. ලොව බලවතුන් පවා මවිතයට පත්කොට ඔවුන් දණ ගස්වාලන්නට තරම් සාහසික වූ කොරෝනාව මෙල්ල වූයේ බොදු පිළිවෙත් වලට පමණක් යයි කීම අතිශයෝක්තියක් නොවේ.

එදා විසාලා මහනුවර තුන්බිය දුරු කිරීමට රතන සූත්‍රය ඉවහල් වූවා සේ ම මෙදා තුන් තිස් පැයේ ම සෙත් පිරිත් සජ්ඣායනාවෙන් තොර නිවසක් දක්නට නොමැති තරම් විය. නිරතුරුව පංචශීලයෙහි පිහිටීම, පංචශීලය රැකීම නියෝගයකින් තොරවම සිදුවිය. සත්ව හිංසනය, මස් මාංශ අනුභවයෙන් හැකිතාක් දුරට ඉවත්වීම, සුරා සූදුවෙන් තොරවීම, එනිසා ම බොරු කීම, කාමය වරදවා හැසිරීම, සොරකම් කිරීම වැනි පව්කාර ක්‍රියාවලින් වැළකීම නිරායාසයෙන් ම සිදුවිය. වාරණයකින් තොරව මිනිසුන් ස්වයං විනයක පිහිටීම කොරෝනාවෙන් ලැබුණු වෙස් වලාගත් ආශිර්වාදයක් ම විය.

ගෙදර සුරතලයට ඇතිකරන සතුන් පවා නොහඳුනන ඇතැම් නිවෙස්වල හාම් පුතුන් තම දූ දරුවන් සමග එක්ව සකසාගත් පවුල් කුටුම්බය සමගියේ අසිරි මැවී ය. පවුලේ සියලු දෙනා එකට එක්ව‘ ආහාර ගැනීම, කෙළිදෙලෙන් කාලය ගෙවීම පැරණි සිංහල බොදු පිළිවෙත් සිහියට ගෙනාවේ ය. සියලු දෙනා එකට එක්ව නිවසේ බුදු පහන දැල්වීම, ආශිර්වාද ප්‍රාර්ථනය, බොදු පිළිවෙත් නව නැම්මකට කැඳවාගෙන ආවා සේ ය.

නිවැරදි සෞඛ්‍ය පුරුදු සිහිපත් කරගත් ජනී ජනයා තැනින් තැන මං මාවත්වල කුණුමලු ඇතහැරීම, අපද්‍රව්‍ය කළමනාකරණය නොකිරීම දෑත් පිරිසිදුව තබා නොගැනීම වැනි ක්‍රියාවල ආදීනව පිළිබඳව තම තමන් දැනුවත් වෙමින් හෙළ බොදු වත්පිළිවෙත් වලට අවනත වූහ.

එමෙන් ම සියලුම දෑ මුදලට ගෙනෙමින් මුදල් මතම තම ජීවිත උකසට තබමින් ජීවත් වූවන් තම ගෙවත්තේ වගා කරන එළවළු පළතුරු වලින් මුලු තැන්ගෙය පුරවන්නට යුහුසුලු වූයේ ය. ගෙවත්තට පැමිණෙන කෘමි උවදුරට රසායනික විෂ යොදන්නට ක්‍රෑර වූ මිනිසුන් එවන් උවදුර පැමිණිමට පෙර අවශ්‍ය පෙර සූදානම සඳහා කොහොඹ, මදුරුතලා, ලිප් අලු වැනි හිතකර කෙම් ක්‍රම භාවිතා කරමින් ඉතාම පිරිසිදු අලංකාර ගෙවතු නිර්මාණය කරගත්හ. ඒ සඳහා තම බිරිඳ දූ දරුවන් ළංකරගනිමින් ගෙවත්තෙන් ලබා ගත් අසිරිමත් සුව වින්දනය බොදු පිළිවෙත් සිහිපත් කළේය. කොරෝනා අපට ආශිර්වාදයක් වූයේ එසේ ය.

දුම්වැටි සහ මද්‍යසාර වලින් පිරුණ ලෝකයේ තවත් මිනිසුන් කොටසකට කොරෝනා ව එළවා පහර දුන් බව පෙනීගියේ එවන් මිනිසුන්ට මෙම රෝගය ඉතාම ඉක්මනින් වැළඳුන බැවිනි. ප්‍රතිකාර කරන්නටත් පෙර ම මියගිය බැවිනි. බොදුනුවන් මෙන් ම අන්‍යාගමිකයින් වුවද මත්පැන් මෙන් ම දුම්වැටියේ ආදීනව දැක ඒවා පිටු දැකීම ඉතාම ගෞරවාන්විත ක්‍රියාවකි. කොරෝනාව බොදු පිළිවෙත් සිහිපත් කිරීමට සහ පිළිපැදීමට නියෝග කළේ එසේ ය.

නැති බැරි වූවන් සොයා ඇති හැකි අය මෙන් ම විවිධ සංවිධාන එකිනෙකාට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වීම, බොදු පිළිවෙතෙහි තවත් පැතිකඩකි. එදිනෙදා කුලී කරමින් ජීවිත ගෙවූ පිඩාවට පත්වූවන් සොයා පෙර ගමන් ගිය අපේම ඇත්තෝ, ආහාර මලු බෙදා දුන්නෝ ය. කිසිවක් කර කියාගත නොහැකි වූ පන්සල් පල්ලි කෝවිල් වල රැඳුන ජනයාට දිළිඳු දනට ආධාර උදව් නොඅඩුව ලැබුණේ ය.

කොරෝනාව නම් වූ භයානක වෛරස් යක්‍ෂයාට බියෙන් ඇලලුන මිනිසුන් සතා සිවුපාවාට කැළේ ගහ කොළට ලබාදුන් නිදහස අතිමහත් ය. මිනිසා අසරණ ව පණ අදින මොහොතේ ගස්වැල් ජීවය ලැබීය. වන සතුන් සිවුපාවුන් වන ලැහැබ තුළ නිදහසේ සැරි සැරූහ. ආකාශයේ වෙනදාටත් වඩා දැකිය හැකි නිදහස් බව කොරෝනාවෙන් අපට ලැබුන සුවදායක පිණිවුඩයකි.

ලෝකයේ බලවතුන් කොරෝනා උවදුරින් අත්මිදීමට පර්යේෂණාත්මක ඖෂධ සොයා වෙහෙසීම අතරතුර වසර දෙදහස් පන්සියයකටත් වඩා වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් ඇති සිංහලයා දිවිහිමියෙන් රැකගෙන පැමිණි බොදු වත් පිළිවෙත් කිසිදු බලපෑමකින් නියෝගයකින් තොරවම සමාජ පෙරළියකට ඉනිමං තැබීය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, බලතණ්හාව, වෛරය පිටු දකින්නට පෙර සුභ නිමිති ගෙන ආවේය. බොදු වත්පිළිවෙත් වූ මහා ධන නිධානය සොයමින්, සුරකිමින්,කොරෝනාව නම් වූ භයානක උවදුර මැඬලීමට ඖෂධයක් කොටගත්තේ ය. කෙසේ වෙතත් මෙම මහා ව්‍යසනයෙන් මිනිසා බේරා ගැනීමට බොදු වත් පිළිවෙත් පෙරට ගැනීම ලෝකයේ ම පැසසුමට මෙන්ම ප්‍රාතිහාර්යයක් ම වූයේ ය.

ඉතාලිය වැනි රටවල් මුදල් මිටි පිටින් මංමාවත් වලට විසිකරද්දී, කොරෝනාවෙන් මිනිසුන් මහ මග මරා දමද්දී අපට ඉතිරි වූ සැනසිල්ල බොදු වත් පිළිවෙත් පමණක් ම ය.

දුලබ මිනිස් භවය අර්ථවත් කර ගැනීමට හදිසියේම අප ම සොයා පැමිණි “කොරෝනා” භීතිය දුප්පත් පොහොසත් සැම දෙනාට ම උගැන්වූයේ පොදු මිනිස් දහමකි.

කෙනෙක් මැරීමට තවකෙක් මිසයිල තනද්දී, හඳ තරණය සඳහා උඩු ගුවන සැරි සරද්දී මිහිපිට අප ඉතා සැනසීමෙන් යුතුව කොරෝනාවට පිළිතුරු ලෙසට බොදු වත් පිළිවෙත් නම් වූ අනගි ඖෂධය ළංකර ගනිමින් සුවපත්’ වූ අයුරු ආශ්චර්යජනක ය. බොදු වත් පිළිවෙත් රකින්නෝ සැමදා සුවෙන් සිටින්නෝ වෙති.