Print this Article


මිනිසාගේ ඉරණම මිනිසාතුළ ම ය

මිනිසාගේ ඉරණම මිනිසාතුළ ම ය


බුදුරදුන්ගේ ඉගැන්වීම අනුව මිනිසා පිළිබඳ තීන්දු ගන්නේ මිනිසා විසින් ම ය. මිනිසාගේ මානසික ක්‍රියාකාරිත්වය හා ඔහුගේ චර්යාව විසින් ඔහු පිළිබඳ සියලු හොඳ නරක තීරණය කරනු ලැබේ.

එබැවින් දෙවියන් මෙන්ම බුදුරජාණන් වහන්සේ දෙවියෙක් හෝ දේව නියෝජිතයක් නොවේ. උන්වහන්සේ විසින්ම තමන් වහන්සේ හඳුන්වාගත් පරිදි බුදුරජාණන් වහන්සේ මගපෙන්වන මාර්ගෝපදේශකයෙකි.

ශ්‍රාවකයන්ගේ වගකීම වන්නේ එම මාර්ගයේ ගමන් කිරීම පමණි. පන්සාළිස් වසක් තිස්සේ තථාගතයන් වහන්සේ මිනිසාට විමුක්තිය සඳහා මාර්ගය කියාදුන් සේක. ඒ සියල්ලට පෙර උන්වහන්සේ සියලුම කෙලෙස් දුර්වලතා ඉවත් කොට විමුක්තිය සාක්‍ෂාත් කොට පරම පවිත්‍රත්වයට පත්වූහ.

උන්වහන්සේ අවබෝධ කරගත් විමුක්තියේ ස්වභාවය උන්වහන්සේගේ චරිතයෙන්ද, හැසිරීමෙන් ද, ප්‍රඥාවෙන් ද විශද වේ. එම මාර්ගයේ ගමන් කොට විමුක්තිය සාක්‍ෂාත් කළ රහතන් වහන්සේලාගෙන් ද එයම ප්‍රකට වේ. මෙසේ තමන් වහන්සේ විමුක්තිය සාක්‍ෂාත්කොට එයට ළඟාවන ආකාරය අන් අයට ද කියාදුන් බුදුන් වහන්සේ අසිරිමත් මිනිසෙකි. එම උපදෙස් මැනවින් පිළිපැද්ද ශ්‍රාවකයා ද එය සාක්‍ෂාත් කළහ. මේ අනුව බුදුරදුන් මාර්ගෝපදේශකයකු මිස ගැලවුම් කරුවෙක් හෝ එවැනි ගැලවුම් කරුවෙකුගේ නියෝජිතයෙක් නොවේ. අප කොතරම් ඉල්ලා සිටිය ද අප සසර දුකින් මුදවා ගැනීමට උන්වහන්සේට කළ නොහැකි ය. අප විසින් කළ යුත්තේ උන්වහන්සේ ගැන සිතමින් බුදුරදුන් වදාළ ධර්මය අනුගමනය කිරීම ය.

බුදුරදුන් විසින් උගන්වා වදාළ ශීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවට අයත් ප්‍රතිපදාව ක්‍රියාවට නැංවීම ය. එය අපගේ අනුභූතියක් බවට පත්කර ගැනීම ය. බුදුරදුන් අපගෙන් අපේක්‍ෂා කළේ ද එයයි. උන්වහන්සේ ජීවමානව වැඩ සිටින අවදියෙත් පරිනිර්වාණයෙන් අනතුරුවත් අපගෙන් බලාපොරොත්තු වූයේ එයයි. තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ධර්මය හා විනය ගුරුකොට ගන්නා ලෙස ඉගැන්වූයේ ඒ හෙයිනි. එසේ ධර්මය අනුගමනය කරන්නාට ධර්මයෙන් ම ආරක්‍ෂාව සැලසේ (ධම්මො හවේ රක්ඛති ධම්මචාරී).

එහෙත් මෙම බුද්ධ වචනය නිවැරැදිව තේරුම් ගෙන ඇත්තේ අප අතරින් ඉතා අතළොස්සකි. බොහෝ දෙනෙකු ධර්මය අනුගමනය නොකර වෙනත් බාහිර වස්තු හා පුද්ගලයන් සරණ ගොස් එයින් පිහිට ප්‍රාර්ථනා කරති. මෙය සසර දුකින් මිඳීමට පමණක් නොව ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමට ද ඉවහල් නොවේ. විමුක්තිය හා දියුණුව උදෙසා අනුන් මත යැපෙන්නා පරාධීන අයෙකි. බුදුරදුන්ට අවශ්‍ය වූයේ එවැනි පරාධීන පුද්ගලයන් බිහි කිරීම නොවේ. බුදුරදුන් වදාළ විමුක්ති මාර්ගය අවබෝධ කරගෙන එයට අදාළ ප්‍රතිපදාවෙහි නිරත වූ ශ්‍රාවක ශ්‍රාවිකා දෙපිරිස අර්හත් බෝධියට පත් වූ අතර ඇතමෙක් එයින් මෙපිට පවතින අනාගාමි, සකෘදාගමි හා සෝවාන් ඵලය සාක්‍ෂාත් කළහ. බුදුරදුන් වදාළ සදාචාර පිළිවෙතෙහි යෙදුණු මෙම ශ්‍රාවකයෝ උන්වහන්සේ අභියසට ගොස් තමන් සසර දුකින් ගලවා ගන්නා මෙන් ආයාචනා නොකළහ. බුදුරදුන් ද ඔවුන්ට එවැනි පොරොන්දුවක් ලබා නොදුන්නහ.

වරෙක බුදුරජාණන් වහන්සේ චුන්ද තෙරුන් අමතා “චුන්දය ශ්‍රාවකයන්ට හිතවත් වූ, ඔවුන්ට අනුකම්පා කරන යම් ශාස්තෘවරයෙකු වේ ද ඔහු විසින් තම ශ්‍රාවකයන්ට කළ යුතු යම් දෙයක් වේ ද ඒ සියල්ල මවිසින් ද, ඔබලාට කරන ලදි. චුන්දය අර තිබෙන්නේ රුක්මුල් ය. ශූන්‍යාගාර ය. එබැවින් ධ්‍යාන වඩන්න (භාවනාවේ නිරත වන්න) පමා නොවන්න. එසේ නොකර පසුවට විපිළිසර නොවන්න. ” යනුවෙන් වදාළහ. බුදුරදුන්ගේ මෙම අනුශාසනය තුළින් ගම්‍ය වන්නේ උන්වහන්සේ මාර්ගෝපදේශකත්වය සපයන ශාස්තෘවරයෙකු මිස ශ්‍රාවකයා ගලවා ගැනීමෙහිලා නියුක්ත ගැලවුම් කරුවෙක් නොවන බවයි. විමුක්තිය සාක්‍ෂාත් කිරීම හෝ නොකිරීම තීරණය කෙරෙන්නේ ශ්‍රාවකයා විසින් අනුගමනය කරනු ලබන ප්‍රතිපදාව අනුව ය. මිනිසාගේ ඉරණම තීරණය කෙරෙන්නේ මිනිසා විසින් මිස වෙනත් අයෙකු නොවේ. කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීමෙන් ද පෙන්වා දෙන්නේ පුද්ගලයා තම ක්‍රියාවෙහි නිපැයුම් කරුවා වන අතර, එහි වගකීම වෙනත් කෙනෙකුට පැවරිය නොහැකි බවයි.

විමුක්ති මාර්ගයට අයත් ශීල, සමාධි, ප්‍රඥා යනු ආධ්‍යාත්මික විමුක්තිය මෙන්ම ලෞකික අභිවෘද්ධියත් මස්තකප්‍රාප්ත කෙරෙන ප්‍රතිපදාවට අයත් ඉගැන්වීම් ය. එහි ශීලය යටතේ පුද්ගලයාගේ කායික හා වාචසික සංවරයත් සමාධිය හා ප්‍රඥාව යටතේ මානසික සංවර්ධනයත් අරමුණු කොට ඇත.

පුද්ගලයෙකු තම කායික චර්යාවට අයත් වාචසික සංවරය මෙන්ම කායික සංවරයත් ඇතිකර ගැනීම යනු හැම අතින්ම තමා සුරක්‍ෂිත අයෙකු බවට පත්වීමකි. සදාචාර සම්පන්න ජීවිතය තමාගේ ආරක්‍ෂාව පිණිස පමණක් නොව අන්‍යයන්ගේ ආරක්‍ෂාව පිණිසද හේතුවේ. තමන් රකින්නා අන් අයද ආරක්‍ෂා කරන්නේ යැයි බුදුරදුන් වදාළේ ඒ හෙයිනි (අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති). බොහෝ දෙනෙකු හිතන්නේ කෙනෙකු සදාචාර සම්පන්න වීම යනු එම තැනැත්තාට පමණක් ම බලපාන්නක් බවයි. එහෙත් එවැනි පිළිගැනීමකට ධර්මයෙන් කිසිදු ඉඩක් නොලැබේ. කෙනෙකුගේ සදාචාර සම්පන්න ජීවන රටාව එම තැනැත්තාගේ ආරාක්‍ෂාවට මෙන්ම සමාජයේ ආරක්‍ෂාවටත් ඉවහල් වේ. මෙයින් පැහැදිලි වන්නේ සමාජ විමුක්තිය නොසලකා පුද්ගල විමුක්තිය පමණක් සැලකීම සාවද්‍ය බවයි.

මේ අනුව කෙනෙකු සදාචාර සම්පන්න වීමෙන් සමස්ත ලෝකයේම ආරක්‍ෂාව තහවුරු වන බව පැහැදිලිය. බෞද්ධ ප්‍රතිපදා මාර්ගයේ දෙවන හා තෙවන අංග මගින් පුද්ගලයාගේ මානසික සංවර්ධනය අදහස් වේ. පංච නීවරණ ධර්මයන් බැහැර කිරීමෙන් දියුණු කරගන්නා චිත්ත සමාධියත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය තුළින් ස්කන්ධ ලෝකය හා බාහිර ලෝකයේ පවතින යථාර්ථය අවබෝධකර ගැනීමෙන් ලබන විදසුන් නුවණත් එයට අයත් වේ. සමාධිය හා ප්‍රඥාව සම්පූර්ණ වූ තැන ආධ්‍යාත්මික දියුණුවේ අග්‍රඵලය වේ. එය වෙත ළඟාවිය හැක්කේ ප්‍රතිපදාවෙහි නිරත වීමෙන් මිස එයින් පරිබාහිර දෑ අනුගමනය කිරීමෙන් නොවේ. විමුක්තිය උදෙසා යාඥා කිරීමෙන් නොව. යමක් ලබා ගැනීම පිණිස ප්‍රාර්ථනා තබා ගැනීම වරදක් නොවුණත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවී ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් එය අත්පත්කර ගත නොහැකි ය. බුද්ධ වචනය අනුව විමුක්තිය ලැබෙන්නේ ප්‍රතිපදාවෙහි නිරත වීමෙන් මිස එවැන්නක් ප්‍රාර්ථනා කිරීමෙන්, වෙනත් අයෙකුගේ පිහිට පැතීමෙන් නොවේ. එවැනි බාහිර පිහිටක් මගින් විමුක්තිය සාක්‍ෂාත් කළ හැකි නම් බුදුරජාණන් වහන්සේ තම ධර්මය “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති” යනුවෙන් හඳුන්වන්නේ නැත. එසේම උන්වහන්සේ මඟ පෙන්වන්නෙකු පමණක් බව සඳහන් කරන්නේ ද නැත. මේ අනුව දහම අනුගමනය කරන ශ්‍රාවකයාගේ වගකීම විය යුත්තේ බුදුන් වදාළ ප්‍රතිපදාව ක්‍රියාවට නැංවීම මිස විමුක්තිය හෝ වෙනත් දෑ වෙනුවෙන් යැදීම නොවේ.