Print this Article


අරමුණු ජය ගැනීමට පසු නොබසින වීර්යය

අරමුණු ජය ගැනීමට පසු නොබසින වීර්යය

" දෙලොව වැඩ සදන යහපත් දෑ යම් ඉලක්කයක් කරා මෙහෙය වන යම් කරුණක නො සැලී තරයේ පිහිටා සිටීම අධිෂ්ඨාන නමි. තණ්හා ආදියෙන් කිලිටි නොවී, කරුණා - ප්‍රඥා දෙකින් පෝෂිත ව පිරෙනුයේ අධිෂ්ඨාන පාරමිතා නමි."

මෙම පාරමිතාව ද තුන් ආකාර යි. බාහිර වස්තු අතින් පාඩු - අලාබ වෙතත් එයින් නො සැලී සිතා ගත් යහපත් කටයුත්තෙහි තදින් පිහිටා සිටීම අධිෂ්ඨාන පාරමිතා නම් වේ. සිය ශරීරාංග වැනසෙද්දී වුව ද නො සැලී පවත්වන අධිෂ්ඨානය වූ කලි අධිෂ්ඨාන උප පාරමිතා නම් වේ. ස්වකීය දිවිය නැසෙද්දී වුව ද පටන් ගත් යහපත් ක්‍රියාවෙහි නො සැලී යෙදී සිටීම අධිෂ්ඨාන පරමාර්ථ පාරමිතා නම් වේ.

දස පාරමිතා අතර අටවැන්න අධිෂ්ඨාන පාරමිතාවයි. මෙකී පාරමිතාවන් දහය ජාතක කථාවන් තුළින් පිළිවෙළින් එනසේ මෙසේ යි. දාන පාරමිතාව වෙස්සන්තර ආදී ජාතකයන්හි ද සීල පාරමිතාව භූරිදත්ත, සංඛපාල ආදී ජාතකයන්හි ද නෙක්ඛම්ම පාරමිතාව මහාජනක, අයෝසර ආදී ජාතකයන්හි ද ප්‍රඥා පාරමිතාව උම්මග්ග, සත්තුභන්ත ආදී ජාතකයන්හි ද, වීර්ය පාරමිතාව අපණ්ණක ආදී ජාතකයන්හි ද, ක්‍ෂාන්ති පාරමිතාව ඛන්තිවාදී මහාකපි ආදී ජාතකයන්හි ද, සත්‍ය පාරමිතාව මහා සුතසෝම ආදී ජාතකයන්හි ද, අධිෂ්ඨාන පාරමිතාව මුගපක්ඛ, තේමීය ආදී ජාතකයන්හි ද, මෛත්‍රී පාරමිතාව චුල්ල ධම්මපාල ආදී ජාතකයන්හි ද උපේක්ෂා පාරමිතාව ලෝමහංස ආදී ජාතකයන්හි ද දක්නට ලැබේ.

පොදුවේ ගත් කල මෙම පාරමිතා දහය ම සම්බුද්ධත්වය සඳහා සමාන දායකත්වයක් දැරුව ද, අධිෂ්ඨාන පාරමිතාවේ සුවිශේෂත්වයක් පවතී. ඒ මන්ද යත්? සකලවිධ ක්‍රියාකාරීත්වයන් තුළ ඕනෑම කෙනෙකු යම්බඳු ප්‍රතිඵලයක් අපේක්ෂා කරන නිස යි. සියලු ක්‍රියාකාරකම් පෙළක ගැස්වෙනුයේ කුමන හෝ ඉලක්කයක් උදෙසා යි. එසේ අරමුණක්, ඉලක්කයක්, අවසන් ප්‍රතිඵලයක් නො මැති ක්‍රියාකාරිත්වය ඵල රහිත යි. ඊට පණදෙනුයේ අධිෂ්ඨානය යි. සියලු බෝසත්වරුන්ගේ බෝධි චිත්තය ක්‍රියාත්මක වනුයේ බුද්ධත්වය නමැති පරම නිෂ්ඨාව ඉලක්ක ගත කොට ගෙනයි. එහි වාහකයා අධිෂ්ඨානය යි.

නූතන පරපුරේ ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයෙකු වූ තිස්ස විමලධීරයන් සිය සිත්කන්ද නම් වූ නිර්මාණ සංග්‍රහයෙහි පෙර කී බෞද්ධ පිළිවෙත් මග ප්‍රකට කරන කදිම නිදසුන් සපය යි.

තරුවක් අරමුණු කරගෙන ඉහළ හිතලා
ගහකට නැග ගත්තත් ඇති එල්ලමෙ ඉඳලා
සද්දන්ත කුලේ ගිජිඳෙක් කුලකට ඇනලා
දළ බිඳීලත් දුක් වුණෙ නෑ කළවෙර හිතලා

නිකන් ම නිකන් සිටිනවාට වඩා යම් අරමුණක් සාක්ෂාත් කරගැනීමේ අදිටනින් නොපසුබස්නා වීර්යයෙන් කටයුතු කිරීම කෙතරම් ප්‍රතිඵල දායක බව මෙයින් ගම්‍ය වේ. උත්සාහයක් දරා පරාජයක් ලැබුණ ද කම් නැත. එම පරාජය ජයග්‍රහණ කිහිපයකට වඩා වටනේ ය. ජය ගැනීම් දහයකට වඩා එක පරාජය වටනේ යැයි කීවේ එය යි. මන්ද යත්? අධිෂ්ඨාන පූර්වක පුද්ගලයාට එක් පරාජයක් තුළ ජයග්‍රහණ රාශියක් සැඟ ව ඇතැ යි සිතිය හැකි බැවිනි. “වායමේථෙව පුරිසො යාව අත්‍ථස්ස නිප්ඵදා” එකවර දෙවර තුන්වර නොව ප්‍රතිඵල ලැබෙන තුරු උත්සාසහය අත් නොහරින්න යැයි බෞද්ධ සාහිත්‍යය සඳහන් කරන්නේ එය යි. උත්සාහය, අධිෂ්ඨානය හා කැපවීම ඇති තැන ලද නොහැකි ජයක් නොමැත. යමක් කළ යුතු යැයි අදිටන් කර ඒ සඳහා කැපවීම් නො කරන්නෙහි නම් කිසිදු ජයක් ළඟා කර ගත නොහැකි ය. බෝසත්වරුන් විවරණ පමණක් ගෙන ඊට අදාළ බුද්ධකාරක ධර්ම පූරණය නො කළෙහි නම් මානව ඉතිහාසය තුළ කිසිදු බුදුවරයෙකු පහ)කඑත නොවනු ඇත - යන්න ඒකාන්ත සත්‍යයකි.

සම්බෝධිය පිණිස පුරණ පාරමිතාවන්ට අයත් වූ දාන ශීලාදී යහපත් ක්‍රියාවන්ගෙන් කවර කරුණක් හෝ මේ මේ අයුරින් කරමියි හා මෙතෙක් කල් කරමි යයි සිතින් නියම කරගෙන ඒ නියමය අනූණව ඛණ්ඩනය නො කොට පරිපූර්ණ වශයෙන් එහි පිහිටීම අධිෂ්ඨාන පාරමිතාව වශයෙන් රේරුකානේ චන්දවිමල මහනාහිමියෝ පාරමිතා ප්‍රකරණය නම් ග්‍රන්ථයේ දී සඳහන් කරති.

තුන්තරා බෝධිය අතුරෙන් කවරකට වුවත් පැමිණිය හැකි වීමට බොහෝ පුඤ්ඤ ශක්තිය පැවතිය යුතු ය. පව මිස පින සත්ත්‍වයිනට එතරම් ප්‍රිය ජනක නො වේ. එ සේ හෙයින් අධිෂ්ඨාන ශක්තිය නොමැති තැනැත්තා පූර්වයෙහි කරන්නට සිතා අවස්ථාව එළඹි කල්හි බොහෝ විට එය අතපසු කරන්නේ ය. අදිටන් කළ පමණට වඩා අඩු කොට එය කරන්නේ ය. බොහෝ දෑ දෙන්නට සිතා දෙන කල්හි ඉතා සුළුවෙන් දීමෙන් කෙළවර වන්නේ ය. බෝ කල් සිල් රකින්නට අදිටන් කොට පටන් ගෙන සුළු වේලාවකින් නතර කරන්නේ ය. එලෙස නො වී මුල දී අදිටන් කළ සැටියෙන් ඒ පින හෝ කුසලය පරිපූර්ණත්වය කරා පමුණුවාලීමට අධිෂ්ඨාන ශක්තිය පැවතිය යුත්තේ ය.

ජාතික අටුවාවේ එන ආකාරයට සිවි රජු දිනකට කහවණු ලක්ෂ තුනක් වියදම් කරමින් දුගී - මගී යාචකාදීනට දන් දීමට පුරුදු ව සිටියේ ය. දීර්ඝ කාලයක් භෞතික වස්තූන් විශාල වශයෙන් දන් දීමට පුරුදු ව සිටි රජතුමා එක්තරා දිනෙක මෙසේ ද සිතී ය. “මා විසින් බාහිර වස්තූන්ගෙන් නුදුන් දෙයක් නැත. ඒ පමණක් මා හට පමණ නො වෙ යි. ඒ නිසා ආධ්‍යාත්මික වස්තුවක් ආයාචනය කරන්නෙකු මා වෙත එන්නේ නම් මැනවි. එවිට මාගේ ඇසක් වුව ද උපුටා දෙමි යි අදිටන් කර ගත්තේ ය.

මෙකී රජතුමා ගේ බලවත් අදිටන සක් දෙවිඳු දැන රජුගේ අදිටන ඒ සැටියෙන් ම බලවත් දැයි පරීක්ෂා කර බලනු රිසියෙන් මහලු බමුණු වෙසක් මවා ගෙන ඔහු ලොවට පැමිණ ඇස් ඉල්ලී ය. සිවි රජු සිය අධිෂ්ඨානය මොහොතක් වත් කඩ නො කොට ඇස් උපුටවා බමුණාට දන් දුන්නේ ය. බෝසත් සිවි රජු ගේ අධිෂ්ඨානය එතරම් ප්‍රබල වීය.

උපදේශාත්මක සංස්කෘත සාහිත්‍යයෙහි මේ අදහස ඉතා ප්‍රබල අයුරින් විග්‍රහ කෙරෙන අවස්ථාවක් පහත සඳහන් සිලොවින් මතු කොට ගත හැකි වේ.

ගච්ඡන් පිළකෝ යාති
යෝජනානං ශතාන්‍යපි
අගච්ඡන් වෛනතෝචාපි
පදමේකං නගච්ඡති

කුහුඹුවා කෙතරම් සෙමින් ගමන් කළත් නො නැවතී, නො මැළි ව ගමන් ගන්නේ නම් යොදුන් සිය ගණනක් ජීවිත කාලය තුළ ගෙවා අවසන් කළ හැකි ය. කෙතරම් ජව වේගයෙන් පියාසර කරන ගුරුළා වුව ද උදාසීන ව නොදුවා සිටින්නෙහි නම් එක පාදයක් වුව ද ඉදිරියට නො තබන්නේ ය.

කෙතරම් අදක්ෂයෙකු වුව ද, අධිෂ්ඨාන පූර්වක ව යම් ඉලක්කයක් කරා හඹා යාමෙන් සැලකිය යුතු දියුණුවක් ලද හැකි බවත්, කෙතරම් සහජ කුසලතා ඇත්තකු වුව ද අධිෂ්ඨාන පූර්වක බවක් නොමැති ව ක්‍රියාශූර ව ක්‍රියා නොකරන්නෙහි නම් කිසිදු දියුණුවක් නොලබන බව ත් මෙයින් ගම්‍ය වෙයි.

ලෞකික ජීවිත ගත කරන කිසිවකු වත් ලෞකික දියුණුවට අදාළ දියුණුවේ ඉලක්ක කරා තම රැකියා ආදිය ධාර්මික ව මෙහෙය වන්නේ නැත්නම් සැම දා එක තැන ම රැඳී සිටී. කිසිදු ප්‍රගතියක් නො ලබයි. ඊට අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය හා කැපවීම පමණි. ඉගෙන ගැනීමට එතරම් හැකියාවක් නො මැති අයට වුව ද එය අගනා උපදෙසකි. යම් විෂයකට හෝ විෂයයන් ගණනාවකට එතරම් සැලකිය යුතු ප්‍රතිඵලයක් ගත නොහැකි නම් කළ යුතු වන්නේ එකී විෂයයන් කෙරෙහි ඉලක්ක ගත අධිෂ්ඨානයෙන් වැඩි වැඩියෙන් කාලය මිඩංගු කොට කැප වී අභ්‍යාස කිරීම යි.

මෙවැනි ඉගැන්වීම් පිළිබඳ බොහෝ අය සිතනුයේ ලෞකික සීමා වෙන් ඔබ්බට ගිය සාමාන්‍ය ලෞකික දිවියට නො පෑහෙන දේ ලෙස යි. බුදු දහම තුළ ඉගැන්වෙන බොහෝ කරුණු අති බහුතරයක් මෙලොව දිවිය සරු කර ගත හැකි ලෞකිකත්වය ඇසුරු කළ ඒවා යි.