Print this Article


අර්ථවත් ජීවිතයකට උට්ඨාන වීර්යය

අර්ථවත් ජීවිතයකට උට්ඨාන වීර්යය


මෙලොව ජීවිතයට වැදගත්වන කරුණු හතරක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී දක්නට ලැබෙනවා. ඒ උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කාල්‍යාණමිත්‍රතා, සමජීවිකතා යනුවෙනි.

මෙම ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ කෝලිය ජනපදයේ අක්කරපත්ත නම් නියම් ගමේ වැඩ වසන සමයේ.

මෙම සූත්‍රය දේශනා කරනු ලබන්නේ දීඝජානු නම් කෝලිය පුත්‍රයා අරමුණු කරගෙන. මෙලොව දියුණුව සඳහාත්, පරලොව දියුණුව සඳහාත් හේතුවන කරුණු ඉදිරිපත් කිරීමක් වශයෙනි.

මෙහි දී අපගේ අවධානය යොමු වන්නේ උට්ඨාන සම්පදාව කෙරෙහි ය. එනම් උත්සාහ සම්පත්තියයි. බුදු දහම ඉතා උනන්දුවෙන් ඉදිරිපත් කරන කරුණු අතර උට්ඨාන සම්පදාව එකකි. උට්ඨාන සම්පදාව හෙවත් උත්සාහ සම්පත්තිය නැතිව කිසිවක් කළ නොහැකියි. එනිසා ම අපගේ කතා ව්‍යවහාරයට පවා බුදු දහමේ ආභාසය නිසා “උත්සාහවන්තයා ජය ගනී” වැනි වැදගත් උපදේශ වැකි සමාජයට සමාජගතව තියෙනවා. උත්සාහයට භාවිත වන තවත් වචනයක් වශයෙන් වීර්යය කියන වචනය අපට හඳුන්වා දෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වරක් “විරියේන දුක්ඛං අච්චෙති” යනුවෙන් වීර්යයෙන් දුක නැති කළ හැකි බව දේශනා කළා. ඒ කියන්නේ ඕනෑම දුකක් අවසන් කිරීමේ හැකියාව තිබෙන්නේ වීර්යවන්තයකුට පමණයි. යම් කිසි අභියෝගයක්, කරදරයක්, හිරිහැරයක් ඇති වූ විට දී පසු බසින ස්වභාවය තිබෙනවා නම්, මන්දෝත්සාහි වෙනවා නම්, ථීනමිද්ධය ඇතිවෙනවා නම්, ඔහුට ඔහුගේ අභිමතාර්ථය සාධනය කර ගන්නට පුළුවන් කමක් නැහැ. අභිමතාර්ථ සාධනය කරගත නොහැකි වූ විට මේ ලෝක වශයෙන් ඒ පුද්ගලයන්ම ජීවිතයේ දුක් විඳිමින් කාලය ගත කරන්න සිද්ධවෙනවා.

ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “විරියේන දුක්ඛං නච්චෙති” දුක නැති කළ හැක්කේ වීර්යයෙන්මයි. ඒ සඳහා අන්‍යයන්ගෙන් බැණුම් අසන්නට හැකියි. නින්දා අපහාස ලැබිය හැකියි. සිත් කළකිරීම් ඇතිවිය හැකියි. ඒ සියල්ලක් ම විදදරාගෙන අරමුණ සඳහා ගමන් කළ හැකි නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එය දුක නැති කිරීමේ මාර්ගයක් හැටියට. වීර්යය දස පාරමිතා අතර එකක්. ලොව්තුරා බුද්ධත්වය ප්‍රාර්ථනා කරන පුරුෂයෙක්, මහෝත්තමයෙක්, මහාබෝසතාණන් වහන්සේ නමක් ස්ථිර වශයෙන් ම වීර්යය පාරමිතාව ආකාර තුනකින් සම්පූර්ණ කළ යුතු වෙනවා. විරිය පාරමිතාව, විරිය උප පාරමිතා, විරිය පරමත්ථ පාරමිතා වශයෙනි. එවැනි කෙනෙකුට පමණයි ජීවිතයේ ලොව්තුරා බුද්ධත්වය සඳහා ළඟා විය හැක්කේ. ඒ නිසා මේ උට්ඨාන සම්පත්තිය හෙවත් උත්සාහ සම්පත්තිය එසේත් නැති නම් වීර්යය සම්පත්තිය සෑම මනුෂ්‍යයෙක් තුළම ගොඩනගා ගත යුතු දෙයක්. විශේෂයෙන් ම මෙහි දී වීර්යවන්තයෙකුට, උත්සාහවන්තයෙකුට, ලෞකික වශයෙන් ඇතිවන, නැතිනම් මේ ලෝක වශයෙන් ඇතිවන දුක නැති කරනවා වගේ ම ගෙයක් දොරක් සාදා ගැනීම රැකී රැක්ෂාවක් ලබා ගැනීම, ආවාහ විවාහ ඇතිවීම ඒ පවුල් සංස්ථා පවත්වාගෙන යෑම, සමාජ යුතුකම් ඉටු කිරීම වැනි කරුණු සාර්ථක කරගෙන මහ පොළවේ සාර්ථක මිනිසෙක් වීමට උත්සාහ සම්පත්තිය අවශ්‍යයයි. ඒ වගේ ම සාංසාරික දුක නැති කර ගැනීම සඳහාත් වීර්යය හෙවත් උත්සාහ අත්‍යවශ්‍යය වේ.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත් විට උන් වහන්සේ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් පුරනවා. ඒ තම අරමුණ සාක්ෂාත් වෙන තෙක් වීර්යය අත් නොහැරීම. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. “වායමෙථෙව පුරිසො යාව අත්ථස්ස නිප්ඵදා” ශ්‍රේෂ්ඨ පුරුෂයා අභිමථාර්ථ සාධනය ඉටුවන තෙක් උත්සාහය අත් නොහළ යුතු බව. ඒ නිසා උත්සාහ සම්පත්තිය තමන්ගේ ජීවිතයට සාර්ථකත්වය එසේත් නැතිනම්, තමන් බලාපොරොත්තු වන අභිමතාර්ථ සාධනය සිදුවන තෙක් අත් නොහළ යුතුයි. ඒ වගේ ම අපට මොනතරම් අරමුණු ඇති වුණත් ඒ අරමුණු කරා යන ගමනේ දී අපට කළකිරීම්, සිත් තැවුල්, මන්දෝත්සාහි බව නොයෙකුත් දෙනාගේ විවේචනවලට මුහුණ දෙන්නට සිදුවෙන්නට පුළුවන්. අන්න ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. “වාය මෙථෙව පුරිසො න නිබ්බින්දෙය්‍ය පණ්ඩිතො”

පුරුෂයෙක් නම් උත්සාහ කරන්නට ඕනෑ. පණ්ඩිතයෙක් නම් කළකිරෙන්නට හොඳ නැහැ. ඒ නිසා පුරුෂ වීර්යයයෙන් කටයුතු කරනවා වගේ ම පණ්ඩිතයෙකු සේ කළකිරෙන්නේ නැතිව ඒ සඳහා මුහුණ දිය යුතුයි. නැතිනම් අනුන්ගේ දොස් පරොස් නිසා, සමාජය අප ගැන හිතන විදිහ නිසා, අපේ සිතිවිලි තුළම ඇතිවන මන්දෝත්සාහීභාවය හෙවත් ථීනමිද්ධය නිසා අපේ අරමුණුවලින් ඈත්වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා උත්සාහවන්ත පුරුෂයා පුරුෂයෙක් නම් උත්සාහ කළ යුතුයි. ඒ වගේ ම නුවණක්කාර මනුෂ්‍යයෙක් හැටියට නැතිනම් පණ්ඩිතයෙක් හැටියට කළකිරීමෙන් තොර විය යුතුයි කියා. එහෙම පුළුවන් වූවොත් අපට පුළුවන්කම ලැබෙනවා අපගේ ජීවිතය සාක්ෂාත් කර ගැනීමට. නැතිනම් සාර්ථක කර ගැනීමට.

විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි පුද්ගලයෙක් තරුණ වූවත්, මහලු වූවත්, අලස කමකින් යුක්ත ව වාසය කරනවා නම්, වීර්යයෙන් යුතුව කලට වේලාවට කටයුතු කරන්නේ නැත්නම්, බොරු විතරක් නිසා එනම්, මෙසේ කරන්නේ මොකට ද? ඇයි අප මෙහෙම කරන්නේ යැයි නොයෙකුත් සිතිවිලි පරම්පරා පැමිණ යම් කිසි කෙනෙක්ගේ යහපත් කල්පනාවන්, සිතිවිලි යටපත් වන්නේ නම් ඒ අලස පුද්ගලයාට “පඤ්ඤාය මග්ගං අලසො න වින්දති” පුළුවන් කමක් ඇතිවෙන්නේ නැහැ ප්‍රඤ්ඤා මාර්ගයෙන් ලබන්නට හැකි ඒ තත්ත්වය ලබාගන්නට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආලත්තිභාවය හෙවත් අලස බව, කම්මැලිබව අත්හැර උට්ඨාන වීර්යයයෙන් කටයුතු කළ යුතු බවට සඳහන් කරනවා.

යම් කිසි පුරුෂයෙක් උත්සාහ සම්පත්තියෙන් යුක්තව, ඉතාම නුවණ සහිතව, නැතිනම් සතිමත්ව කටයුතුවල ඉතාමත් ම හොඳින් අනලස් ව කළකිරීමෙන් තොරව, අනභිරතියෙන් තොර අභිරතියෙන් යුතු ව කටයුතු කරනවා නම් “සංඥතස්සච ධම්මජීවිනෝ” දැවුණු ඉඳුරන් සහිතව දැහැමි ජීවිතයක් ගත කරනවා නම් “අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති” ඒ අප්‍රමාදී පුරුෂයාගේ ජීවිතය කීර්තියෙන් ඉතිරී, පැතිරී, යසස වැඩෙනවා.

මේ ලෝකයේ ඕනෑම කීර්තිමත් පුද්ගලයෙක්, ඔබ අධ්‍යනය කළොත්, ඔහු සැබැවින් ම උත්සාහවන්තයෙක් ඕනෑ ම වටිනා පුද්ගලයෙකුගේ, දීප්තිමත් ජීවිතයක්, කීර්තිමත් ජීවිතයක් ගත්තොත් ඒ වටා තිබෙන එකම ශක්තිදාමය වන්නේ උත්සාහය හෙවත් වීර්යය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමට පවා ප්‍රබල වශයෙන් බලපාන පාරමිතාවක් වීර්යය පාරමිතාව.

මුලින් සඳහන් කළ ආකාරයට පාරමී. උපපාරමී, පරමත්ථපාරමී වශයෙන් පුරුදු කළ යුතු වෙනවා. අපගේ ජීවිතවලත් අප බලාපොරොත්තුවෙන සාර්ථකත්වයට ළංවීම සඳහා අනිවාර්යයෙන් ම වීර්යය හෙවත් උත්සාහ සම්පත්තිය ඇති කරගන්නට ඕනෑ.එසේ ඇති කර ගත්තොත් ගාථා ධර්මයේ සඳහන්වන ආකාරයට “අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති” පමා නොවෙන උත්සාහවන්ත පුද්ගලයා තුළ කීර්තිය බැබළෙනවා. යසස වැඩෙනවා. යන කාරණාවට ඔබටත් මටත් උරුමකම් කියන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබ අසාර්ථක යනු ඔබ ඔබගේ උත්සාහ සම්පත්තිය දියකර හැර තිබෙනවා. මා අසාර්ථකයි යනු මා මගේ උත්සාහ සම්පත්තිය අත්හැර දමා තිබෙනවා. යමෙක් සාර්ථකයි යනු ඔහු උත්සාහ සම්පත්තිය පුරුදු පුහුණු කළ අයෙක්. ඒ නිසා සාර්ථක ජීවිතයක් බලාපොරොත්තුවන හැම කෙනෙක් ම උත්සාහ සම්පත්තිය දියුණු කළ යුතුයි. ලෞකික වශයෙන් දියුණුව සඳහාත් ලොකෝත්තර වශයෙන් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම කියන මේ උභයාර්ථසාදනය සඳහා ම උත්සාහ සම්පත්තිය බලපානවා. ඒ නිසා මේ උතුම් වෙසක් පුර පෝය දවසේ දී කවුරුත් සිහියට නගා ගන්නට ඕනෑ උත්සාහ සම්පත්තිය තමන්ගේ ජීවිතයට පුරුදු පුහුණු කර ගැනීම සඳහා.