Print this Article


සහනසීලි මානසික පරිසරයකට සිව්බඹ විහරණ

සහනසීලි මානසික පරිසරයකට සිව්බඹ විහරණ


සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා මහෝපකාරී වන කරුණු සතරක් දේශනා කළහ. මෙත්තා, කරුණා, මුදිතා සහ උපෙක්ඛා යනු එම ධර්ම හතර යි. ඒවා සිව් බඹ විහරණ හෙවත් චතුර්විධ බ්‍රහ්ම විහරණ නාමයෙන් හැඳීන්වේ.

මෙම ගුණ හතර මහා බ්‍රහ්මයා තුළ ඇතැ යි යන පිළිගැනීමක් වේ. ඒ අනුව මහා බ්‍රහ්මයා සැම සත වෙත කිසිදු වෙනසක් නැතිව මෙම ගුණධර්ම හතර පතුරුවන්නෙකු වේ. එමෙන් ම මෙම ගුණ හතර යම්කිසිවකු කෙරෙහි පවතී ද හෙතෙමේ ද මහා බ්‍රහ්ම ගුණයෙන් යුතු අයකු වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මහා බ්‍රහ්මයා සතුව ඇතැයි සැලකෙන මෙම උතුම් ගුණධර්ම හතර ප්‍රත්‍යක්ෂ වශයෙන් ම ඇති බව දැනගත හැකි පදවි දෙකක් මේ ලෝකයේ ඇති බවයි, එනම් මව් පදවිය සහ පිය පදවිය යි. “බ්‍රහ්මාති මාතා පිතරො“ යන සිඟාලෝවාද සූත්‍රාගත පාඨයෙන් ඒ බව තහවුරු වෙයි. මෙම කරුණු හතර යම් සමාජයක ක්‍රියාත්මක වන්නේ ද සැබැවින්ම එම පරිසරයේ ජීවත්වන සියල්ලෝම මානසික සහනශීලිතාවය භුක්ති විඳීන්නෝ වෙති. අභිධර්මයට අනුව මෙත්තා, කරුණා සහ මුදිතා යන බ්‍රහ්ම විහරණ තුන අප්පමඤ්ඤා නමින් හැඳීන්වේ. “තිස්සො අප්පමඤ්ඤා මෙත්තා කරුණා මුදිතා” මේ කරුණුවල ඇති වටිනාකම ඉතා කෙටියෙන් විමසා බැලීම අපගේ අරමුණ වේ.

මෙත්තා

“මිත්තස්සභාවො මෙත්තා” ‘මෙත්තා’ යනු මිත්‍ර ස්වභාවයෙන් හෙවත් හිතවත් භාවයෙන් යුක්තව කටයුතු කිරීමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී කල්‍යාණ මිත්‍රයන් හතර දෙනෙකු දක්වා එම මිත්‍රයන් සතු ගුණධර්ම ද දේශනා කොට ඇත. අවංක මිතුරන් කිසි විටෙක තම මිතුරාට විපතක් කරදරයක් වේවායි නොපතන අතර තම මිතුරා ආරක්ෂා කරගනියි. අපගේ ඇසුරට ගත යුත්තේ එවැනි කල්‍යාණ මිත්‍රයන් පමණක් බවත් එවැනි තැනැත්තෙකු තමාගේ ඇසුරට නොලැබෙන්නේ නම් තනිව ජීවත්වීම උසස් බවත් බුදුන් වහන්සේ දේශනා කොට ඇත. ‘මෛත්‍රිය’ භාවනා කමටහනක් වශයෙන් ද වැඩිය හැකි ය. මෙත් වැඩිය යුතු ආකාරය ඉතා පැහැදිලි ව කරණීයමෙත්ත සූත්‍රයේ දක්වා ඇත. අංගුත්තර නිකායේ මෙත්තානිංස සූත්‍රයේ දී මෛත්‍රී භවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස එකොළහක් ඇති බව පෙන්වා දී ඇත. ඒ අනුව මෛත්‍රි සහගත සිතුවිලිවලින් යුක්තව මෙත්තා භාවනාව වඩන පුද්ගලයා,

සැප සේ නිඳාගනියි, සැප දේ අවදිවෙයි, නිදා සිටින විට පාපී නපුරු සිහින නොදකියි, මිනිසුන්ට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි, දෙවිවරු හෙතෙම ආරක්ෂා කරයි, වස විෂ, අවි ආයුධ වලින් විපත් සිදුනොවෙයි, ඉක්මනින්ම සිතෙහි සමාධිය ඇති කරගත හැකි වෙයි, ශරීර වර්ණය පැහැපත් වෙයි, සිහි මුළා නො වී මරණයට පත්වෙයි, මේ ජීවිතයේ අරහත්වයට පත්වුණේ නැත්නම් බ්‍රහ්ම ලෝකයේ උපදියි.

මෛත්‍රී සහගත ව මිත්‍රස්වභාවයෙන් ජීවත් වන තැනැත්තා තමාටත් සමාජයටත් හිතැති පුද්ගලයෙකු වේ. එවන් පුද්ගලයන් ජීවත්වන සමාජය පතිරූපදේසවාස වෙයි.

කරුණා

“පරදුක්ඛෙ සති සාධූනං කම්පනං හදයඛෙදං කරොතීති වා කරුණා” අනුන්ගේ දුකේ දී සත්පුරුෂයන්ගේ හදවතේ ඛේදයක්, කම්පනයක් ඇතිවන්නේ කරුණාව නිසා ය. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාකරුණාවේ ප්‍රතිමූර්තියය යි.

උන්වහන්සේ සම්මා සම්බුදුවරයකු වශයෙන් සෑම දිනක ම හිමිදිරි උදෑසන අද මගෙන් සිදුවිය යුතු සේවය කුමක් ද? අද දින මම කාහට නම් පිහිට වන්නේ ද, අද මම දුකෙන් සිටින්නෙකු කෙසේ නිදුක් කරන්නෙම්ද? විපතට පත්ව සිටින්නෙකු කෙසේ දුකෙන් ගලවා ගන්නෙම් ද? යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ සැමදාම අලුයම නැගිට මහා කරුණා සමාපත්තියට සම වැද ලෝක සත්ත්වයා දෙස බලති. සත්පුරුෂයන්ගේ හදවතේ ඇතිවන කරුණාවේ ස්වභාවය වන්නේ දුක්ඛිත සත්වයන් කෙරෙහි කම්පාවක් ඇතිවී එය නොඉවසා එම දුකින් පීඩාවට පත්වූවන් දුකෙන් මිදවීමට ක්‍රියා කිරීම යි. කරුණාව සැම සත වෙත එක හා සමාන ව අප්‍රමාණ ව වැඩිය යුතු දෙයක් වන අතර මෙලොව ජීවත්වන බොහෝ දෙනාගේ කරුණාව එසේ නොවේ. එය එකිනෙකාට අනුව වෙනස් වේ. එහෙත් බුදුරජාණන් වහන්සේගේ හදවත සෑම මොහොතක ම නිරතුරුව ම කරුණාවෙන් සිසිල් ව තිබුණි. ඉතා දිළිදු දුගී මගී යාචකයාගේ පටන් රජමැදුරේ උසස් කුලවතුන්ට පවා උන් වහන්සේගේ කරුණාව එක හා සමාන විය.

මුදිතා

තමන් මේ ලෝකයට බිහි කළ දරුවන් හැදී වැඩී ඉතා හොඳීන් ඉගෙන කියාගෙන, දැහැමින් ධනය හරි හම්බ කරගෙන, ඉඩකඩම් මිල දී ගෙන, ගෙවල් දොරවල් හදාගෙන, දූ දරුවන් හදා වඩාගෙන දරු සුරතල් බලමින් සමාජයේ යහපත් පුරවැසියන් වශයෙන් ජීවත්වන ආකාරය දකින දෙමාපියන්ගේ හදවතේ ඇති වන්නේ අප්‍රමාණ සතුටකි. එම සතුට මුදිතාවයි. දෙමාපියන්ගේ හදවතේ පමණක් නොව අන් අයගේ දියුණුව දැක, ඔවුන්ට ලැබෙන කීර්ති ප්‍රශංසා ගරු බුහුමන් ආදිය දැක ඒ කෙරෙහි කවරෙකුගේ හෝ හදවතේ සතුටක් ඇති වේ නම් ඒ සතුට මුදිතාවයි. ඉතා ධනවත් රූමත් කුලවත් අය දෙස බලා හිතේ සතුටක් ඇති කර ගැනීමට හැකි විය යුතු ය. එහෙත් යමෙකුගේ හදවතේ දැඩිව ඉරිසියා ගති පවතින්නේ නම් ඔහුගේ හදවතේ මුදිතාව පහළ නොවෙයි.

උපෙක්ඛා

ලාභ, අලාභ, යස, අයස. නින්දා, ප්‍රශංසා, සැප සහ දුක යන අට ලෝ දහමින් කම්පා නො වී ඉන්නට නම් උපේක්ෂාව වැඩිය යුතු ය. පුද්ගල ජීවිතය සාර්ථක ව පවත්වාගෙන යාමට පුරුදු පුහුණු කළ යුතු ඉතා වැදගත් ගුණ ධර්මයක් ලෙස උපේක්ෂාව සඳහන් කළ හැකි ය. මිනිසා තමාට එදිනෙදා ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන දුක් කරදර හමුවේ දුකට සහ කම්පාවට පත්වන අතර, සැප සතුට ලැබෙන අවස්ථාවල දී අතිශය සතුටට ප්‍රීති ප්‍රමෝදයට පත් වෙයි. මේ ආකාරයට තම ජීවිතයට ළඟාවන දුක් කරදර හමුවේ පීඩාවට, සිත් වේදනාවට හෝ පත් නොවී සැප සතුට නිසා උද්දාමයට පත් නොවී මැදහත් සිතින් ඒ සියල්ල විඳ දරාගත හැකිනම් ඒ උපේක්ෂා විහරණයේ ප්‍රතිඵල වේ.

වර්තමානයේ ලෝකයේ ජීවත්වන අපි සියලූ දෙනාටම මුහුණ දීමට සිදු වී ඇත්තේ ද අට ලෝ දහමට අනුව සිදුවන පරිවර්තන තත්ත්වයකට ය. එය කිසිවෙකුට වැළැක්විය නොහැකිය. එපමණක් නොව එය කිසිවෙකුගේ කර්මයක ඵලයක් නිසා ඇති වූවක් ද නොවේ. ස්වභාව ධර්මයේ මූලික න්‍යායන් වන ඒ අට ලෝ දහම හමුවේ කම්පා නොවන සිතක් ඇති කර ගැනීමට, උපේක්ෂාව වැඩිය යුතු ම ය.

මෙහි දක්වන ලද කරුණු එකක් එකක් පාසාම පුද්ගල ජීවිතයේ සාර්ථකත්වයට මෙන්ම සමාජයේ

සාර්ථකත්වයට ද ඉවහල් වේ. ආත්මාර්ථකාමීත්වයෙන් තොරව මුළු මහත් සමාජය හා පරිසරය දෙස මෙත්තාසහගත කායකම්ම, මෙත්තා සහගත වචීකම්ම, මෙත්තා සහගත මනොකම්ම ප්‍රගූණ කරමින් කරුණාවෙන්, මුදිතාවෙන් හා උපේක්ෂාවෙන් ජීවත් වියු යුතු කාලය එළඹ ඇති බව සෑම දෙනාට පසක් වී ඇත. මේ උතුම් දිනයේ ඒ බව සිහිපත් කරදීමට කැමැත්තෙමි. ලෝකයේ ජීවත් වන සෑම දෙනාම බුදුන් වහන්සේ ලෝකයාට දෙසා වදාළ ධර්ම මාර්ග අනුගමනය කරමින් සිවු බඹ විහරණයෙන් යුක්තව කටයුතු කරන්නේ නම් සහනශීලි මානසික පරිසරයක් ගොඩ නගාගෙන ජීවත් වීමේ මංපෙත් සැම සත වෙත විවර වනු නො අනුමාන ය.