Print this Article


බුදුගුණ සිහි කරමු

බුදුගුණ සිහි කරමු

"බුදුවරයන් වහන්සේ වනාහි ලෝකය හා ජීවිතය පිළිබඳ ව අවබෝධ කළ යුතු සියලු සත්‍යයන් අවබෝධ කොට වදාළ සේක. පුරුදු පුහුණු කළ යුතු මනා පැවතුම් සම්පූර්ණ කළ සේක. ජීවිතයෙන් ඉවත් කළයුතු සියල්ල බැහැර කළ සේක . එබැවින් බුද්ධ නම් වූ සේක."

මම සත්‍යය අවබෝධ කරමි. අන්අයට ද සත්‍යය අවබෝධ කරවා මම ද සසර දුකින් මිදෙන්නෙමි. අන් අය ද සසර දුකින් මුදවන්නෙමි කාම, භව, දිට්ඨි, පච්චයා යන සසර සයුරෙහි සැඩ පහර භයානක ය. යනුවෙන් දීපංකර පාදමූලයේ දී සුමේධ නම් තාපස ව නියත විවරණ ලබමින් අප බෝධිසත්වයන් වහන්සේ ප්‍රාර්ථනා ඇති කොට ගත්හ.

එතැන් පටන් දානාදී සමතිස් පෙරුම් පුරමින් සීල , සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් ප්‍රභාවත් වී සකල ක්ලේශ සපරිවාර මාර පරාජයෙන් උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළ තථාගතයන් වහන්සේගේ අසමසම අනන්ත, අත්‍යුදාරතර බුදුගුණය අනුස්මරණයෙහි ලා සුදුසුම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.

මහණෙනි පා නැත්තා වූ ද, පා දෙකක් ඇත්තා වූ ද පා හතරක් ඇත්තාවූ ද බොහෝ පා ඇත්තා වූ ද, රූප ඇත්තා වූ ද රූප නැත්තා වූ ද සංඥාඇත්තා වූ ද, සංඥා නැත්තා වූ ද, සංඥා ඇත්තාවුත් නොවු ව ද, සංඥානැත්තාවූත් නොවූ ව ද යම් පමණ සත්ත්වයෝ වෙත් ද ඒ හැමසත්වයන්ට වඩා තථාගතයන් වහන්සේ අග්‍ර වන සේක. යනු එහි අර්ථයයි.

බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම්, අවබෝධයක් ද? තථාගතයන් වහන්සේ ම සේල නම් බමුණාට මෙසේ වදාළ සේක. දත යුතු සියල්ලම විසින් වෙසෙසින් දක්නා ලදිමි. වැඩිය යුතු සියල්ල වඩනා ලදිමි. හළයුතු සියල්ල හළෙමි. එහෙයින් මම බුද්ධ නම් වෙමි. යනුවෙනි. දුක්ඛසමුදය නිරෝධ මාර්ගා දී ආර්යය සත්‍යය ස්කන්ධ , ආයාතන , ධාතු,බෝධිපාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාද අංග ආදි ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන් ඉතා සියුම්ව ද , සත්ත්වයා හා ලෝකයපිළිබඳ අප්පාද, භංගාදී විග්‍රහයන් හේතු ඵලවාදී විචාරක්ෂියෙන් දත්හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේකැයි අට්ඨකථාචාරීහු පෙන්වා දෙති.

බුද්ධං අනුසාරතො චිත්තං පසීදතී යන බුදු වදන් සිහියට නඟා ගැනීම මේ වෙසක් සමයේ සැදැහැවතුන්ගේ යුතුකමකි.

සම්බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමරුන් ලෙසින් ලොව පහළ වීමසිදුහත් බෝධිසත්වයන් වහන්සේ සකල ක්ලේශ මාර පරාජයෙන් උතුම් වූ සම්බුද්ධත්වයට පත්වීම, පන්සාලිස් වසක් තුන් ලෝ වැසි අනන්ත සත්වයන්ගේ සංසාරික විමුක්තිය උදෙසාම කැප කොට ඒතථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත්වීම යන තෙමඟුල සිදුවූමේ උතුම් පූජනීය දිනය තරම් ශ්‍රේෂ්ඨ දිනයක් බෞද්ධ ලෝකයාට

තවත් නොමැත. මෙත්, කරුණා, මුදිතා ආදී ගුණ සමුදාය ගලා යන, නොසිඳෙන දියදහරක් මෙන් අකාලිකව පවත්නා අනන්ත බුදුගුණය සිහිකරත්ම සිත්සතන් ප්‍රබෝධයට පත්වීම. ස්වභාවික ය. බුද්ධානුභාවයෙහි සුවිශේෂත්වය නිරතුරු සිහිකිරීම උදාරතර ආධ්‍යාත්මිකසංවර්ධනයකට මාර්ගෝපදේශ වේ. තථාගතයන් වහන්සේ සතු වූ ශීල,සමාධි , ප්‍රඥා විමුක්ති , විමුක්ති ඤාණ, දර්ශනාදී පරමෝත්කෘෂ්ට ගුණාංග සමුදායන් අසරණ සරණ ගිලානෝපස්ථාන, අටලෝ දහමින් අනුකම්පාබව , විෂම වූවන් දමනය කිරීම, මහා කාරුණිකත්වය , මහාප්‍රඥාවත්භාවය ආදී ශ්‍රේෂ්ඨ ගුණ සමුදායන් සකල සත්ත්ව වර්ගයාටම ගුණාංග වර්ධනයෙහිලා හැම විටම මාර්ගෝපදේශ වන්නේ ය. පූරිතපාරමී දම් නිසා ලැබූ කෘතහස්ත භාවයත් , ප්‍රසාද ජනක පෞරුෂත්වයත්, ගරු සම්භාවනීයත්වයත්, මහා ප්‍රඥාවත් , අපූරුදේශනා විලාසයත් යනාදී නන් වැදෑරුම් විශේෂතාවයන් සකල සත්වප්‍රජාවගේ ම හිත සුව පිණිස යෙදූ බව වටහා ගැනීම මැනවි.

බුදුවරයන් වහන්සේ වනාහි ලෝකය හා ජීවිතය පිළිබඳ ව අවබෝධ කළ යුතු සියලු සත්‍යයන් අවබෝධ කොට වදාළ සේක. පුරුදු පුහුණු කළ යුතු මනා පැවතුම් සම්පූර්ණ කළ සේක.ජීවිතයෙන් ඉවත් කළයුතු සියල්ල බැහැර කළ සේක . එබැවින් බුද්ධ නම් වූ සේක. සියලු බුදුවරයන් වහන්සේ ශ්‍රී සද්ධර්මය ගුරුකොට ,ශාස්තෘ කොටවැඩ විසූහ. එම ශ්‍රි සද්ධර්මය වනාහි සමස්ත ලෝක විෂයෙහි යථාස්වභාවය මැනවින් මෙන්ම ගැඹුරින් ද ප්‍රකාශිත ය.

උතුම් වූ සද්ධර්මය මනාකොට අවබෝධ කර ගැනීම ප්‍රඥාවන්ත මනුෂයාගේ මූලික කාර්යයක් වේ. බුද්ධ ධර්මය වනාහි හේතුඵලවාදීදාර්ශනික පදනමෙහි පිහිටි ලෝක ස්වභාවය මැනවින් අවබෝධ කර ගැනීමට මහෝපකාරී වන චතුරාර්ය සත්‍ය මත පදනම් වූවිමුක්තියටත්, සමාජමය විමුක්තියටත්, මාර්ගෝපදේශ කරගැනීම බව තරයේ අවබෝධ කර ගත යුතු ය.

ශ්‍රී ලංකාද්වීපයෙහි ජීවත් වන සිංහල බෞද්ධ වූ අපට වෙසක් පොහෝ දිනය ජාතික වශයෙන් , ද ඉතා වැදගත්වේ. වෛශාඛ්‍ය පුජනීයත්වය හා ජාතියෙහි සමාරම්භය සම්මිශ්‍රණය වූ අයුරු ඉතිහාසයෙහි පැහැදිලිව සඳහන් වේ. විජය කුමරුන් ප්‍රධාන සත්සියයක් අපේ මුතුන් මිත්තන් ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූයේ උතුම්වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක ය. අපේ ජාතියෙහි සියලු යහපත් අංගයන් හා සම්බන්ධ සංවර්ධනාත්තමක වු ත් , අධිෂ්ඨාන සහගත වුත් දිනයක් වශයෙන් මේ දිනය යොදාගෙන ඇත. ශ්‍රී ලංකාද්වීපවාසී සිංහලයන් ගුණයෙන්, නුවණින් සම්පූර්ණ වූ විශිෂ්ටසංස්කෘතියක් ගොඩනඟා ගත්තේ මේ උතුම් වූ බුද්ධ ධර්මයෙහිඉගැන්වීම ගුරුකොට තබාගෙන ය. උට්ඨාන සම්පදා , ආරක්ඛ සම්පදා,කල්‍යාණ මිත්තතා, සමජීවිකතා යන මුලික සංකල්ප හතර පදනම්කොට ගෙන ස්වයංපෝෂිත ආර්ථිකයත් , සරල ජීවන පැවැත්මත්, විශිෂ්ට චින්තන ශක්තියත් උරුම කර ගැනීමට අපේ මුතුන් මිත්තෝසමත් වුහ. වර්තමානයේ විශේෂයෙන් අපේ තරුණ පරපුර ඉහත කීකරුණු කෙරෙහි අවධානය යොමුකොට සිල්වත් ව , ගුණවත් ව, නැණවත් ව කටයුතු කිරීමට අධිෂ්ඨන සහගතවීම අත්‍යවශ්‍ය වේ.

රටක් වශයෙන් ද, ජාතියක් වශයෙන් ද, පුද්ගලයෙක් වශයෙන් ද, සමාජයක් වශයෙන් ද, ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැක්කේ එමඟිනි. උදා වූ මෙම උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දින පංචශීල , අට්ඨාංග ශීල, දස ශීල ආදී උතුම් ප්‍රතිපත්තියෙහි පිහිටා දාන , ශීල, භාවනා දී පින්කම් සිදුකොට ලොව්තුරා සැපත් සිද්ධ කටයුතු යැයි මෙත්සිත් පෙරටුව සඳහන් කරනු කැමැත්තෙමු.