Print this Article


මහා කාරුණිකයාණන් වහන්ස !

මහා කාරුණිකයාණන් වහන්ස !

" එදා ඇළෙන් දොළෙන් කමතින් මතු නො ව පතලේ පාරු තොටේ ද ඇසුණේ ඔබ වහන්සේ ගේ ගුණ ගීය ම ය. ඈත කඳු මුඳුන්වලින් සුළං රැල්ලේ පාව ආයේ බුදු ගුණ මුසු නාදයෝ ම ය. ගෙයක් ගෙයක් පාසා මුවක් මුවක් පාසා ගමක් ගමක් පාසා මුමුන මුමුනා මැතිරුණේ ඔබ වහන්සේ පිළිබඳ වූ නව අරහාදි බුදු ගුණ ගීය ම ය. ඔබ වහන්සේ ගෙන් තොර ව තුනුරුවනින් තොර ව මෙ රටේ කිසිවක් එ දවස නොවුණේ ය."

 

තුන් ලොවට ම තිලකයක් වූ, මහා කාරුණික බුදු පියාණන් වහන්ස, ඔබ

වහන්සේගේ පා පියුම් නැමැඳ මේ බුදු ගුණ වදන් පවසන්නට මට අවසර. මුළු ලොව ම ගනඳුරින් වැසී ඇත. අනවරාග්‍ර වූ මේ සසර කතරේ පීඩිත ව දුක ම ශෝකය ම කර පින්නාගෙන පරක් තෙරක් නො දැක ඇවිද යන සත් වගට එක ම ක්ෂේම භූමිය ඔබ වහන්සේ ම ය.

කෙලෙස් ගින්නෙන් තැවිතැවී දැවිදැවී ගැටිගැටී ශෝක සන්තාපයෙහි ම වෙළෙමින් යන මේ පුහුදුන් සත් වගට එක ම අමා සිසිල් පැන් පොකුණ ඔබ වහන්සේ ම ය.

ද්වේෂයේ තියුණු අවි ඔසොවා ගනිමින් මෝහාන්ධකාරයෙහි ම ගිලෙමින් අන් සතු දැයෙහි ලොබ බඳීමින් උනුනට එරෙහි ව අවි අමෝරා නසමින්

මෝහයේ පත්ලෙහි ම කිමිදෙන මේ සත් වගට එක ම පිළිසරණ, එක ම ප්‍රඥාලෝකය ඔබ වහන්සේ ම ය. අසරණ වූ මේ ලෝක සන්නිවාසය බුදු නුවණින් ඇති සැටියෙන් ම දුටු මහාකාරුණික බුදු පියාණන් වහන්ස,

මේ අසරණ සත් වගට සෙත් සැලැසුව මැනැව. බුදු පියාණන් වහන්සේ, පරක් තෙරක් නැති මේ සසරේ අපමණ වෙහෙසී

අපමණ දුක්ඛ සන්තාප - ගැරහුම් අවමන් ක්ෂාන්තිවාදී ව ඉවසමින් විඳීමින් සියලු පාරමී දම් පූරණය කොට ලොවුතුරු බුදු නුවණ පසක් කළ සේක් අප වෙනුවෙන් ම ය.

ආත්ම භාවයක් ආත්ම භාවයක් පාසා හීන ප්‍රණීත වශයෙන් දාන - ශීලාදි දස පැරුම් දම් පුරමින් ලොවට කරුණාවේත් ප්‍රඥාවේත් චන්ද්‍ර-සූර්ය දෙදෙනා පහළ

කළෝ ඔබ වහන්සේ ම ය. ඔබ වහන්සේ ලොව ආශ්චර්යවත් පුරුෂෝත්තමයා යැයි තවත් කුමට කියමු ද ? නමවු

තිලොවෙ’ක මිතුරා” “නමවු තිලොව’ග උතුරු මිනිසා” “ශ්‍රී ඝන මෛත්‍රී මූර්ති - ශ්‍රී පද පද්ම නමාමි” මේ ඈ නොයෙක් ලෙසින්

ගුණ වනා සිරිපද නැමැඳුව ද සිතට නම් සෑහීමෙක් නො ඒ. ඒ බුදු ගුණ මහිමයේ අසිරිය යි. ඒ බුදු සිතේ අසිරිය යි. ඒ බුදු බණේ මහිමය යි.

අනේකවිධ දුක් කම්කටොලුවලට මැදි වී භව ගමනේ සැරිසරන පුහුදුන් සත් වගට

අමා මහ නිවන් දොර ඇර දී, තමනුදු බුදු ව අනුනට ද සිවු සස් මඟ පහදා දීමේ අරමුණු ඇති ව, තමනුත් මිදී අන් හැමදෙනාත් සංසාර පාශයෙන් මුදවා ගනු පිණිස, තමනුත් ජාති සංසාරයෙන් එතෙර ව

අනුනුදු ඒ අපාර සංසාරයෙන් මුදවා ගනු පිණිස සිදුහත් මහබෝසත් ලෙසින් අද වන් වෙසක් පුන් පොහෝ දිනෙක මේ ලොව උපත ලද සේක, ඔබ වහන්සේ.

අවිදු ගනඳුරින් සව් සතුන් ගලවාගනු පිණිස ම යොදමින්, පන්සාළිස් වසක්

මුළුල්ලේ ගම් දනව්හි සැරිසරමින්, ගුරු මිටක් නො තබා, කිසිදු ආකාරයක

පුද්ගල භේදයක් නො සලකා සම මෙතින් සම කරුණාවෙන් සතහට දහම් වැසි

වස්වමින් දෙව්-බඹ-නර-නා හැම සත්හට නිවන් සෙත් සලසා දෙමින් අද වන්

වෙසක් පුන් පෝ දිනෙක නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියාහු ද ඔබ වහන්සේ ම ය. ඒ උතුම් තෙමඟුල වෙනුවෙන් බුදු පියාණන් වහන්සේ ගේ ගිහි-පැවිදි

ශ්‍රාවක ශ්‍රාවිකාවෝ යථාර්ථයෙන් ඔබ වහන්සේ පැතූ අයුරින් ම

ඔබ පුදත් ද ? ඔබ වහන්සේ වෙනුවෙන් සුදුසුතම ප්‍රතිපත්ති

පූජාවෙන් සැරසෙන්නෝ කීයෙන් කී දෙනෙක් වෙත් ද? දහම අභියස

සිටිමින් ම දහම් පහන අත දරමින් ම, ධර්මද්වීපයේ වෙසෙමින් ම ඔබ

වහන්සේ පෙන්වූ දහම් මඟට පිටු පා යන්නෝ බුදුනුවන් අතර ම

කොපමණ වෙත් ද ? ලාබ-කීර්ති-ප්‍රශංසා ආදිය සෙවීමෙහි දරුණු

කටුක ආදීනව කොතරම් පෙන්වා දී තිබියදීත් ඒවායෙහි ම ගිජු වන,

මුසපත් වන දු:ඛිතයෝ අප අතර ම කොතරම් නම් වෙත් ද? නික්ලේශී

සුවිශුද්ධ බුද්ධ මාර්ගය සුපහන් ව තිබිය දී, මංමුළා ව මෙහි ම බුද්ධ භූමිය සොයන්නෝ දැන් දැන් විරල නො වෙති. ඔබ වහන්සේ නොදෙසූ දහම් දෙසූ දහම් සේ දක්වන, දෙසූ දහම්හි අරුත් වියකන් විකට

කොට වනසන, එයිනුදු නො සෑහී ගණාචාරීන් ව දුඹුල් දැනුම් ඇති අසරණ

සැදැහැවත් දනන් ද මුළාවේ හළමින් තමන් මහාධර්මධරයන්, ක්ෂීණාශ්‍රවයන්, බුදුවරුන් සේ තමන් ම හඳුන්වා හුවාගනිමින් සසුන් කෙත පුරන් කරන්නෝ කොතරම් නම් විරාජමාන වෙත් ද මේ සසුන් කෙත තුළ ම. බුදු පියාණන් වහන්සේ ගේ සර්වඥ බල ශක්තිය, සද්ධර්මයේ උත්තරීතර ධර්ම ශක්තිය, ආර්ය මහාසංඝරත්නයේ අනුත්තර වූ තේජානුභාව බල

ශක්තිය මේ විශ්වය තුළ අද්විතීය වූත් අසහාය වූත් “ධර්ම ශක්තියක්” ලෙස බලපවත්වන බව අපි විශ්වාස කරමු. පෙර මහ රජදරුවන් විසින් නව වාරයක් ම මේ ශ්‍රී ලංකාද්වීපය සම්බුදු පියාණන්ට පුදනු

ලැබුයේ ඒ විශ්වාසය පදනම් කරගෙන ය.

ගෞතම ශාක්‍ය මුනීන්ද්‍ර සම්බුදු පියාණන් වහන්ස, සියලු අධර්ම බලවේග,

අවිනය ප්‍රචණ්ඩවාද ශමනය කොට හික්මවාලන්නට කාලය පැමිණ

ඇත්තේ ය. ඔබ වහන්සේ පෙන්වා වදාළඅකාලික ඍජු ප්‍රතිපදාව වූ

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ශ්‍රී ලංකා ස්වර්ණ භූමියෙන් දුසිරිත පලවා හරින්නටත් - සුසිරිත වවා වඩා නඟා සිටුවන්නටත් සුදුසු කාලය පැමිණ ඇත්තේ ම ය. අතෘප්තිකර තෘෂ්ණාවේ බල පවුරු මත නැඟී මිනිසා මිනිසාට එරෙහි ව බඳීන සටන් කඳවුරු දුබල කොට තිසරණ සැලැස්විය හැක්කේ බුදු පියාණන් වහන්සේට ම ය. සතාසිවුපාවාට මතු නො ව ගහ කොළ- ඇළ දොළ ගංගා -අහස් කුස ඈ මේ සමස්ත පරිසරයට ම ශාන්තියේ කාන්තිය කාවැද්දිය හැක්කේ මහාකාරුණිකයන් වහන්සේට

ම ය. කුසට බත් උළක් නැති ව, ඉණට විළි වසාගන්නා වතක් නැති ව බීමට

පිරිසුදු පැන් පොදක් නැති ව අසරණ ව අයාලේ යන දුප්පතුනටත්, සම්පත්තියෙන් සම්පූර්ණ ව, ‘නැතැ’ යි යන බසක් කෙලෙසින්වත් කිව

නොහැකි, ‘එව-කව-බොව’ බසින් ම උදම් වූ සිතින් නිබඳ වෙසෙන, එහෙත්

දුගියකු ගේ දුක් කඳුළක් නොහඳුනන, දහසකුත් දිළින්දන් ගේ දුක්

වේදනා සෝ සුසුම් ගැන අල්පමාත්‍ර වූ ද සංවේදනයක් නැති ව, ඒවා

පිළිබඳ ව නෑසුණු කන් ඇති ව පාවෙන සිහින ලෝකයේ මුසපත් ව

සැරිසරන සිතින් දිලින්දන් වූ සැමටත් මනුෂ්‍යත්වයේ සහනාලෝකය

දකින්නට ධර්මයේ ශාන්තිද්වාරය විවර කළ හැක්කේ ස්වාමීනි, ඔබ

වහන්සේට ම ය.

ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්ස, එදා ඇළෙන් දොළෙන් කමතින් මතු

නො ව පතලේ පාරු තොටේ ද ඇසුණේ ඔබ වහන්සේ ගේ ගුණ ගීය ම ය.

ඈත කඳු මුඳුන්වලින් සුළං රැල්ලේ පාව ආයේ බුදු ගුණ මුසු

නාදයෝ ම ය. ගෙයක් ගෙයක් පාසා මුවක් මුවක් පාසා ගමක් ගමක් පාසා

මුමුන මුමුනා මැතිරුණේ ඔබ වහන්සේ පිළිබඳ වූ නව අරහාදි

බුදු ගුණ ගීය ම ය. ඔබ වහන්සේ ගෙන් තොර ව තුනුරුවනින් තොර ව මෙ

රටේ කිසිවක් එ දවස නොවුණේ ය. අද ඒ සියල්ල කාලානුක්‍රමයෙන්

වෙනස් වී ඇති සේ ය. අනියත අනිස දහම හැම දේට ම පොදු වුවත් ඔබ

වහන්සේ ගේ අකාලික ලොවුතුරු දහම සව් සතුනට සදාතන උරුමය ව පවතිනු

නොඅනුමාන ය. ස්වාමීනි, අපට සැබෑ සැනැසීම ඇත්තේ ඔබ වහන්සේ ළඟ පමණ ය.

මේ බියකරු අඳුරු භව ගමන පුරා අපට ඇති එක ම සරණ ඔබ වහන්සේ පමණ ය. එක ම ආලෝකය ඔබ වහන්සේ පමණ ය. අප වෙළාගෙන සිටින සියලු දුක්-පිරිපත්-විපත්වලින්

ජරා-ව්‍යාධි - මරණයේ සදාතන අසරණ භාවයෙන් අප මුදා ලිය හැක්කේ

ඔබ වහන්සේට පමණ ම ය. එහෙයින් අපි දිවි හිමියෙන් ම, නිවන් හිම්

කොට ඇති තෙක් ම, බුදු පියාණන් වහන්සේ ම සරණ යන්නෙමු.

බුද්ධං සරණං ගච්ඡාමි. දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි

බුද්ධං සරණං ගච්ඡාමි.