Print this Article


පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බලගතු බව සිතට ගන්න

" බුදුදහමින් ශික්ෂිත ජන සමාජයක තනි පුද්ගලයන් හැටියට අප එකිනෙකාට මෙම අවස්ථාවෙහි දී ඉටුකළ හැකි පොදු වගකීම ගැන දැනුවත් වෙමු. කරණීයමෙත්ත සූත්‍රය හා රතන සූත්‍රය ඇතුළු සෙත් පිරිත් මෙම පුණ්‍ය භූමියෙහි උදේ හවස සජ්ඣායනා කිරීමට උතුම් බුද්ධපුත්‍රයන් වහන්සේලා විසින් පෙර දවස සිට පුරුදු කරවන ලද්දේ කුමක් නිසා දැයි සිතා බලන්න."

බුදු දහම විසින් මිනිස් වර්ගයාට වර්ෂ දහස් ගණනක් පුන පුනා අවධාරණය කළ සත්‍යයක් ඇත. එනම් පව්කම් කොට කිසියම් සැපක් ලැබිය නොහැකි බව ය. අදැහැමින් ලොව දිනිය නොහැකි බව ය. දුක යනු කුමක් දැයි තේරුම් ගත යුතු බව ය. මරුගේ අභියෝගය ජයගැනීමට නම් අවබෝධයකින් යුතු සුවිශේෂී ජීවන ප්‍රතිපදාවකින් ජීවත්විය යුතු බව ය. එහෙත් මේවා හිස් ප්‍රලාප ලෙස සැලකූ අපමණ මිනිස්සු තෘෂ්ණාවේ කිරුළ හිස මත පළඳමින් ධනයම සෙවූහ. බලයම පැතූහ. සොබා දහමේ සියලු දායාදයන් ද අකාරුණික ලෙස වැනසූහ. සත්ව ප්‍රජාව අකාරුණික ලෙස ඝාතනය කරමින් යන්ත්‍ර සූත්‍ර මගින් ටින්වල ඇසුරූහ. පැකට්වලට දමා ශීතකරණවල තබා ගත්හ. ඒ අන් කිසිවක් සඳහා නොව තමාටත් තම අඹුවට හා දරුවන්ට රසමසවුළු කොට බුදීම සඳහා ය. ඒ සඳහාම යොදුන් ගණන් වනාන්තර කපා දමමින් මහමැඳුරු තනමින් සොබා දහමට වධ හිංසා කළහ. මිණි මුතු සොයා මිහිකතට හිංසා කළහ.

සොබා දහම නුහුලන අකටයුතුම් කරන මිනිසුන්ගෙන් පිරි සමාජයක සිදුවිය හැකි දේ දැන් ලොව සිදු වෙමින් පවතී. අසීමිත ආශාවකින් ධනය සොයා ගිය මිනිස්සු මරුගේ සිනහව අභිමුව සුසුම්ලති. ආශාවෙන් රැස් කළ ඩොලර්, යෙන්, පවුම් කොළ සී සී කඩ විසි කරති. ජීවිතයම යදිති. ලොවට මෙවන් මහත් ව්‍යසන පැමිණෙන අයුරු බුදුරජාණන් වහන්සේ විස්තර කළ ආකාරය දීඝනිකායේ චක්කවත්තිසීහනාද සූත්‍රයේ මැනවින් දක්නට ලැබේ. එහෙත් දැන් උදාවී ඇත්තේ කළකම් අනුව පැමිණි අනිටු විපාකයන් ගැන ළතෝනි දීමට වඩා මරු කතරේ පැන් පොදක් සෙවීමට වෑයම් කිරීම ය. ගිම්හානයේ වසන්තයක් උදාකර ගන්නා අයුරු සෙවීම ය.

ජාතක පොත් වහන්සේගේ මුල්ම ජාතක කථා වස්තුව වණ්ණුපථ ජාතකයයි. කාන්තාරයක ගමන් කළ පන්සීයක් වෙළෙන්දෝ වරක් ජීවිත අවදානමකට මුහුණ පෑහ. සියල්ලෝ එකිනෙකාට දොස් නඟමින් “දැන් අපි ඉවරයි. දැන් තියෙන්නේ මැරෙන්නට යැ’යි කියමින් මන්දෝත්සාහීව සිටියහ. උතුම් බෝසතාණන් වහන්සේ පමණක් දිරියෙන් වැඩ බිමට ගොස් දිරියෙන් වැඩ කටයුතු අරඹා සෙසු අය ද දිරිමත් කොට නිරුදක කතරෙහි දිය උල්පතක් මතු කොට සියල්ලන්ට ජීවත් වීමට සලසා දුන්හ. ලෝකය තුළ මෙකල උදාවී ඇත්තේ ද එබඳු කාලයකි. නීතිය යුක්තිය ධර්මයට අනුව ජීවත්වීමට බුද්ධිමත් විය යුතු ය. දේශපාලන, සෞඛ්‍ය, නීතිය හා යුක්තිය පසිඳලන අංශයන් විසින් ඇසට පෙනෙන මානයේ ඇති බොහෝ දේ ගැටලුවලට පිළියම් වශයෙන් යොදනු ඇත.

බුදුදහමින් ශික්ෂිත ජන සමාජයක තනි පුද්ගලයන් හැටියට අප එකිනෙකාට මෙම අවස්ථාවෙහි දී ඉටුකළ හැකි පොදු වගකීම ගැන දැනුවත් වෙමු. කරණීයමෙත්ත සූත්‍රය හා රතන සූත්‍රය ඇතුළු සෙත් පිරිත් මෙම පුණ්‍ය භූමියෙහි උදේ හවස සජ්ඣායනා කිරීමට උතුම් බුද්ධපුත්‍රයන් වහන්සේලා විසින් පෙර දවස සිට පුරුදු කරවන ලද්දේ කුමක් නිසා දැයි සිතා බලන්න. ලෝකය පවතින්නේ ඇසට පෙනෙන දෙයින් පමණක්ම නොවේ. එලෙස භෞතික දෙයින්ම ලොව පවතී යැයි සිතමින් ධනය හා අවි ආයුධ බලය කරපින්නා ගත් ඇමෙරිකාව වැනි රටවල් පවා අද වැටී ඇති තත්වය දෙස බැලීමෙන් මෙම මිථ්‍යාව තේරුම් ගත හැකි ය. ලෝකයේ පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බලගතු ය. පින පව, සත්‍යය, ධර්මය, යුක්තිය, කර්මය, දිව්‍ය භූත යක්ෂ ප්‍රේත ආදීන් සතු ශක්තිය හා බලය පෙනෙන දේවල්වල ශක්තියට දෙවෙනි නොවේ. එහෙයින් ලෝකය යනු අපට සිතෙන මානයේ වැඩ කළ හැකි යැයි සිතන නරුමයන්ගේ පාරාදීසයක් ද නොවේ. එහිදී සොබා දහමේ නීති රීතීන්ට අවනත විය යුතු ය. අසත්පුරුෂයන් විසින් දූෂිත ලෝකය සත්පුරුෂයන් නිසාත්, දුශ්ශීලයන් විසින් කෙළෙසන ලෝකය සිල්වතුන් නිසාත්, අධර්මයෙන් වැනසෙන ලෝකය ධර්මය නිසාත් ආරක්ෂා වන බව අප විසින් දතයුතු සදාතනික සත්‍යයකි.

මෙබඳු පසුබිමක තෙරුවන් ගුණ හඳුනන ඔබ විසින් ඉටුකළ යුතු චර්යාව කරණීයමෙත්ත වැනි සූත්‍රවල පෙන්වා දී ඇත. එහි එක් ගාථාවක “ඒතං සතිං අධිට්ඨෙය්‍ය“ යනුවෙන් දැක්වේ. එහි තේරුම “මෙම සිහිය නිතර තබාගන්න’ යන්නයි. කවර සිහියක් ද යන්න එහිම විස්තර වන්නේ මෙසේ ය. එනම්, විශ්වය තුළ කිසිවෙකුට හෝ කිසිවකට යහපත් මිනිසුන් විසින් ගරහන දෙයක් නොකළ යුතු ය. වෙනත් විදියකින් කිවහොත් අපරාධ නොකළ යුතු ය. අනෙක් කරුණ වන්නේ කිසිදු භේදයක් නොතකා සියල්ලෝම සුවසේ වෙසෙත්වා යනුවෙන් පැතීමයි. එලෙසින් සිතා ඊට අවකාශ සැලසීමයි. මෙම මෛත්‍රී සහගත චේතනාව දුටු නොදුටු (දිට්ඨා වා යෙව අද්දිට්ඨා), දුර හෝ නුදුරෙහි වෙසෙන, උපන් හෝ උපතක් සොයන (භූතා වා සම්භවෙසී ව) යනාදී සියලු ආකාරයේ සත්වයන් කෙරෙහි පැතුරුණු සංකල්පයක් විය යුතු ය. එය ඇළ දොළ ගංගා තුරු ලතා ආදිය පමණක් නොව තණ ගස පවා මූලික කොට ගත්තක් විය යුතු ය. මවක් තම එකම පුතුට ආදරය කරන්නාක් මෙන් සමස්ත විශ්වය කෙරෙහි දයාබරිත විය යුතු බව බුදුන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයෙහි අපට පැහැදිලි කළහ. මේ මිනිස් ලොව එබඳු චේතනාවෙන් වෙසෙන මිනිසුන් ඇති බවත් එහෙයින් ඔවුන් ආරක්ෂා කරන ලෙසත් රතන සූත්‍රයෙහි දී භූත ප්‍රේතාදී අමනුෂ්‍ය කොටස්වලට විධාන කළහ.

එබැවින් බුද්ධියෙන් පමණක් සිතා මිස තර්ක විතර්ක කරමින් අවදානම් සහිතව මෙම අවස්ථාවෙහි කල් නො ගෙවන්න.