Print this Article


රෝග නිවාරණයට පිරිත්

රෝග නිවාරණයට පිරිත්

ක්ෂීණාශ්‍රවයන් වහන්සේ පවා කායිකමය වශයෙන් රෝගී තත්වයන්ට පත් වූ අවස්ථාවලදී බොජ්ඣංග සූත්‍ර දේශනා කර ඇත. මහා කස්සප ථෙර බොජ්ඣංග සූත්‍රය මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග සූත්‍රය ආදී සූත්‍ර මහා කස්සප මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අසනීප වූ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනා කිරීමෙන් පසුව එම කායික අපහසුතා සමනය කරගෙන ඇත.

අද දවසේ මුලු මහත් ලෝකය මුහුණ පා ඇති බරපතළම උවදුර Covid - 19 වයිරස් රෝගය යි. තවමත් එයට නිසි ප්‍රතිකාරයක් සොයා නොගැනීම හමුවේ ලෝකයේ සෑම තත්ත්පර 30කට වරක් අයකු මරණයට පත්වන බවක් පෙනෙන්නට ඇත. දැනට ලක්ෂ 10ක පමණ පිරිසකට රෝගය ආසාදනය වී ඇති අතර පනස් දහසකට අධික සංඛ්‍යාවක් ලොවපුරා මරණයට පත්වී ඇත. මිනිසාගේ පාලනයෙන් ඔබ්බෙහි සිදුවන ව්‍යසනකාරී තත්ත්වයක් බවට මෙය පත්ව ඇත. විශේෂයෙන් මෙවන් අවස්ථාවල දී මිනිසා යොමු වනුයේ විවිධ අභිචාර සහ උපචාර ක්‍රමයට බව ඈත ඉතිහාසයේ සිටම පෙනී යන කරුණකි.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි යුගයේදී විවිධ ව්‍යසනකාරී තත්ත්වයන් එදා සමාජයේ ඇති වූ බව සඳහන් වේ. විශාලා මහනුවර ඇති වූයේද එබඳු එක් වසංගතයකි. වැස්ස නැති වීමෙන් ඇති වූ දුර්භික්ෂය, වසංගත රෝග පැතිරීමෙන් ඇති වූ ජීවිත හානි සහ විවිධ අමනුෂ්‍යයන්ගෙන් ඇතිවූ තර්ජන හමුවේ විශාලාව අමුසොහොනක් විය. අන්ත අසරණ තත්ත්වයට පත් නුවර වැසියෝ තම තමන් දන්නා ආකාරයට සහ සුදුසු යැයි ආරංචි මාත්‍රයෙන් දැන ගන්නා ක්‍රමයන්ට විවිධ යාගහෝම කරමින් විවිධ අභිචාර උපචාර විධීන් අනුගමනය කරමින් පුදපූජා පවත්වමින් යම් සහනයක් පැතූහ. ඒ කිසිදු ක්‍රමයකින් සැනසිල්ලක් නො වූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එනුවරට තම උපස්ථායක ආනන්ද හිමියන් සමඟ වැඩම කළහ.

මහා කරුණාවෙන් යුතුව උන්වහන්සේ එහිදී රතන සූත්‍රය දේශනා කළහ.

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

මේ ලෝකයේ හෝ වේවා දිව්‍ය බ්‍රහ්ම නාග සුපර්ණ ආදී අනෙක් ලෝකයක හෝ වේවා පවත්නා ජාත රූප රජත ආදී යම්තාක් රත්න විශේෂ ඇත්ද ඒ මේ සියලු රත්නයන් ට වඩා බුද්ධරත්නය ප්‍රණීතය, උතුම්ය, අගනේය, උසස්ය. මෙය සත්‍යයකි. සැබෑවකි. ඒ සත්‍යය හේතුකොට ගෙන සැපයක් යහපතක්ම වේවා අවුරුදු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට ගොඩනඟා ගන්නා ලද සත්‍ය ආදී පාරමිතා ශක්තිය ද සිහිපත් කරමින් ආශිර්වාද කළහ.

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ එකඟ වූ සිත් ඇත්තේ, ක්ෂය නම් වූ විරාග වූ, අමෘතය යයි කියන ලද, ප්‍රණීත වූ යම් නිවනක් පසක් කළේ ද ඒ හා සමාන වූ අන් කිසි දහමක් නැත්තේය. මේ කරුණින් ද ඒ දහම උතුම් වූ රුවනකි. මෙම සත්‍යානු බලයෙන් සැපයක් යහපතක්ම වේවා.

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්තචිත්තා ආයතිකෙ භවස්මිං
තේ ඛීණබීජා අවිරූල්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථායං පදීපෝ
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

පුරාතන කර්ම රහත් මගින් ක්ෂීණ වූයේද, අලුත් කර්මයන්ගේ පහළ වීමකුත් නැද්ද, මතු භවය කෙරෙහි නො ඇලුණු සිතැති, ක්ෂීණ වූ ප්‍රතිසන්ධි සංඛ්‍යා බීජ ඇති, පුනර්භව සංඛ්‍යාත සංස්කාර වෘද්ධිය කෙරෙහි කැමැත්තක් නැති, ධෛර්ය සම්පන්න වූ ඒ රහත්හු මේ පහන මෙන් අවසන් සිත නිරුද්ධ වීමෙන් පිරිනිවෙති. මේ කරුණින් ද ආර්ය සංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

මෙලෙස බුද්ධ ධම්ම සහ සංඝ යන ත්‍රිවිධ රත්නයෙහි උතුම් භාවය සත්‍ය ක්‍රියාවක් වශයෙන් සඳහන් කරමින් පිරිත් පැන් නගරය පුරා ඉසිනු ලැබූයෙන් උක්ත තෙයාකාර උවදුරු දුරු ව යළි සෞභාග්‍ය උදා වූ බව සඳහන් වේ.. රතන සූත්‍රයෙන් පිරිත් කර පැන් වැළදීමෙන් කායික ආබාධ දුරුව යන බව විශ්වාසයයි. එබැවින් බෞද්ධ සම්ප්‍රදාය තුළ රෝග නිවාරණයේ දී රතන සූත්‍රයෙන් අවම වශයෙන් හත් වරක් පමණ සජ්ඣායනය කර පිරිත් පැන් සකසා පානය කර කායික අපහසුතා මඟහරවා ගැනීමට කටයුතු කළ අයුරු පැරණි ලියකියවිලිවලින් පැහැදිලි වේ.

එසේම ක්ෂීණාශ්‍රවයන් වහන්සේ පවා කායිකමය වශයෙන් රෝගී තත්වයන්ට පත් වූ අවස්ථාවලදී බොජ්ඣංග සූත්‍ර දේශනා කර ඇත. මහා කස්සප ථෙර බොජ්ඣංග සූත්‍රය මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග සූත්‍රය ආදී සූත්‍ර මහා කස්සප මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අසනීප වූ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනා කිරීමෙන් පසුව එම කායික අපහසුතා සමනය කරගෙන ඇත. බුදුරජාණන් වහන්සේ අසනීප වූ අවස්ථාවේ උන් වහන්සේ වෙත වැඩම කළ චුන්ද මහරහතන් වහන්සේ ලවා බොජ්ඣංග සූත්‍රය දේශනා කරවා ගත් බවත්, පසුව බුදුරජාණන් වහන්සේ සුවය ලැබූ බවත්, සඳහන් වේ.එම සූත්‍රය චුන්ද ථෙර බොජ්ඣංග සූත්‍රය යි.

රෝග සංසිඳවීම සඳහා ම දේශනා කළ අනෙක් සූත්‍රය ගිරිමානන්ද සූත්‍රයයි. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයේ ගිරිමානන්ද මහරහතන් වහන්සේ රෝගී වූහ. ආනන්ද හාමුදුරුවෝ ඒ බව බුදුරජාණන් වහන්සේට දන්වා අනුකම්පා කර ගිජුකුළු පව්වට වැඩම වන්නේ නම් යහපතැයි ආරාධනා කළහ. “ආනන්ද, දස සංඥා ඇසීමෙන් ගිරිමානන්ද භික්ෂුවට වැළඳී ඇති ආබාධය ඒ මොහොතේම සනීප වෙයි. ඔබ එහි ගොස් දස සංඥා කියන්නැ“ යි බුදුරජාණන් වහන්සේ දස සංඥා වදාළහ. ආනන්ද හාමුදුරුවන් ගිජුකුළු පව්වට වැඩම කොට ධර්ම දේශනා කළ අතර එය ඇසීමෙන් ගිරිමානන්ද හාමුදුරුවන් සුවය ලැබූ බව සඳහන් වේ.

එසේම සූත්‍රය අනුව රෝගයන් හට ගන්නා ක්‍රමයන් වශයෙන් පිතින් වන රෝග, සෙමෙන් වන රෝග, වාතයෙන් වන රෝග, තුන්දොසින් වන රෝග, පෙරළීමෙන් වන රෝග, විෂම පරිහාරයෙන් වන රෝග, සෘතු පෙරළීමෙන් වන රෝග, විෂම පරිහාරයෙන් වන රෝග, උපක්‍රමයෙන් වන රෝග සහ කර්ම විපාක වශයෙන් වන රෝග යනුවෙන් දක්වා ඇත. බලවත් උපඝාතක කර්මයකින් නොවන කර්ම විපාක රෝග ද ඇතුළුව අනෙක් සියලු රෝගාබාධයන්වලදී යම් සහනයක් පිරිතෙන් ලබාගත හැකි බව කියැවේ

එබැවින් රෝගාබාධවලට ලක්වූ අවස්ථාවල දී පිරිත පිළිබඳ විශ්වාසයෙන් යුතුව තුණුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව ඇතිකරගෙන පිරිත් දේශනා කිරීමෙන්, දේශනා කරවා ගැනීමෙන්, පිරිත් පැන් පානය කිරීමෙන් සහ අවට ඉසීමෙන් ආරක්ෂාවක් සැලසෙන බව, පූර්ණ සංසිද්ධීන් සමග සංසන්දනාත්මකව විචාරපූර්වක විමර්ශනයෙන් පැහැදිලි වේ.