Print this Article


බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ සේක.

එවකට මහා බලසම්පන්න මහෝදර නම් නා රජෙක් විය. ඔහුගේ සහෝදරිය කන්වඩමන් නම් පර්වතයේ නා රජු හට පාවා දුන්නාය. ඒ දෙදෙනාට දාව උපන් පුත්‍රයා චූලෝදර නම් විය. චූලෝදර නාගයා ද මහා බලසම්පන්න විය. මිණිපළඟක් හෙවත් මැණික් පුටුවක් උදෙසා චූලෝදර හා මහෝදර අතර වූ අරගලය අවසානයේ යුද්ධයක් බවට පරිවර්තනය විය. මිණිපළඟ සඳහා වූ සංග්‍රාමය නාගදීපයේ දී පැවැත්වීමට සූදානම්ව තිබිණි.

සිදුවීමට යන විනාශය දුටු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ සිට ඍද්ධි බලයෙන් නාගදීපයට වැඩම කොට අහසේ වැඩ සිටි සේක. ඒ ගමනට දෙව්රම් වෙහෙර අසළ විමානක සිටි සමිද්ධි සුමන නම් දෙව්රජු ද කිරිපලු රුකක් ගෙන එය තථාගතයන් වහන්සේ හට ඡත්‍රයක් කොට දරමින් පැමිණියේය. විශාල නාගයින් පිරිසක් රැස් වූ නාගදීප භූමිය බුදුරජාණන් වහන්සේගේ ඍද්ධියෙන් ඝන අන්ධකාර වී ගියේය. එකිනෙකා නොපෙනෙන තරම් දැඩි වූ ඒ අඳුරට බියපත් නාගයෝ විලාප නඟන්නට වූහ. එවිට ඒ අඳුර අතරින් ආලෝක ධාරා විහිදුවාලමින් බුදු රජාණන් වහන්සේ පෙනී සිටි සේක. සියලු නාගයෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කළහ. දමනය වූ ඒ නාග පිරිසට බුදුරජාණන් වහන්සේ ජාතක කතා ඇසුරින් ගුණමකු බවේත් එකට එක කිරීමේ විපාකයන්ද පහදා දුන් සේක. බුදුරජාණන් වහන්සේ අහසින් බිමට වැඩම කළ කල්හි චූලෝදර හා මහෝදර නා රජවරුන් විසින් ඒ වටිනා මිණිපළඟ උන් වහන්සේට පූජා කළහ

අනතුරුව පාරිභෝගික වස්තුවක් ලෙස වැඳුම් පිඳුම් කිරීම පිණිස ඒ මිණි පළඟත් දඹදිව සිට ගෙන ආ කිරිපලු රුකත් නාග පිරිසට ම ලබා දුන් බුදු රජාණන් වහන්සේ යළි දෙව්රම් වෙහෙර බලා වැඩම කොට වදාළ සේක.

වසර 30ක පමණ දීර්ඝ කාලයක් බෞද්ධයන්ගේ වන්දනාමානවලට පාත්‍ර නොවූ මේ පුදබිම රැක ගැන්මට විශාල පරිශ්‍රමයක් දැරූ උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති නා හිමියන් එහි විහාරාධිපති ධුරය දරමින් නාගදීපයේම දියුණුව පිණිස කටයුතු කරති.