Print this Article


තෙවළා බුදු වදන් අතරින් 62: රෝගී වූවන් අතර නිරෝගිව වෙසෙමු

රෝගී වූවන් අතර නිරෝගිව වෙසෙමු

රෝගයක් වැළඳුන පසුව ඒ සඳහා ප‍‍්‍රතිකාර ලබා ගැනීම අප අනුගමනය කරනු ලබන සාමාන්‍ය සිරිත ය. එසේ වුවද නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් රෝග වැළඳීම වළක්වා ගැනීම ඒ සියල්ලට ම වඩා වැදගත් වේ.

නිරෝගිකම උතුම්ම ලාභය යි (ආරෝග්‍ය පරමා ලාභා) යනුවෙන් වදාළ බුද්ධ වචනය පෙරටත් වඩා වර්තමානයට බෙහෙවින් වළංගු වේ. කෙනෙකුට කොතරම් භෞතික සැප සම්පත් පැවතිය ද, එම තැනැත්තාට නීරෝගිබව නොමැති නම්, සතුටක් සැනසුමක් අපේක්‍ෂා කළ නොහැකි ය. මිනිසාගේ කය ස්වභාවයෙන් ම විවිධ ලෙඩවලට ගොදුරු වේ. දුක පිළිබඳ බුද්ධ දේශනාව අනුව කය සම්බන්ධයෙන් ජරා,ව්‍යාධි,මරණ යන දුක්ඛදායක තත්ත්වයන්ට අනිවාර්යෙන්ම මුහුණ දීමට සිදු වේ.

පුහුදුන් මිනිසාට මෙන්ම, වීතරාගි උතුමන්ට ද එය පොදු වේ. විමුක්තිය සාක්‍ෂාත් කළ උතුමන්ට ද අන්තිම භවය දක්වා එම අත්දැකීමට මුහුණ දීමට සිදු වේ. බුදුරදුන් මෙන්ම ආර්යශ‍‍්‍රාවක උතුමන්ට වැළඳුණු කායික රෝග පිළිබඳ නිදසුන් කථා සූත‍‍්‍ර හා විනය ග‍‍්‍රන්ථවලින් අනාවරණය වේ. සියලු කෙලෙස් ප‍‍්‍රහීණ කළ උතුමන්ට කායික රෝග නිසා වන වේදනාවෙන් ප‍‍්‍රකම්පිත නොවී වාසය කළ හැකි වුව ද, උන්වහන්සේලා ද විවිධ කායික ආබාධ සඳහා වෛද්‍ය උපදෙස් හා ප‍‍්‍රතිකාර ලබාගත් බව ජීවක වෛද්‍යවරයා මෙන්ම විනය පිටකයේ ඇතුළත් භේසජ්ජක්ඛන්ධකයෙන් ද සනාථ වේ. මේ අනුව ලෙඩ රෝග වැළ¼දීම මෙන්ම එයට ප‍‍්‍රතිකාර ලබා ගැනීම විශේෂ තත්ත්වයක් නොවේ. එය සාමාන්‍ය තත්ත්වය කි.

බුදුරජාණන් වහන්සේ කායික හා මානසික රෝග යනුවෙන් ප‍‍්‍රධාන රෝග දෙකක් පිළිබඳ කරුණු දේශනා කළ අතර කායික රෝගවලින් නිදහස්ව වර්ෂ සියයක් වැනි දිගු කලක් (වස්සසතම්පි) ජීවත්ව සිටිය හැකි වුවත් මානසික රෝගවලින් මිදී මොහොතක් වුව වාසය කළ නොහැකි බව සඳහන් කළ හ. මෙම බුද්ධ වචනය අනුව කායික රෝගවලින් යම් පමණකට බේරී දිගු කලක් ගත කළ හැකි වුවද, විවිධ කෙලෙස් ධර්ම නිසා වන මානසික රෝගවලින් මොහොතක් වුව නිරෝගිව වාසය කළ නොහැකි බව පැහැදිලි වේ. සියලු කෙලෙස් ධර්ම ප‍‍්‍රහීණකරන තෙක් මානසික රෝගවලින් වැළකිය නොහැකි ය. මානසික රෝග පිළිබඳ බෞද්ධ විග‍‍්‍රහය බටහිර විග‍‍්‍රහයෙන් සාකල්‍යයෙන්ම වෙනස්වන බව සිහිතබා ගත යුතු වේ. බුදුසමය මානසික රෝග විවරණය කරන්නේ කෙලෙස් ධර්ම පදනම් කර ගෙන ය. එබැවින් එම විග‍‍්‍රහය දාර්ශනික පදනමකින් යුක්ත වේ. ලෝභ, දෝස, මෝහ මූලික කරගත් කෙලෙස් ධර්ම ක‍ි‍්‍රයාත්මක ව පවත්නාතාක් පුද්ගලයාට මානසික දුක් වේදනාවන්ට මුහුණ දීමට සිදු වේ. එහෙත් කායික මෙන්ම මානසික ලෙඩ රෝගවලට හේතුවන කරුණු මැනවින් හඳුනාගත් විට ඒවායින් වැළකී කායික හා මානසික නීරෝගි බව තහවුරුකරගත හැකි ය.

නිරෝගි බව උතුම්ම ලාභය ලෙස බුදුරදුන් හැඳීන්වූයේ ඒ මත කෙනෙකුගේ ආධ්‍යාත්මික හා භෞතික දියුණුව තීරණය වන හෙයින් ය. ලෙඩ රෝගවලින් පිරි ජීවිතය දියුණුවට බාධාවකි. එය වර්තමානයේ පැතිර යන වසංගත රෝගවලින් සනාථ වේ. පුද්ගලික මට්ටමෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ද එයින් සිදු වූ හා සිදුවෙමින් පවතින හානිය විශාල ය. මෙම පසුබිම යටතේ කෙනෙකු එම දුක්ඛදායක තත්ත්වයෙන් අත් මිදෙන්නේ කෙසේ ද? යන්න බුද්ධ දේශනා තුළින් කරුණු විමසා බැලීම වැදගත් වේ. රෝගයක් වැළඳුන පසුව ඒ සඳහා ප‍‍්‍රතිකාර ලබා ගැනීම අප අනුගමනය කරනු ලබන සාමාන්‍ය සිරිත ය. එසේ වුවද නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් රෝග වැළඳීම වළක්වා ගැනීම ඒ සියල්ලට ම වඩා වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ ඇතුළු සියලු ම ආර්ය ශ‍‍්‍රාවකයන් අනුගමනය කළ යහපත් සෞඛ්‍ය පුරුදු රැසක් පිටක ග‍‍්‍රන්ථවල ඇතුළත් වේ. ඒ අතුරින් සබ්බාසව සූත‍‍්‍රයේ එන ”පරිවජ්ජනා පහාතබ්බා” යනුවෙන් හැඳීන්වෙන දුරු කළ යුතු දෑ දුරු කිරීමෙන් චිත්තාවේග පාලනය කිරීමේ ක‍‍්‍රමවේදය රෝග නිවාරණය සම්බන්ධයෙන් ද අනුගමනය කළ හැකි එක් පිළිවෙත කි. මේ යටතේ කිසියම් පුද්ගලයෙකු නුවණින් මෙනෙහිකොට දුරුකළ යුතු දෑ ලෙස, නපුරු ඇතුන්, අශ්වයන් ,ගවයන්, බල්ලන් හා සර්පයන් ආදි සතුන් ද, කණු, කටුලැහැබ්, වැව්, ප‍‍්‍රපාත, කුණු වලවල් හා කසල කාණු ආදි උවදුරු සහිත ස්ථාන ද, නැණවතුන්ගේ ගැරහුමට ලක්වන අයෝග්‍ය ස්ථානවල අසුන් ගැනීමෙන් ද නුසුදුසු ස්ථානවල සංචාරය කිරීමෙන් ද, පවිටු මිතුරන් සේවනයෙන් ද වැළකීමෙන් එම තැනැත්තාට වෙහෙසකර වූ දැවිලි සහිත (විඝාතපරිළාහ) ආශ‍‍්‍රවයෝ ඇති නොවේ. සබ්බාසව සූත‍‍්‍රයේ දැක්වෙන ආශ‍‍්‍රව පදනම් කරගත් වෙහෙසකර දැවිලි සහිත මානසික හා කායික දුක්වේදනා මගහරවා ගැනීමට අනුගමනය කළ හැකි ක‍‍්‍රම හයෙන් එක් ක‍‍්‍රමයකි ඉහතින් දැක්වූයේ.

වර්තමානයේ අප මාතෘභූමිය තුළ පැතිරෙමින් පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම උපදෙස බෙහෙවින් අදාළ කරගත හැකි වේ. නුවණින් කටයුතුකරන තැනැත්තාට බොහෝ උවදුරු පාලනය කරගත හැකි ය. වංසගතය පැතිරීමට බලපාන හේතු සාධක මැනවින් වටහාගෙන ඒ සියල්ලෙන් වැළකීමට උත්සුක වන්නේ නම් එය තමන්ගේ මෙන්ම අන්‍ය‍යන්ගේ ද යහපත පිණිස හේතු වේ. නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමට අමතර ව ඉහතින් දැක්වූ බුද්ධ දේශනා ගැන ද අවධානය යොමුකොට යහපත් සෞඛ්‍ය පිළිවෙතක් ඇතිකර ගැනීමෙන් කායික හා මානසික වශයෙන් පීඩාවට පත්කෙරෙන උවදුරුවලින් වැළකිය හැකි වේ.

යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුත්තේ එය තමාගේ පමණක් නොව තමා හා ඇසුරේ සිටින සෙසු අයගේ ද යහපත සලකාගෙන ය. තමා අයහපතින් වැළකී සෙසු අය ද එයින් වළක්වා ගැනීමට යත්න දැරීම සත්පුරුෂයෙකුගේ ලක්‍ෂණය කි. ඒ අනුව යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුත්තේ තමාගේ යහපත ගැන පමණක් සලකාගෙන නොව අන්‍යයන්ගේ යහපත කෙරෙහිද සැලකිලිමත් වීමෙන් ය. කායික මානසික පවිත‍‍්‍රතාව මෙන්ම බාහිර භෞතික පරිසරයේ පවිත‍‍්‍රතාව ද බුද්ධ දේශනා මගින් අවධාරිත ය.

බෞද්ධ චින්තනය අනුගමනය කරන්නෙකුට පවිත‍‍්‍රතාව පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු අවබෝධ කරවීමේ අවශ්‍යතාවක් ඉස්මතු නොවේ. සෙසු ශ‍‍්‍රමණ බ‍‍්‍රාහ්මණයන් හා සැසඳීමේදී බෞද්ධ ශ‍‍්‍රාවකයාගේ පවිත‍‍්‍රත්වය කැපී පෙනෙන ලක්‍ෂණයක් ලෙස හඳුනා ගත හැකිබව කොසොල් රජු ප‍‍්‍රකාශ කළ අයුරු ධම්මචේතිය සූත‍‍්‍රයේ දැක්වේ. එසේම රෝග නිවාරණය සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි ප‍‍්‍රතිපත්ති රැසක් විනය පිටකයේ අන්තර්ගත වේ. එම පිළිවෙත් පිටක ග‍‍්‍රන්ථවලට පමණක් සීමා නොකර ක‍ි‍්‍රයාවට නැංවීම අවශ්‍ය වේ.

නිරෝගි බව උතුම්ම ලාභය ලෙස දැක්වූ බුදුරජාණන්වහන්සේ ආධ්‍යාත්මික මෙන්ම භෞතිකවත් නීරෝගි වීමට ඉවහල්වන ප‍‍්‍රතිදාවක් හඳුන්වාදී තිබේ. වර්තමාන මිනිසාට වැළඳෙන සෑම රෝගයකට ම මූලික හේතුව වන්නේ ඔහුගේ ක‍ි‍්‍රයාකාරිත්වය යි. මානව වර්ගයාගේ යහපත් සෞඛ්‍ය පිළිවෙත් කායික නීරෝගිබව රැකදීමට සමත් වුවද, මානසික නිරෝගි බව සඳහා තෘෂ්ණාව ආදිකොටගත් කෙලෙස් දුර්වලතා මුලිනුපුටා දැමිය යුතු වේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය මේ දෙ අංශයෙන්ම නිරෝගි පුද්ගලයෙකු නිර්මාණය කිරීම උදෙසා ය. අවසානයේ බුදු දහමින් අපේක්‍ෂා කෙරෙන්නේ විවිධ කායික හා මානසික රෝගවලින් ආතුර වූ මිනිසුන් අතර කායික හා මානසික වශයෙන් නිරෝගි අයෙකු නිර්මාණය කිරීම ය. ආතුර වූ මිනිසුන් අතර අනාතුරව වාසය කරන්නෙකැයි උදන් ඇනිය හැකිවන්නේ නුවණින් කටයුතු කරන තැනැත්තෙකුට පමණි.