Print this Article


ඇත්ත දකින්නා අලංකාරයට නො ඇලෙයි

ඇත්ත දකින්නා අලංකාරයට නො ඇලෙයි

ආත්ම සංවරයෙන් යුතු නො වන්නේ නම්, දුසිල්වත් නම්, කහ සිවුර පෙරවීමෙන් පලක් නොමැත. සර්වාභරණයෙන් සැරසී රහත් බවට පත් වූ උතුම් රජෙක් පිළිබඳ කථා පුවතක් අප අසා ඇත. සුදු ඇඳුම හෝ හිස මුඩු කිරීම රහත් බවට අත්‍යවශ්‍ය කාරණා නො වේ.

පිහිනුම් තරගවල දී ඇති විය හැකි බාධා මැඩලීම පිණිස හිස බූ ගා තිබීම වැදගත් වේ. එහෙත් නිවන් දැකීම, පිහිනීම හා සමාන නො වන අතර, කෙලෙස් නැති කිරීමෙන් නිවනට ළඟා විය හැකි ය. එසේ ම කෙලෙස් නැති කිරීම සඳහා වීර්ය වඩන්නා රාජාභරණ පැළැඳ සිටීම නිවනට බාධාවක් නොවේ. ආභරණ, කෙලෙස් නැති කිරීමට හේතු නො වුණත් කෙලෙස් වැඩි කිරීම උදෙසා භාවිත කළ හැකි ය. ඒ පිළිබඳ සරල උදාහරණයක් මෙසේ ය. අෂ්ට පරිෂ්කාර පූජා කරන කාන්තාවකට මහාලතාප්‍රසාදිනී වැනි ආභරණ ලැබී ඒවා සසුන වෙනුවෙන් පූජා කිරීමෙන් නිවන් දකින්නට හැකියාව ලැබෙන බව පැවසේ. සාමාන්‍යයෙන් කාන්තාව ආභරණ කෙරෙහි මහත් ලොල් බවක් දක්වන බව අප සැවොම දන්නා කරුණකි. එහෙත් මහාලතාප්‍රසාදිනී වැනි වටිනා ආභරණ ලබනුයේ අත්හැරීම පුරුදු පුහුණු කළ කාන්තාවන් ය. ඒ අනුව නිවන් දැකීම සඳහා එවන් වටිනා ආභරණ වූව ද බාධාවක් නො වන බව පැහැදිලි වේ.

බුදු දහම පෙන්වා දෙන අයුරු ද්‍රව්‍යාත්මක දෙයෙහි වටිනාකමට වඩා එහි ගුණාත්මක බව අගනා බව පැහැදිලි ය. එක් කලක විසූ සන්තති නම් ඇමතියෙක් එරට රජුට නිම කළ නො හැකි වූ යුද්ධයක් දිනූ හෙයින් සතුටට පත් රජු, දින හතක් සඳහා සියලු රාජාභරණ, සියලු වස්තුව, අන්තඞපුරය සහිත රජකම සන්තතිට බාර දුන්නේ ය. රජකම ලැබීමෙන් උද්දාමයට පත් සන්තති මංගල ඇතු පිට නැගී අන්තඞපුර ස්ත්‍රියක් සමඟ මහත් ආඩම්බරයෙන් වීථි සංචාරය කළේ ය. එම අවස්ථාවේ එ මග වඩිනා බුදුරදුන් දැක ඔහු ඇතු පිට හිඳ හිස පහත් කළේ ය. එවිට බුදුන් වහන්සේ සංඝයා වහන්සේලා අමතා “මහණෙනි, අද සවස සන්තති රහත් බවට පත් වන්නේ යැයි වදාළ සේක. මෙබස් ඇසූ පිණ්ඩපාතය බෙදීමට පැමිණි සම්‍යක් දෘෂ්ටික පිරිස අද බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ලීලාව දැකිය හැකි යැයි සතුටට පත් වූ අතර සියලු රාජාභරණ පැලැඳ සුරූපී ළඳක් හා ඇතුපිට යන රජෙක් රහත් වන්නේ යැයි ඇසූ මිථ්‍යාදෘෂ්ටික පිරිස අද බුදුන් වහන්සේ කට වරද්දා ගත්තේ යැයි සතුටට පත් වූ හ. එදින සවස සැවැත් නුවර ජේතවනාරාමය සම්‍යක්දෘෂ්ටික හා මිථ්‍යාදෘෂ්ටික දෙපිරිසගෙන් ම පිරී ගිය බව පැවැසේ. රට තුළ සංචාරය කළ ඇමතිතුමා හෙට රජකම බාර දිය යුතු බව කල්පනා කළේ ය. එහෙත් ඔහු සමඟ ගමන් කළ අන්තඞපුර ස්ත්‍රිය රජුට අන්තඞපුරයේ බොහෝ කාන්තාවන් සිටින හෙයින් ඇමැති සමඟ මිත්‍ර වීම වඩාත් යහපත් යැයි අදහස් කොට “සවස් යාමයේ පැවැති නැටුම් සන්දර්ශනයක දී වන්නම් එක දෙක කොට නෘත්‍ය දැක් වූ බව සඳහන් වේ. මහා උද්දාමයකින් රැඟුම් දැක්වීම නිසා ඇය මැරී වැටුණු අතර දින හයක් තමන් හා විසූ ස්ත්‍රියගේ මරණයෙන් සන්තති ඇමතිට සිහි එළවා ගත නුහුණු අතර, චිත්ත සන්තාපයට පත් වූ ඔහු රාජාභරණ සමඟින් බුදුන් වහන්සේ වෙත ගොස් සිය දුක පවසා සිටියේ ය. එහි දී බුදුන් වහන්සේ දෙසූ ධර්මය ශ්‍රවණය කිරීමෙන් සන්තති ඇමැති රාජාභරණ සහිතව ම රහත් බව ලැබුවේ ය. එහි දී රාජාභරණ නිවන් අවබෝධ කිරීමට බාධාවක් නො වූ නමුත්, භික්ෂූන් වහන්සේලාට සන්තතිගේ රහත් බව ගැටලුවක් විය.

යමෙක් අලංකාර වස්ත්‍ර - අභරණ අඳින නමුත් ඔහුගේ ආධ්‍යාත්මය පිරිසුදු කර ඇත්නම්. ඔහුට කෙලෙස් නසා රහත් විය හැකි බවත්, ඔහු ශ්‍රමණ හෙවත් බ්‍රාහ්මණ නැත හොත් භික්ෂු යනුවෙන් හඳුන්වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

නිවන් දැකීම පිණිස සැප අතහැර දැමිය යුතු යැයි වැරැදි මතයක් දරන බෞද්ධයෝ අප’තර සිටිති. නිවන් දැකීමට අත්හැරිය යුතු වන්නේ සැප නොව ක්ලේශයන් ය. දුක මෙන් ම සැප විඳින්නවුන් වෙත ද කෙලෙස් ඇති බව අරියපරියේසන සූත්‍රයේ දී අලංකාර නිදසුනක් ඉදිරිපත් කරමින් බුදුන් වහන්සේ පැහැදිලි කළ සේක. මුවන් ග්‍රහණය කරගැනීම සඳහා වැද්දන් ඇට වූ උගුල් මත තණ කා පැමිණෙන සමහර මුවන් උගුලේ නො පැටලී, ඒ මත නිදා සිටි වැද්දා පැමිණෙන්නට කලින් පැන දුවති. සමහර මුවන් තණ කා උගුලේ පැටලී සිටින අතර, සමහර මුවෝ තණ නො කා උගුලේ පැටලෙති.

“ඕදහි මිගවො පාසං” - “වැද්දා මද්ද දමා ඇත. (අප හැමට ද දැලක් එලා ඇති අතර, එකිනෙකා වෙනස් අයුරින් එම දැලේ පැටලෙති.)

“භුත්වා නිවාපං ගච්ඡාච කන්දනේතා මිගබන්ධකෙ” - වැද්දා හඬමින් සිටිද්දී මුවා තණ කා සිය ක්ෂේම භූමිය වෙත යයි. එමෙන් කෙලෙස් බරිත පුද්ගලයන් දැලෙහි පැටලී, සමාජය තමන්ට ගැටලුවක් කරගනිති. සමාජයේ පවතින ආකර්ෂණීය කාරණාවන්ට සමහරු යොමු වන අතර, යථාර්ථය දකින්නෝ අලංකාරයට නො ඇලෙයි.