Print this Article


අවංක සිතින් මෙත් මඩන්න සුවය ලැබෙයි

අවංක සිතින් මෙත් මඩන්න සුවය ලැබෙයි

 

“මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ
එ වම්පි සබ්බ භූතේසු
මානසං භාවයේ අපරිමාණං”

යනුවෙන් මෛත්‍රී සූත්‍රයෙහි වදාරා තිබේ. “දරුවාගේ යහපත පිණිස තමාගේ ජිවිතය වූව ද පරිත්‍යාග කරන්නා වූ එක් දරුවකු ඇති මවක ඒ දරුවාට ඇති හිතවත් බව බඳු වූ මෛත්‍රිය සකල සත්ත්වයන් කෙරෙහි පැවැත්විය යුතු බව එයින් දක්වන ලදී. එක දරුවකු ඇති මවකගේ ඒ දරුවාට හිතවත් බව ඇත්ත වශයෙන් ම ඇති අවංක හිතවත් බවෙකි. එසේ අවංක වූ මෛත්‍රිය වඩත හොත් එයට ලක් වන සත්ත්වයෝ සුවපත් වෙති. එය තමාගෙන් අන්‍යයන්ට ලැබෙන මෛත්‍රී ඵලය ය. “සුවපත් වෙත් වා, සුවපත් වෙත්වා” යි කීමෙන් හා සිතීමෙන් අන්‍යයන්ට සුවයක් නොවේ නම් එය හිස් වැඩකි. හිස් නොවන්නට නම් ඇත්ත වශයෙන් ම එයින් අන්‍යයන්ට සුවයක් ලැබිය යුතු ම ය. සත්‍ය වශයෙන් මෛත්‍රිය කරත හොත් එයින් අන්‍යයන්ට සුවයක් ලැබේ. බොහෝ සතුන් ලක් කොට කරන මෛත්‍රියෙන් ඒ සත්ත්වයනට ලැබෙන සුවය අත්‍යල්ප බැවින් එය නො දත හැකි ය. එක් පුද්ගලයකුට පමණක් වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් ඒ පුද්ගලයාට ප්‍රකට වන තරමට සුවයක් ලැබේ. හොඳට ම ප්‍රකට ව සුවය ලැබෙන්නේ රෝගාතුරයන්ට ය. යම් කිසි රෝගියකුට වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් එයින් ඔහුට ගුණ ලැබේ. සමහර රෝගියෝ එයින් ම සුව වෙති. එක් සත්ත්වයකුට මෙත් වැඩූ කල්හි එයින් සුවයක් ලැබෙනු දැකීමෙන් බොහෝ සත්ත්වයන්ට මෙත් කිරීමෙන් ද මෛත්‍රී චිත්ත ශක්තියේ සැටියට මඳ වූ සුවයක් නමුත් ලැබෙන බව පිළිගත යුතු ය. එය එසේ ම පිළිගෙන සත්ත්වයනට යහපතක් කිරීමේ අදහසින් යහපතක් කිරීමක් වශයෙන් මෙත් වැඩීම කළ යුතු ය.

(බෞද්ධයාගේ අත්පොත)