Print this Article


ත්‍රිිපිටක දහම-21:  නිවන ගැන වැරැදි මත

ත්‍රිපිටක දහම-21: 

නිවන ගැන වැරැදි මත

හේතු ඇති කල්හි හට ගැනීම දකින කෙනා කවදාවත් නෑ කියන අන්තයට වැටෙන්නේ නැහැ. එසේම හේතු නැතිවෙන කොට ඒ දේ නිරුද්ධ වෙලා යන බව දකින කෙනා, කවදාවත් තියෙනවා කියන අන්තය තුළ රැඳී සිටින්නෙත් නැහැ. ශාස්වෘතය සහ උජ්ඡේදය කියන මේ දෙකටම පිහිටා සිටින්නට තැනක් නැතිවෙලා තියෙනවා. ඒ නිසා නිරෝධයේ නිස්සරණාර්ථය තුළ තියෙන කොට, අපට තේරුම් ගන්නට ඕනේ, ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව නිසා, ලෝකයේ යම් කෙලෙස් පවත්වනවා නම්, ස්කන්ධ ටිකක් උපාදානය වශයෙන් පතිත කරගෙන පවත්වනවා නම්, ඊට අදාළ සියලුම භූමිය නිරුද්ධ කළ බව, භූමියෙන් මිදුණ බව, භූමියෙන් ඉවත්ව ගිය බව, නිස්සරණාර්ථය යනුවෙන් සඳහන් කරනවා.

ඒ නිසා නිරෝධයේ තිබෙන පළමු ලක්ෂණය වන්නේ ‘නිස්සරණට්ඨො’ යනුවෙන් සඳහන් කරන්නේ. ‘නිරොධස්ස නිස්සරණට්ඨො’ ඒ නිරෝධයාගේ නිස්සරණාර්ථය තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා, අපට මේ ධර්ම කාරණා ටික පැහැදිලි කරගන්නට. ඒ අවබෝධය නැතිනම්, අප මේ නිවන පිළිබඳ ව නිවැරැදි ව තේරුම් ගෙන නැහැ. මොකද? බොහෝ වේලාවට අපේ ඇත්තෝ නිවන පිළිබඳ වැරැදිවට අල්ලා ගන්නවා. ඇතැම් වේලාවට හිස් බව යනුවෙන්, මොකක්වත් ම නැති තැනක්, නිවන යනුවෙන් සිතාගෙන ඉන්නවා. සමහර වේලාවට සියල්ලම නැතිවෙලා යයි’ දෝ යනුවෙන් ඇතැම් කෙනෙක් බියෙනුත් සිටිනවා.

ඇතැමෙක් නිවන යනුවෙන් දිව්‍ය ලෝකයට පත් වුණා සේ අමුතු තැනකට පත් වීමක් දෝ’යි සිතනවා. මෙලෙස නිවන පිළිබඳ වැරැදි සංකල්ප ගොඩ නැගෙන්නේ ඇත්තටම නිරෝධය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසයි. ඒ නිසා නිවන යනුවෙන් සඳහන් කරන්නේ උත්තරීතර ඥාන දර්ශනයකින් ප්‍රත්‍යක්ෂ වන අවබෝධයක් ඇති කරගැනීමක් පිළිබඳව යි. අප ඉහත සඳහන් කළේ නිරෝධයේ ඇති නිස්සරණාර්ථය යි. අපට පුළුවන් විවේකාර්ථය, අසංඛතාර්ථ්‍ය, අමතාර්ථය ආදී ධර්මයන් පිළිබඳවත් සාකච්ඡාවට භාජනය කරන්නට.