Print this Article


මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථානය

130 වන ගුණ සමරු පින්කම පැවැත්වෙන පානදුර දිබ්බැද්ද

මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථානය

කළුතර දිසාවේ රයිගම් කෝරළයෙහි, තල්පිටි දෙබැද්දේ පානදුර බෞද්ධ නගරයෙහි දිබ්බැද්ද, මොරවින්න ග්‍රාමයෙහි රමණීය උස් බිමක පිහිටි සුධර්මාරාම පුරාණ විහාරය දර්ශනීය පුණ්‍ය භූමියකි.

එම විහාරස්ථානයේ විහාරාධිපති ව වැඩ විසූ නාහිමිවරුන්ගේ අපවත්වීම් අනුස්මරණය කිරීම සඳහා 1890 දී ආරම්භ කරන ලද වාර්ෂික ගුණ සමරු පින්කමේ 130 වැනි මහා පින්කම හා ඊට සමගාමීව පැවැත්වෙන පුණ්‍යෙීත්සවය මාර්තු මස 22 වන දිනට යෙදී ඇත.

පීක්කුලමේ සංඝරතන මා හිමි, පින්නවල ධම්මරතන මාහිමි, කහතුඩුවේ පඤ්ඤාරතන මා හිමි, දෙල්දූවේ ඤාණරතන නා හිමි, කරතොට වජිරබුද්ධි හිමි, ගොරකානේ පේමරතන නා හිමි, ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත කරතොට විමලරතන හිමි, පරණගම සෝමාලංකාර නා හිමි, වඩුමුල්ලේ විපස්සි හිමි, පැලෑනේ සද්ධම්මවංශ නා හිමි යන අපවත්වී වදාළ යතිවරයන් වහන්සේලා ලේඛනගත ව ඇත.

අති මහත් ශාසනික මෙහෙවරක් සිදු කරමින් වැඩ වාසය කළ පීක්කුලමේ සංඝරතන මා හිමියන් 1855 දී අපවත් වීමෙන් පසු 1889 දක්වා පින්නවල ධම්මරතන නාහිමියන් අධිපතිත්වය උසුලන ලද හ. ඉන්පසු කහතුඩුවේ පඤ්ඤාරතන මා හිමියන් වෙත චතුර් විහාරාධිපතිත්වය හිමි වූ අතර, සුධර්මාරාම පුරාණ විහාරයේ සදහම් ආලෝකයට පහන් වැටක් වූ සිරි සුගතශාසනශෝභන ධම්මවිනයාචාරිය දෙල්දූවේ ඤාණරතන අධිකරණ නාහිමියන් 1890 සිට සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ නේවාසික ව වැඩ හිඳිමින් ශාසනාභිවෘද්ධියට සේවාවක් සිදු කළහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු සිරි සද්ධම්ම කිත්සිරි විනයාචාර්ය ගොරකානේ පේමරතන අධිකරණ නා හිමියන් චතුර් විහාරාධිපතිත්වයට පත්වූහ.

1924 ජූලි 16 වැනි දින ‘සුභද්‍රෝදය තරුණ සමිතිය’ පිහිටුවන ලද අතර, 1925.06.07 වැනි දින පොසොන් අසිරියේ ආශිර්වාදය ලබා ‘සුභද්‍රෝදය දහම් පාසල’ කටුමැටි ගෙපැලක ආරම්භ කරන ලද බව විහාරස්ථ වංශ කතාව කියයි. 1949 ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිගේ විචිත්‍ර ධර්ම දේශනාව පැවැත්වීම, දහම් පාසල් ගොඩනැගිල්ලක් සෑදීම, 1950 පෙබරවාරි 12 වැනි දින පළාත් පාලන කොමසාරිස් වී.සී. ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීම, “සුභාෂෝදය ප්‍රජා මණ්ඩලීය ක්‍රීඩා සංගමය” පිහිටුවීම, බෞද්ධ නාට්‍ය රඟ දැක්වීම, බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීමේ චාරිකා පැවැත්වීම, වාර්ෂික සංවත්සරික උත්සවයට සමගාමීව ත්‍යාග ප්‍රදානෝත්සව අඛණ්ඩව පැවැත්වීම, ගුණ සමරු පින්කම් හා වාර්ෂික දානමය පින්කම පැවැත්වීම, සද්කාර්යයන් අතරින් බිඳක් පමණි. විහාරස්ථානයේ ආලෝකමත් වකවානුවක් ලෙසත්, දෙල්දූවේ ඤාණරතන නාහිමි සහ ගොරකානේ පේමරතන නාහිමි යුගය ප්‍රෞඪ අභිමානවත් කාලයක් වූ බව පෙනේ.

ගොරකානේ පේමරතන අධිකරණ නාහිමියන් අපවත්වීමෙන් පසු පරණගම සෝමාලංකාර අධිකරණ නා හිමියන් චතුර් විහාරාධිපතිත්වයට පත් වී සුධර්මාරාම පුරාණ විහාරයේ අභිවෘද්ධිය උදෙසා අමිල සේවයක් ඉටු කරන ලදහ.

සුධර්මාරාම පුරාණ විහාරය ප්‍රධාන විහාරස්ථාන සතරේ වැඩවසන සියක් නමකට අධික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ගුරු දේවෝත්තම සුමන නා හිමියන්ගේ නිවැරැදි නායකත්වයෙන් අනුශාසකත්වයෙන් සසුන් කෙත පොහොණි කිරීම සඳහා කරනු ලබන ශාසනික මෙහෙවර අතිශයින්ම අගය කළ යුතු ය.

සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමය, දහම් පාසල් සංවර්ධන සමිතිය, සුධර්මා උපාසක උපාසිකා කුළඟන සමිතිය, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන්, සතරපේරුවේ දායක පින්වතුන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් ගුණ සමරු පුණ්‍යොත්සවය සහ සියක් නමක් විෂයෙහි පූජා කෙරෙන මහා සාංඝික දානය විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අධිකරණ සංඝනායක දෙල්දූවේ සුමන නා හිමියෝ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමඟ එක් ව කටයුතු සංවිධානය කර ඇත.