Print this Article


පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

අඳුරටම ගියා...

ලොව ඇති සියලු යසිසුරු පිඬකට සකසා
දුන්නත් බලා යනු ඇත මොනවද විමසා
වැටුණත් බිමට දඹරන් සඟවනු වරුසා
සෑහීමකට පත් නොම වෙනු ඇත මිනිසා

හටගත් සියලු දේ වැනසෙන සුළුය කියා
වදහළ සේක ඒ තිලොවග තිලක පියා
තරකොට බෙදාගෙන මෝහය නමැති තැන
මිනිසා විසින් අඳුරෙන් අඳුරට ම ගියා


පන්සලට එනවිට...

පන්සල වෙත එනවිට සුදු ඇඳුම් අඳින්න
පාට ඇඳුම් ඇඳලා පන්සලට නො යන්න
කොටට නැතිව දිගට ඇඳන් පන්සල් යන්න
සංවර ඇඳුමේ අගය මෙය බව දැනගන්න


පහන් සිතිවිලි

තරහව පාලනය කරගත යුතු නිතර
අනෙකා නුරුස්සන ගති එහි ඇත පැතිර
මෝහය උඩඟුවීමෙන් උපදින අතර
මෙත් සිත පැතිරවීමයි ඇවසිම සුතුර

පාටෙන් රුවෙන් මිනිසා හඳුනත හැකිද
මෙත් සිත පුන් සඳක් මෙන් සොමිබර නොවෙද
සසලවු සිත් නිවන්නට ඉවසුම වැළඳ
සංහිඳියාව ඇති කරගත යුතු නිබඳ


මුහුණු පොත

එදා මෙදා ලොව තොරතුරු හෙලි කරනා පොත
සදාචාර වැනසීමට මඟ පාදන පොත
මුදා හරින අසැවේ දසුන් රඟ දක්වන පොත
මෙදා අපේ දරු පරපුර රවටන්නේ මුහුණු පොත


දහමට පැහැදෙයි

යොදුනක් ගැඹුරට දම් කඳ රැවු දෙයි
සවනක් බුදු රැස් අහසර විහි දෙයි
සම්බුදු දහමින් ලොවම එළිය වෙයි
සම්බුදු වදනට අප හැම පැහැ දෙයි

තිලොවග හිමිගේ දම් කඳ රැවුදී
සෑම දෙනෙකුගෙ සිත හැම පැහැදී
දහම නිසා හැම සතුටින් හිනැහී
සාධු වඳීමු දහමට හැම පැහැදී


සිත සනසන පුවත්පත

බුදු හිමි ගුණ සුවඳ දස අත පතුරන්නේ
බොදු දන සිතට දම් සිසිලස ගෙන එන්නේ
උත්තම බුදු දහම සැමදා දිනවන්නේ
'බුදු සරණ' පුවත් පත හදවත් සනසන්නේ


පා පියුම් වඳිමි

බරණැසෙහි වැඩ සිට-සිව්සස් ලොවට හෙළි කොට
පසක් කළ සත හට-සනසවාලු යවා නිවනට
හැර පියා රජ සැප- මරුවා කෙරෙහි වී කැප
ඇර නිවන් දොර සිප-විවර කරමු දෙනෙත ගේ අප

අනු දැන මග නිවන-ඉන්නට තිබිය දී පින
නැත කළේ එලෙසින-අප ද ගොඩ කර ලූහ සසරින
සුන්කර බවයෙ ගිම්-ළංකර නිවන අම දම්
තුන්දොර සංවරව පා පියුම වඳිනෙම්

රන්වල ඒ. බී . විජේරත්න


ඉහළ මල්

ඉහළ පිපි මල්
කිසිවක් නොසිතුවත්
පහළ පිපි මල් සිතයි
නුඹලා ඉහළ යන්නට කලින්
අපත් ඉහළයි සිටියෙ


පන්සිල් රකිමු

පන්සිල් පද රකින්නට බුදු හිමි දෙසුවා
නිවනට යන මගට සිල් පද මුල පිරුවා
මනුසත් කමේ නියමිත ඵලයම නෙළුවා
එය රැක ගත් මිනිසා මෙලොවම දිනුවා


සඟ ගුණ අපමණ ය

ගෞතම බුදුන් දෙසූ මහ සරු දම් කන්ද
පහදා දෙමින් මිනිසුන් හට දුක් වින්ඳ
සසර කෙටි කරන්නට මහ බැමි බින්ඳ
මහ සඟ සොබන වඳිනෙමි බැතියෙන් නන්ද

රැකගනු මැනවි සම්බුදු සසුනත් අපව
සසරින් ගොඩ කරනු මිනිසුන් දුක් විඳින
අයදිමි සමා වරදක් වූවොත් සිතින
දහමින් බඳීනු මැන හිමියනි මිනිස් හද


කිසා නම් ඈ

සුර සැප විඳින මුත්
සඳළු තලේ සිරවී
ඈත බලා සිටින
කිසා නම් ඈ
දුටුවා එක් දිනක්
එක් රුවක්
පාළුව කාන්සිය
ශෝකය වේදනාව
කැටිකොට
ඈ තුළින් ගලා ගියා
නිබ්බුත පද දිගේ
මහ මගට


මව්පිය අගය

මව්පිය දෙපළ වඳිනව නම් උදේ හවා
හිස නමනවා ඒ දරුවට දෙවියො පවා
දෙවියන් දකිනවා ඒ දෙස උදය හවා
කරදර විපත් නෑ හැමදා ජයම තමා

මව්පිය අගය දරුවන් හරි දන්නව නම්
මහලු මඩම්වල මව්පියෝ ඉන්නව නම්
මව් පියො අඬන කඳුළැලි එක්කරනව නම්
සෝදල හරින්නට පුළුවන් මහලු මඩම්


කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.