Print this Article


පූජාච පූජනියනං

රත්මලානේ සිරි සුනීත අනු නා හිමි

රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය ප්‍රමුඛ තදනුබද්ධ විහාර ගණයේ ආධිපත්‍යය උසුලන අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක, රත්මලානේ සිරි සුනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් ජීවමාන ව ප්‍රකට කරමින් වැඩසිටින ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි කා අතරත් බෙහෙවින් සම්භාවනාවට ලක්ව වැඩ වෙසෙති.

රත්මලානේ සිරිසුනීත අනුනාහිමි රත්මලානේ නිගමුනි වීරබට් මෙන්ඩිස් මහෝපාසක මහතාණන්ගේ හා මඩවිට විතානාරච්චිගේ මේරී මාතාවගේ පුත්‍රයෙකු ලෙස 1958 පෙබරවාරි 21 වැනි දින ජන්ම ලාභය ලැබීය. රත්මලාන රෝමානු කතෝලික පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලත් අතර 1972 මාර්තු 16 දින රත්මලාන මහින්දාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. එහි දී සිරිසුනීත අනුනාහිමියන්ගේ ආචාර්යවරයා වූයේ රත්මලානේ ශ්‍රී මහින්දාලෝකාභිධාන බස්නාහිර පළාතේ සම්මාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ගල්කිස්සේ සුමංගල නාහිමියෝ උපාධ්‍යායන් වහන්සේ වූහ.

අම්බලන්ගොඩ රන්දොඹේ ශික්ෂාලංකාර මහ පිරිවෙනින් ධර්ම විනය, භාෂා ශාස්ත්‍රය මැනවින් හදාළහ. 1978 ජුනි 18 වැනි දා මාදු නදී ස්වේජින් සීමා මාලකයේ දී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ අතර එහිදී එවකට තත් නිකායෙහි මහානායක ව වැඩ සිටි කොස්ගොඩ ධම්මවංස මහ නාහිමි සිරිසුනීත අනුනාහිමියන්ගේ උපාධ්‍යායන් වහන්සේ වීමද සුවිශේෂී සිදුවීමකි.

1975 දී රත්මලානේ ශ්‍රී පුෂ්පාරාමස්ථ ධම්මාධාර දහම් පාසලත්, 1983 දී පයාගල සූරිය බණ්ඩාර දහම් පාසලත් ආරම්භ වූයේ අනුනාහිමියන්ගේ පුරෝගාමීත්වයෙනි. නොදියුණු තත්ත්වයේ පැවති විහාරස්ථාන ගණනාවක් සංවර්ධනය කිරීමෙහිලා අනුනාහිමි දැක් වූ නායකත්වය ද මෙහිදී වෙසෙසින් ඇගයිය යුතු ය. රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ වත්මන් සංවර්ධනයේ නියමුවාණන් ලෙසද උන්වහන්සේ හඳුන්වා දිය හැකි ය. රත්මලාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස ද ක්‍රියා කළ උන්වහන්සේ රත්මලාන තරුණ බෞද්ධ සංගමය, ප්‍රජා මණ්ඩලීය බෞද්ධ සංගමය ඇතුලු පොදු සංවිධාන රැසක අනුශාසක ලෙස ද සුවිශාල සමාජ සේවාවන් රැසක් සිදු කරති.

ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, ප්‍රංශය, මැලේසියාව, ඉතාලිය, තායිලන්තය, සිංගප්පූරුව, මියන්මාර්, ඉන්දියාව, නේපාලය, ඕස්ට්‍රේලියාව, සයිප්‍රස්, ඩුබායි ඇතුලු රටවලට වැඩමකළ රත්මලානේ සිරි සුනීත අනුනාහිමි එකී රටවල ආගමික හා සංස්කෘතික වැඩසටහන්වලට සහභාගි වෙමින් ඒ තුළින් ලබාගත් අත්දැකීම් සම්භාරයකින් ද යුක්ත ය.

ශතාධික සංඝගත දක්ෂිණාවක් අප්‍රේල් 02 වනදා රත්මලාන ශ්‍රී පුෂ්පාරාමයේදී පැවැත්වේ.


කොස්ගම විනීතජීව හිමි

ඉඹුල්පේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී ර/ඉඹුල්පේ ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති බෙලිහුල්ඔය ශ්‍රී සුවිසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කොස්ගම විනීතජීව ස්වාමීන්ද්‍රයාණෝ ජාතික හා ආගමික කටයුතු වෙනුවෙන් ඇප කැප වන පූර්වාදර්ශී තරුණ යතිවරයන් වහන්සේ නමකි. බෙලිහුල්ඔය ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානය පළාතේ ඉතාම දර්ශනීය විහාර සකලාංගයන්ගෙන් යුත් පුණ්‍ය භූමියක් බවට පත් කරන්නට ක්‍රියා කළහ.

ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අපවත් වී වදාළ ගැටඅරළුවේ ධම්මරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපස්ථායකයාණන් වහන්සේ ලෙස කොස්ගම විනීතජීව හිමියන් හැඳින්විය හැකි ය. 1966 දී ඌව කොස්ගම වලව්වේ උපන් කුමරුවා ඉහළ ගලගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට 1977 දී පැමිණ වර්තමාන අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාසන සෝභන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය පල්ලෙවෙල විසුද්ධාජීව නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පසුව අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි භූමියට පත්විය. පැවිදි දිවියට අවශ්‍ය කරන මූලික අධ්‍යාපනය තම ගුරු පියාණන් වහන්සේගෙන් පාලි, සංස්කෘත, සිංහල, ඉංගී‍්‍රසි ආදී භාෂාවන් ප්‍රගුණ කළ අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙනට ඇතුලත් විය. එහිදී උසස් අධ්‍යාපනය සඳහා පරිවේණාධ්‍යක්ෂ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සෙවණ ලබා ඉන් අනතුරුව 1986 දී නිට්ටඹුව ශාරිපුත්‍ර විද්‍යා පීඨයට තේරී පත් විය. කොස්ගම විනීතජීව හිමියෝ උගත යුතු බණ දහම් සපුරාලීමෙන් අනතුරුව 1988 දී උපසම්පදාව ලබා ගත්හ. 2000 වර්ෂයේ සිට වසර විස්සකට අධික කාලයක් ඉඹුල්පේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධූරයට නිතරගයෙන් ම පත් වීමෙන් අනතුරුව ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය නංවාලීමට දිවා රෑ අපමණ වෙහෙසක් ගෙන ක්‍රියා කළහ.

දීර්ඝ කාලයක සිට දහම් දැනුම සමාජයට දායාද කරනු වස් ජාතික පුවත්පත්, සඟරා ආදියට ලිපි සපයනවා පමණක් නොව අනාගත පරපුර වෙනුවෙන් බෞද්ධ පොත්පත් රාශියක් මුද්‍රණය කර ග්‍රන්ථකරණයෙහි ද යෙදෙන යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ජනතාවගේ ගෞරවාදරයට පත්ව ඇත. ගුවන්විදුලිය, රූපවාහිනිය ආදී මාධ්‍යයන්හි ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ධම්ම චින්තා ආදිය පමණක් නොව විචිත්‍ර පිරිත් දේශකයාණන් වහන්සේ නමක් ලෙස ජනාදරයට පත්ව ඇත. ථේරවාදී බෞද්ධ දර්ශනය ලොවට හඳුන්වා දීමට ජපානය, සිංගප්පූරුව, බුරුමය, කාම්බෝජය වැනි දේශ දේශාන්තරවලට ද වැඩම කර ධර්ම ප්‍රචාරක කටයුතු වල නියැළෙනු ඇත. ආගමික, ජාතික වැඩසටහන්වල නියැළෙන විනීතජීව හිමියෝ සමස්ත ලංකා සාමවිනිසුරු පදවියෙන් ද පිදුම් ලබා ඇත. සසුන් කෙත බබළවන මෙම යතිවරයාණන් වහන්සේගේ පනස් හතරවන ජන්ම දිනය සමරමින් අටවිසි බුද්ධ පූජා, ධර්ම දේශනා ආදී පින්කම් රැසක් පවත්වා මෙතෙක් කළ සේවාවන් වඩාත් පුළුල් ව සිදු කිරීමට ශක්තිය හා ධෛර්යය තෙරුවන් සරණින් ලැබේවා