Print this Article


අවාසනාවන්ත කවුද?

අවාසනාවන්ත කවුද?

දෙව්රම් වෙහෙර බලා වඩින මේ භික්ෂූන් වහන්සේලා පිරිස තවත් දිනෙක නැව් නැගීමට නැව් තොටට පැමිණියා. නැව් නැගී යන විට නැව එක් වර ම මහ මුහුද මැද නැවතුණා. ' මේ නැවේ කවුරු හෝ කාලකණ්නි, අවාසනාවන්ත කෙනෙක් ඉන්නවා.'

පිරිස කතා වුණා. ‘ ඉතින්, එදා සමාජයේ නාවිකයන් මේ අවාසනාවන්ත පුද්ගලයා කවුද කියලා බලන්න සිදුකළ ක්‍රමවේදයක් තිබුණා. මුලින් ම විශාල හැළියකට වතුර පුරවනවා. ඒ හැලියට නැවේ ගමන් කරන ඒ ඒ පුද්ගලයන්ගේ නම ලියූ කොළ කැබැල්ලක් දමනවා. එය වතුර යට ගියා නම් අන්න, ඒ පුද්ගලයා අවාසනාවන්තම පුද්ගලයා බවට පත් වෙනවා. ඉතින් මේ නැවේ හැමෝගෙම නම් ලියලා එම කඩදාසි කැබැලි හැළියට දම්මා.

මේ නැවේ, නැවියාගේ බිරිඳත් සිටියා. ඇය ද තමන්ගේ නම ලියූ කඩදාසිය අර දිය හැළියට දැම්මා. දරුවනේ, දන්නවාද මොකද වුණේ කියලා. නැවියාගේ බිරිඳගේ නම ලියූ කොළය තමයි වතුර යටට ගියේ. ඉතින් තුන් වතාවක් ම එය සිදු කළා. තුන් වතාව ම ඇය ලියූ කඩදාසිය වතුර යටට ගියා.

දැන් මොකද කරන්නේ? එක් අයෙක් නිසා සියල්ලන්ගේ ම ජීවිත විනාශ වීමට ඉඩ දීමට නො හැකි යි. නැවියා කල්පනා කළා. බොහොම දුකෙන්. වේදනාවෙන් වුවත් ඇය මුහුදට දැමීමට තීරණය කළා. හඬමින්, වැළපෙමින්, දිය යට යමින් , නැවත උඩට එමින් ඇය මිය යනවා බලන්නේ කෙලෙසද? නැවියා කල්පනා කළා. ‘වැලි කළයක් ගෙලෙහි එල්ලා දියට දමන්න. එවිට එක්වරම ඇය දිය යට ගිලී යයි. ‘ සමහරු උපදෙස් දුන්නා.

වස්ත්‍රාභරණ සියල්ල ගලවා, රෙදි කඩක් පමණක් අන්දවා, ගෙලෙහි එල්ලන ලද වැලි කළය සමඟ තමන්ගේ ස්වාමි දියණිය මුහුදට දැමුවා. ඉන්පසු නැව කිසිම අපහසුවකින් තොරව නැවත ඉදිරියට ගමන් කළා.

නැව් නැගී යන භික්ෂූන් වහන්සේලා මේ සිදුවීම දුටුවා.

’අනේ! මේ කාන්තාව පෙර කළ අකුසලය කුමක් ද දන්නේ නෘ. බුදුරජාණන් වහන්සේ තමයි මේ ගැන දන්නේ. අපි උන්වහන්සේගෙන් මේ ගැන අසා දැන ගනිමු’.

උන්වහන්සේ කථිකා කර ගත්තා. දරුවනේ, දෙව්රම් වෙහෙර බලා යන භික්ෂූන් වහන්සේලා තවත් පුදුම සහගත සිදුවීම්වලට මුහුණ දුන්නා. මේ හැම සිදුවීකටම පෙර අන් භවයන්හි කළ කර්මයන් හේතු වුණා. ඒ පිළිබඳව එළඹෙන පුර අටවක පෝදා පුවත්පතින් කියවමු.