Print this Article


 නිරෝගී බව තීරණය කරන ජීවන රටාව

 නිරෝගී බව තීරණය කරන ජීවන රටාව

 

ප්‍රඥාවෙන් ඇති කර ගන්නා යහපත් සිතිවිලි නිසා සිතෙහි තැන්පත් බව හටගනී.

මෛති‍්‍රය, කරුණාව වඩන, සාමකාමී හදවත් ඇති පුද්ගලයින් සිටින සමාජයක කිසිවකුට වරදක් සිදු වන්නේ නැත.

ගුණ ධර්ම පහළ යන විට භයානක රෝග ඇතිවන ආකාරයත්, ලෝක විනාශය වෙත යන ආකාරයත් සූත්‍ර දේශනා මඟින් පෙන්නුම් කර ඇත.

නිරෝගීකමට හේතු වන ප්‍රධානතම සාධකයක් වන්නේ නිවැරැදි ආහාර රටාවන් ය.

තණ්හා, දිට්ඨි හා මාන යන අකුසල ධර්මයන්ගෙන් ලෝකයටම සිදුවන විනාශයන් ගැන අපි පසුගිය සතියේ කතා කෙළෙමු. වර්තමානයේ අප මුහුණ දී සිටින කොරෝනා වසංගතය එහි එක් ප්‍රතිඵලයක් බව ද අපි දනිමු.

බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ගුණාංගවලින් මිනිසා ඉවත් වන විට සිදු වන්නේ විපතට පත් වීම බව බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

විශේෂයෙන් ම දිට්ඨිය හෙවත් දැකීම යන්න අප නිවැරැදි ව වටහා ගත යුතු ය. එහි දී අප අවබෝධ කරගෙන කටයුතු කළ යුත්තේ සම්මා දිට්ඨියෙන් යුක්තව ය.

සම්මා දිට්ඨිය යන්න ගැන සිවු ආකාරයකින් විමසා බැලිය යුතු ය.

එනම් සම්මා දිට්ඨිය ආරෝග්‍ය අර්ථයෙන්, අනවද්‍ය අර්ථයෙන්, ඉෂ්ට විපාක අර්ථයෙන්, හා කෝසල්ල සම්පජඤ්ඤ අර්ථයෙන් විමසා බැලිය යුතු ය.

එසේ විමසා බැලීමේ දී එහි පළමු විග්‍රහය වන ආරෝග්‍ය අර්ථයෙන් ගත්විට, නිරෝගි බව රැක ගැනීම පිණිස සම්මා දිට්ඨිය යොදා ගැනීමට කුමක් කළ යුතු ද යන්න විමසීම වටී. එනම් දන් දීමෙහි විපාක නැත, මවක් නැත, පියෙක් නැත, යනා දී දුර්ගුණයන්ගෙන් දුරස් වී සම්මා දිට්ඨියට අයත් දන්දීමෙහි විපාක ඇත, මවක් ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත යනාදී ලෙසින් සිතා කටයුතු කිරීමයි.

බෞද්ධ සමාජයේ මේ ගුණාංග වැඩීම තුළින් නිරෝගිකම නිතැතින් ම ඇති වේ. විශේෂයෙන් ම සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප යන්න අයත් වන්නේ ප්‍රඥාවටයි. ප්‍රඥාවෙන් ඇති කර ගන්නා යහපත් සිතිවිලි නිසා සිතෙහි තැන්පත් බව හටගනී. ඒ නිසා යහපත්, උසස් සිතිවිලි උපදී. ඒ අනුව ලේ ධාතුව පිරිසුදු වේ. ලේ ධාතුව පිරිසුදු වීම නිසා එම පුද්ගලයාගේ ආයුෂ, වර්ණ, සැප, බල වැඩි වේ.

මෛති‍්‍රය, කරුණාව වඩන, සාමකාමී හදවත් ඇති පුද්ගලයින් සිටින සමාජයක කිසිවකුට වරදක් සිදු වන්නේ නැත.

මිථ්‍යා දෘෂ්ටියෙන් ඈත් වී සම්මා දිට්ඨියට යොමු වූ විට බණ භාවනාවන් වෙත අප නිතැතින් ම යොමු වේ. එහිදී ඇති වන සිතෙහි තැන්පත්කම නිසා ද නිරෝගී බව වැඩි වේ.

බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් දේශනා කර වදාළේ ලෝකය බිහි වූ හැටි මෙන්ම ලෝකයේ දුර්ගුණ වැඩි වන විට ලෝකය විනාශය කරා යන ආකාරයයි.

ගුණ ධර්මයෙන් පිරිහුණු මිනිසා අදත්තාදානය, ප්‍රාණ ඝාතය, කාමයෙහි වරදවා හැසිරීම් සිදු කරන විට අවුරුදු 80000ක පරමායුෂ අවුරුදු 40000ක් දක්වාත් , පසුව අවුරුදු 20000ක් දක්වාත් පහළ යන අයුරුත් අවසානයේ පරමායුෂ අවුරුදු 10 දක්වා පහළ යන ආකාරය ද එහිදී පෙන්නුම් කෙරේ. ලෝකයේ ගුණ ධර්ම පහළ යන විට භයානක රෝග ඇතිවන ආකාරයත් ලෝක විනාශය කරා යන ආකාරයත් සූත්‍ර දේශනා මඟින් පෙන්නුම් කර ඇත.

මිනිසා නැවත කරුණාව, දයාව මෛත්‍රිය වැනි ගුණ ධර්ම පෝෂණය කරන විට ක්‍රමයෙන් ආයුෂ වැඩි වන ආකාරය බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත.

සම්මා දිට්ඨිය "අනවජ්ජ" අර්ථයෙන් සලකා බැලූ කල නිවැරැදිව ජීවත් වීම යන්න ගැන අපට විමසිය හැකි ය. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත හා සම්මා ආජීව ගැන විමසා බැලිය යුතු ය.

‘මඳක් සිතා බලන්න, රළු වචන කතා කිරීමේ දී අපගේ කයට දැනෙන අපහසුව ගැන‘ එසේම මෘදු වචන පැවසීමේ දී දැනෙන සැහැල්ලුව ගැනත් සිතා බලන්න. එමෙන්ම ති‍්‍රවිධ කාය දුශ්චරිතයෙන් දුරස් වී, නොකළ යුතු වෙළෙඳාම්වලින් වෙන් ව දිවි ගෙවන කල අන් අයටත්, තමාටත් සිදු වන්නේ යහපතක් මිස අයහපතක් නොවේ. ඒ ගැන අවධානය යොමු නොකිරීම මේ විපත්වලට මුල් වී ඇති බව පැහැදිලි ය.

සිඟාලෝවාද සූත්‍රයේ පවා බුදුරජාණන් වහන්සේ විසින් මේ කරුණු දේශනා කර වදාළ සේක.

එසේම ඉෂ්ට විපාක යනුවෙන් අපට හඳුන්වා දිය හැක්කේ තමන් බලාපොරොත්තු වන යහපත් දේ ඉෂ්ට අර්ථයෙන් ඉටු කර ගැනීමයි. අපි යහපත් දිවියක් ගත කරන්නට බලපොරොත්තු වන්නේ නම් කිසි විටෙක අනිටු විපාක ඇති වන කි‍්‍රයාවන් සිදු නොකරයි. නියම බෞද්ධයන් තවත් අයකුගේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ නැත. මෛති‍්‍රයේ අනුසස් දන්නා හෙයින් නිවන් දැකීම දක්වාම ඒ ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අර්ථයෙන් ම කටයුතු කරයි. එහි ප්‍රතිඵල අපට සැබැවින් ම දැකගත හැකි ය.

පුද්ගලයන් පුරුදු පුහුණු කර ඇති දේ ඇතැම් විට අපට මේ ආත්ම භවයේ දී ම දැකිය හැකි ය. වයස අවුරුදු 6ක් හෝ 7ක් වන ඇතැම් දූ දරුවන් කුඩා කල සිට ම ආගමට දහමට ඉතා ලැදි ය. ඔවුන් ගුණධර්ම ඉතා හොඳීන් ප්‍රගුණ කරයි.

එහෙත් ඇතැම් වියපත් අයට කෙතරම් ගුණ දහම් පහදා දුන්න ද ඔවුන්ට ඒ ගැන දැනීමක්, දැක්මක් නැත. අප පෙර සඳහන් කළ කුඩා දරුවන් සසර පුරා ඉෂ්ට සිද්ධ කර ගත් ගුණ ධර්ම නිසා එසේ කටයුතු කරයි.

"කෝසල්ල සම්පජඤ්ඤ" යනු තමන්ගේ කටයුතු නුවණින්, එසේත් නැත්නම් ප්‍රඥාවෙන් යුක්ත ව කිරීමයි. නිසි පරිදි කල්පනා කරමින් කළ යුතු, සුදුසු ම දේ පමණක් තෝරා බේරාගෙන කටයුතු කිරීම ඔස්සේ ඉදිරි මඟ පාදා ගත හැකි වේ.

ඒ සියල්ලටම හේතු සාධක වන්නේ තමන්ගේ සිත් තුළ උපදනා සිතිවිලි ය.

එසේම ලෝකයේ නිරෝගීකමට හේතු වන තවත් ප්‍රධානතම සාධකයක් වන්නේ නිවැරැදි ආහාර රටාවන් ය. ලෝකයේ බොහෝ රටවල ආහාර ගැනීමේ වේලාවක් රටාවක් ඇත. එහෙත් අපේ රටේ එසේ නිවැරැදි ආහාර රටාවක් තිබෙන්නේ ද යන්න ද විමසා බැලිය යුතු වේ.

උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ නම්, ජපානයේ ජනතාව උදයෙන් ම ආහාර ලබා ගැනීම සිදු කරන්නේ ශරීරයට අවශ්‍ය සුදුසුම ආහාර වේලක් ය. ඒ ආහාරයට බත් සැලකිය යුතු ප්‍රමාණයක් එළවළු හා සුප් එකක් වැනි ආහාරයක් ගන්නේ රාති‍්‍රය මුළුල්ලේ ම කුසගින්නේ සිට ගත යුතු ආහාරය ශරීරයට පරිපූර්ණ ලෙසින් ගත යුතු නිසා ය. එමෙන් ම දිවා කාලයේ කුමන රැස්වීමක්, කුමන විශේෂිත අයකු සිටිය ද, අනිවාර්යෙන් ම දහවල් 12ත් 1.00ත් අතර දිවා ආහාරය ලබා ගනී.

එමෙන් ම පස්වරු 6.00 වන විට රාතී‍්‍ර ආහාරය සූදානම් ය. එය රාතී‍්‍ර 7.00 පමණ වන විට ලබා ගෙන අවසන් ය. ඔවුන් නිදා ගන්නේ ඇතැම් විට රාතී‍්‍ර 10.00ට පමණ වන්නට ඇත. එසේ වුවත් ආහාරය ගෙන පැය කිහිපයක් යම් හෝ කාර්යයක නියැළී සිටින්නට ඉඩ ඇත.

අපේ රටේ ආහාර රටාව කුමක්ද? ඇතැම් විට පාසල් දරුවන්ට උදෑසන ආහාරය බනිස් ගෙඩියකි. දිවා කාලයේ නිසි ආහාරයක් නොමැති ව, යළිත් ටියුෂන් පංතියට දුවති. රාතී‍්‍ර ආහාරය ඇතැම් විට රාතී‍්‍ර 10.00ට පමණ ය. මේ ලෙසින් නිවැරැදි නිරෝගීමත් දරුවන් බිහි වන්නේ කෙසේද? අපේ රටේ තිබෙන්නා වූ යම් හෝ වාසනාවකට දරුදැරියන්ගේ සාක්ෂරතාවය ඉහළ නැඟ ඇතත්, නිරෝගී දරු පරපුරක් බිහි කර ගැනීම අපහසු ය. දරුවන්ට විනාඩි 10ක් හෝ සිටගෙන සිටීමට අපහසු ය. රෝගාබාධ වැඩි ය. ජපානයේ වයස අවුරුදු 100 ඉක්ම වූ වැඩිහිටි පිරිස් ලක්ෂ 10කට වඩා සිටිති. ඒ නිරෝගිමත් පරපුරක් ලෙස දිවි ගෙවන්නට අවශ්‍ය පරිදි කටයුතු කළ නිසා ය. අපේ රටේ එසේ නොවන්නේ අප බුදු දහමට එකඟව කටයුතු නොකරන නිසා ය. බුදුරජාණන් වහන්සේ අලුයම් කිස පැසුළුයම් කිස ආදී වශයෙන් දිනචරියාවක් ගත කළ ද අප යොමුව ඇත්තේ අක්‍රමවත් ජීවන රටාවකටය. එවන් තත්වයක් තුළ ශාරීරික ඉන්ද්‍රියයන් නිසි පරිදි කි‍්‍රයාත්මක නොවේ.

එම නිසා අපේ අනාගත පරපුරට නිරෝගිමත් දිවියක් උරුම කර දෙන්නට නම් පළමුව යහපත් සිතුවිලි ඇති කර ගත යුතු ය. දෙවැන්න ආහාර රටාව ක්‍රමවත් කර ගත යුතු ය. එසේ නොවන්නේ නම් අපට දීර්ඝායුෂ ලබා ගැනීම කෙසේ වෙතත් නිරෝගී දිවියක් හෝ ලබා ගැනීමට නොහැකි වනු ඇත.

- තාරක වික්‍රමසේකරසේයාරුව
- සමන් ශී‍්‍ර වෙදගේ