Print this Article


tmp.asp?ID=vision01

මියෙන දාටත් රැගෙන යා හැකි උත්තම ධනය

බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී,
රාජකීය පණ්ඩිත,
ත්‍රිපිටක විශාරද,
කන්දෙගෙදර ධීරානන්ද හිමි

හිරි ධනය හෙවත් පාපය පිළිකුල් කරවන , පාපය අභිමුව හැකිළෙන ලජ්ජාවන ස්වභාවය ද ආර්යයන් විසින් වර්ණිත ය. පතිවත රක්නා කුල කතක විසින් පාප අසද්ධර්මයෙන් වැළකී ආත්ම ගෞරවය රැකීමට අපකීර්තියෙහි ඇති ලජ්ජාව උපකාරී වෙයි.

එලෙසම තමාගේ උසස් කුල ගෝත්‍ර ආදිය, තම දක්ෂතා උගත්කම් ආදිය ජීවිතයේ ගත කරන වයස් පරාසය ආදිය ද සලකමින් පෙර සඳහන් කළ සිල්පද බිඳීමින් පව් කිරීමට ඇතිවන ලජ්ජාව කුසලයට උපකාරී වූ හිරි නම් ධර්මතාව යි. එනිසාම ලෝක පාලක ධර්මයක් මෙන්ම දේව ධර්මයක් ලෙස ද අගයනු ලබන්නේ සියලු කුසලයන් සඳහා ඒකාන්තයෙන් මෙහි ඇති සහයෝගය නිසා ය.

හිරි ධනය හා ඒකාන්ත සහයෝගී සත්පුරුෂ ධර්මයක් වන්නේ ඔත්තප්පය යි. එනම් ප්‍රාණඝාතාදී කායික අසමාචාරයන්හි ද මුසාවාදා දී වාචසික අසමාචාරයන්හි ද ඇති භයවීම හෙවත් තැති ගන්නා ස්වභාවය යි. අකුසල නසා මෙලොව දී අත්වන හිරිහැර හා පරලොව දී විඳීනට සිදුවන මහත් වූ අපාදුක් සිහි කරන්නා තුළ ඒ පිළිබඳ මහත් බියක් හටගනියි. ගිනිගෙන දිලිසෙන රත් වූ යකඩයක්, අත පිළිස්සීමේ බියෙන් ස්පර්ශ නොකරන්නාක් මෙන් ප්‍රඥාවන්තයා පවට ඇති බිය නිසාම එයින් වළකියි.

නමුත් නුවණ මද පුහුදුන් පුද්ගලයා මෝහයෙන් මුලාවට පත්වී මිහිරි රස විඳීමින් පව් කරන්නේ ය. ඒ මෙලොව දී මෙන්ම පරලොව දී ද ඇතිවන අකුසල විපාකයන්ගේ කටුකත්වය මෝහයෙන් වසා තැබීම නිසා ය. එනිසා දඬුවම් දීමත්, නීති පැනවීමත් පමණක් ම නොව ශිෂ්ට සම්පන්න පුද්ගලයෙකු නිර්මාණය කරවන මෙම හිරි - ඔතප් ධර්මතා ඇති කරගැනීම ද යහපත් සමාජයක් පිණිස ආර්ය ධන උපැයීමක් වන්නේ ය.

බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කළ බැවින් ආදි කල්‍යාණ වූ, මැනවින් දේශිත බැවින් මධ්‍ය කල්‍යාණ වූ, එය පිළිපැද්දවුන් විසින් මැනවින් නිවන් මඟට ප්‍රතිපන්න වන බැවින් පරියෝසාන කල්‍යාණ වූ සද්ධර්මය මැනවින් අසා දරා ගැනීම සුත ධනය යි. එබඳු ධර්මය සිත් යොමා බොහෝ කොට ඇසීම, එය සිත් තුළ මනාකොට ධාරණය කර ගැනීම, නිතර නිතර සජ්ඣායනය කරමින් වචනයෙන් පුරුදු කිරීම, නුවණින් යුතුව ඒ කාරණා මැනවින් විමසා බැලීම හා එමඟින් තමාගේ නිවන් මඟ විසද කරවා ගැනීම මෙම ධනය උපයා ගැනීමේ ක්‍රමෝපාය යි.

එමගින් කුසලය හා අකුසලය මැනවින් හඳුනා ගනිමින් තම ජීවිතයේ වැරැදි අඩුකර ගැනුමට ද, යහපත් ගුණයන් උපදවා ගැනුමට ද හැකිවෙයි. එනිසාම දර්පණයක් මත නැගුණු පිළිබිඹුවක් උපකාරයෙන් නිරීක්ෂණ, නිගමන ගොඩ නගන්නා සේ, ධර්මයතුළ බහුශ්‍රැතත්වය උපකාරයෙන් ලෞකික ලෝකෝත්තර ගමන් මග නිවැරැදි කරගත හැක.