Print this Article


ඇතිවී නැතිවී යන වේදනාව

ඇතිවී නැතිවී යන වේදනාව

නිවන් අවබෝධය සඳහා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ ජීවිතයේ හඳුනාගත යුතු ය. පංචුපාධානස්කන්ධයෙහි එම අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම ලක්ෂණ හඳුනා ගත යුතු ය.

අපේ ජීවිතය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වේ. ඒ රූප කොටස සහ රූප නොවන කොටස යි.වේදනා, සඤ්ඤා, සංඛාර යනු රූප නොවන කොටසය. ඒ සියල්ලෙහිම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණය තිබේ. රූප , වේදනා, සඤ්ඤා , සංඛාර, විඤ්ඤාණ යනුවෙන් හැඳින්වෙන පංචුපාදනස්කන්ධයේ එකක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ එමෙන්ම දෙවැන්නෙහි ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ වශයෙන් පහළොවක් පමණ සොයා ගැනීමට ඇත.

මින් එකක එම ලක්ෂණ වැටහෙන විට අනෙක් කරුණුවලද එම ලක්ෂණ වැටහීමට අවබෝධවීමට පටන් ගනී. එසේ කළ යුත්තක් ලෙස තේරුම් ගෙන සිටින විට මෙය ආරම්භ කළ යුත්තේ කවර තැනකින්දැයි විමසා බලමු.

මේ සඳහා සිදුවිය යුත්ත නම් යම් දෙයක ඇත්ත තත්වය තේරුම් ගැනීමට නම් එය ගවේෂණය කළ යුතුය. එය නිරීක්ෂණය කළ යුතු ය. වේදනාව යනු අපගේ ශරීරයෙහි හැම මොහොතකම ඇතිවී, නැතිවී යන දෙයකි. මොහොතකට සැප වේදනා ලෙස උපදී. තවත් මොහොතක දුක් වේදනා ලෙස උපදී. සමහර අවස්ථාවක සැපත් නැති, දුකත් නැති, මධ්‍යස්ථව අදුක්ඛක්ඛ වේදනා ලෙස මේ ශරීරයේ උපදී. එහෙත් මෙම වේදනාවෙහි මුල, මැද, අග සෙවිය හැකි නොවේ. මෙම ස්ථානයෙන් පටන් ගත්තා යැයි ද, මෙම ස්ථානයෙන් අවසන් වූවා යැයි එය අග මුල නැති දෙයක් වේ . මෙසේ හටගෙන එකවිටම නැති වී යයි. එමෙන් කෙළවරක් සෙවිය හැක්කක් නොවේ. එමෙන්ම මෙය හැම මොහොතකම වෙනසකට භාජනය වේ.මෙය අප තුළින් තේරුම් ගැනීමට නම් වේදනාවේ ඇති ඇතිවීම, නැතිවීම අපගේ මනසෙන් එහි ලක්ෂණ මතුකර ගැනීමට නම් මෙසේ ඇතිවි, නැතිවී යන වේදනා ස්කන්ධයට අප සිතින් යෙදී සමවැදීමෙන් මෙන් එය නිරීක්ෂණය කළ යුතු ය. නැතහොත් එය ඇසුරු කළ යුතුය. යමක් තේරුම් ගැනීමට නම් ඒ දෙස හොඳින් අවධානයෙන් බැලිය යුතුය. එසේ වේදනාවේ ඇත්ත තත්වය තේරුම් ගැනීමට වෙනත් කිසිම ක්‍රමයක් තිබිය හැකි ද? වෙනත් කිසිම ක්‍රමයක් නොමැති අතර යමක් තේරුම් ගැනීමට නිරීක්ෂණය කළ යුතු ය.

වේදනාව ඇසෙන් නිරීක්ෂණය කළ නොහැකි ය. කන හෝ නාසයෙන් , දිවෙන් සහ ශරීරයෙන් එය නොහැකි ය. මනසින් එය කළ හැක්කකි. එසේ නම් අපේ මනස ගලා යන වේදනා සන්තතිය දෙස අපේ මනස යොදා බලාගෙන සිටිය යුතු ය. එවිට එය අනිත්‍ය නම් අනිත්‍ය ලක්ෂණය මතුවේ. දුක්ඛ නම් දුක්ඛ ලක්ෂණය ඒ තුළින් අපට සොයාගත හැකිවේ. අනාත්ම නම් අනාත්ම ලෙස මෙය ඇතිවේ යන සොයා ගැනීම කළ හැකි වේ.

අනිත්‍ය නම් අනිත්‍ය ලක්ෂණය මතුවේ. එසේ මෙය නිතරම නොපවතී. එක දිගට තමාට අවශ්‍ය අයුරෙන් මෙය පවතින්නේ නැහැයිද තමාට අයිතියක් නොමැතිව සිදු වන දෙයක් බව නැතහොත් සිද්ධියක් බව අද්දැකීමට පුළුවන් වේ. එසේ කළහොත් ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබේ.