Print this Article


උතුරු කළුතර ශ්‍රී නීග්‍රෝධාරාමයේ සෑ රදුන් නිරාවරණ පුණ්‍ය මහෝත්සවය

උතුරු කළුතර ශ්‍රී නීග්‍රෝධාරාමයේ සෑ රදුන් නිරාවරණ පුණ්‍ය මහෝත්සවය

උතුරු කළුතර නීග්‍රෝධාරාම විහාරස්ථානය පූජනීයත්වයට හා වන්දනීයත්වයට පත් ස්ථානයකි. කැලිඩෝ වෙරළ තීරයටත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයටත් මැදිව පිහිටි එම විහාරස්ථානය දිනෙන් දින දියුණුව වෙත පියමන් කරයි.

පරතලාවේ සුමතිපාල
තිස්ස හිමි

ශාස්ත්‍රපති හල්වතුරේ
චන්දරතන හිමි

අංක 1553 යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබා ඇති මෙහි විහාර ගෙයට වසර 300කට වඩා ඉතිහාසයක් ඇත. පැරැණි ධර්ම ශාලාව 1917 දී පුණ්‍යවර්ධන ශිෂ්‍ය සමිතිය මඟින් ඉදිකර ඇති අතර, එයට වසර 100 ක ඉතිහාසයක් ඇත.

1950 දී දැනට ඇති පැරැණි සංඝාවාසය නැසී ගිය වෙත්තමුනි ජිනේරිස් ද සිල්වා උපාසක මහතාගේ මූලිකත්වයෙන් ඉදි කර ඇත. උතුරු කළුතර ශ්‍රී නීග්‍රෝධාරාමය, මහවස්කඩුව නාගරුක්ඛාරාමය හා වෙනිවැල්පිටිය පුරාණ විහාරස්ථානයන් හි ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට අනුව මොරගල්ලේ පුඤ්ඤසාර හිමියෝ මෙහි ආරම්භක විහාරාධිපති ලෙස කටයුතු කර තිබේ. අනතුරුව ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් පමණ විවිධ වකවානුවල මේ විහාරස්ථානයේ වැඩ වාසය කර ඇත. පරතලාවේ සුමතිපාල තිස්ස හිමියන්ගේ හදිසි අපවත්වීමෙන් පසු මෙහි විහාරාධිපති ධූරයට පත් වූයේ ශාස්ත්‍රපති හල්වතුරේ චන්දරතන හිමියන් ය.

විහාරස්ථානයේ නව සංවර්ධන කටයුතු ආරම්භ කළ උන් වහන්සේ පළමුව එහි පැති බැම්ම (තාප්පය) ඉදි කරන ලදී. පැරැණි සංඝාවාසය නවීකරණය කිරීමට මුල් වූ ඒ හිමියෝ ධර්ම ශාලාව ද ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන ලදී. අංග සම්පූර්ණ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක් ද මේ වන විට විහාර පරිශ්‍රයේ ඉදිවෙමින් පවතී. විහාරස්ථානයට බලවත් අඩුවක් ව පැවැති චෛත්‍යයක් ඉදි කිරීමේ අදහස උන් වහන්සේට ඇති විය. ඒ සඳහා උතුරු කළුතර සිරි නිවාස මාවතේ අංක 95/1 හි පදිංචි ශාන්ත දේව ද සිල්වා මහතා ඇතුළු පවුලේ දූ දරු පිරිස ඉදිරිපත් වූ හ. නැසී ගිය ජේ. නිමල් ද සිල්වා, පැට්‍රික් අබේගුණවර්ධන, සෝමලතා මෙන්ඩිස් සහ හැරියට් මෙන්ඩිස් යන මව්පියන් සහ නැසීගිය පවුලේ සියලුදෙනාට පින් පිණිස ශාන්තදේව ද සිල්වා මහතා විසින් මේ චෛත්‍ය ගොඩ නංවන ලදී. ඊට ගම්වාසීන්ගේ නොමද ආධාර උපකාරය ද ලැබුණි.

ඒ අනුව මල් ආසන සහිත දර්ශනීය චෛත්‍යයක් මේ විහාර භූමියේ ඉතා කෙටි කලකින් ඉදි කෙරිණි. වාද්දුවේ පදිංචි සුනිල් සෙනෙවිරත්න මහතා එහි නිර්මාණ කටයුතු සිදු කළ අතර දායක සභාවේ ඩබ්ලිව්. සිරිසෝම සිල්වා මහතා එම කටයුතු මැනවින් අධීක්ෂණය කරමින් ඒ සඳහා සිය දායකත්වය දක්වන ලදී. විහාරස්ථානයේ පවත්වාගෙන යන ශ්‍රී දීපවිශාරද දහම් පාසලේ දරු දැරියන් 200 කට අධික පිරිසක් දහම් දැනුම ලබති.

ග්‍රාම නිලධාරී හා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම හමු වී තම අවශ්‍යතාවයන් ජනතාවට ඉටු කර ගැනීමේ කාර්යාලයක් ද මෙම විහාරස්ථානයේ පවත්වාගෙන යයි. අමරපුර මූලවංශික මහා නිකායේ කළුතර තොටමුනේ ප්‍රධාන සංඝනායක ධූරය හොබවන වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති හල්වතුරේ චන්දරතන නාහිමියෝ වාද්දූව සිරි මහා මිහිඳු පිරිවෙනේ පරිවේණාචාර්ය, කළුතර දිස්ත්‍රික්කයේ දෙමළ භාෂා ගුරු උපදේශකවරයෙකු ලෙස හා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරුවරයෙකු ලෙස ද විශාල සේවාවක් සිදු කරති. උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයන් වහන්සේ වන්නේ හල්වතුරේ චන්දවිමල හිමියන් ය.

විහාරස්ථ දායක සභාව හා කාර්ය සාධක සමිතිය ඇතුළු ගම්වාසීන්ගේ ආධාර උපකාරය ද නා හිමියන්ට ලබා දේ. නව චෛත්‍යයේ කොත් වහන්සේ පැළඳවීම මේ මස 27 වන දා පෙරවරුවේ සිදු කරන අතර, එය නිරාවරණය එදින ම සවස 3.10 ට සිදු කෙරේ. ප්‍රදේශයේ පූජනීය මහා සංඝරත්නය ද, මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වීමට නියමිත ය.

මේ නිමිත්තෙන් 27 වන දින සර්වරාත්‍රික පිරිත් දේශනාවක් පවත්වා පසු දින උදේ සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.