Print this Article


පූජාච පූජනියනං

පිළියන්දල සීලරතන නා හිමි

වස්කඩුව ක්ෂේත්‍රාසන්නාරාමාධිපති පිළියන්දල සීලරතන හිමිපාණන් වහන්සේ කළුතර පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබා ඇත. 1952 ජනවාරි මස 03 දින බොරැල්ලේ දී උපත ලද පිළියන්දල සීලරතන හිමිපාණෝ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබූහ.

කළුතර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී දම්ඹුලුවන සුමංගල නාහිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ හිටපු මහානායක වස්කඩුවේ විජිතරංසි තිස්ස මාහිමිපාණන් වෙතින් 1987 ජනවාරි මස 14 වෙනි දින ප්‍රවෘජ්ජා භූමියට පත් සීලරතන හිමිපාණෝ විජිතරංසි තිස්ස මාහිමි, කොස්ගොඩ සුමනසිරි තිස්ස නාහිමි සහ අකුරල විමලතිස්ස අනුනාහිමිපාණන් වහන්සේ වෙතින් පැවිදි ජීවිතයට අවශ්‍ය ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන ලද හ. නිසි ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණයෙන් පසුව 1987 දී වස්කඩුවේ ක්ෂේත්‍රාසන්නාරාම විහාරස්ථානයට වැඩම කළ සීලරතන හිමිපාණෝ එතැන්පටන් තම ආගමික හා සමාජසේවා කාර්යභාරය ආරම්භ කරනු ලැබූහ. 1989 දී බලපිටිය අම්බරුක්ඛාරාම මූලමහා විහාරස්ථ උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා වූහ. තම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළ හ. විහාරස්ථ ශ්‍රී රතනජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්යයන් වහන්සේ ලෙස කටයුතු කරන සීලරතන හිමියෝ විහාරස්ථානයේ දියුණුව පිණිස අතිවිශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබ ඇත.

සීලරතන හිමිපාණන්ගේ ආගමික හා සමාජ සේවා කාර්යභාරය අතිශයින් අගය කළ අමරපුර මූලවංශික මහානිකායේ මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ‘සුගත සාසනවංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී විජිතරංසි තිස්ස වංශාවතංස’ යන ගෞරව නාම සම්මුතිය ද සහිතව කළුතර පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමනු ලැබූහ. ඒ අනුව 2018 මැයි 26 වෙන දින පිරිනමන ලද අමරපුර මූලවංශික මහානිකායේ කළුතර පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මෙම මස 23 වෙනි දින පස්වරු 2.00 ට විහාරස්ථාන භූමියේ දී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.


හත්තක ජිනරතන නා හිමි

යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනාධිපති හත්තක ජිනරතන හිමිපාණන් වහන්සේට මහා විහාර වංශික ස්‍යාමෝපාලි වනවාස මහා නිකායේ උත්තරීතර වනවාස සංඝ සභාව විසින් පිරිනමන ලද බෙන්තර වලල්ලාවිට කෝරලයේ උප ප්‍රධාන සංඝ නායක පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවය පසුගිය ජනවාරි මස 18 වන දින වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේ වනවාස උපෝසථාගාරයේ දී මහා විහාර වංශික ස්‍යාමෝපාලි වනවාස මහා නිකායේ උත්තරීතර අනුනායක, වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේ මූලස්ථානාධිපති, ශ්‍රී ඥානානන්ද වනවාස පරිවේණාධිපති මහකන්දේ රතනපාලාභිධාන අනුනා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඇල්පිටිය හත්තන ග්‍රාමයේ ඒ.ඩී. සිරිල් විජේගුණවර්ධන විදානේ මහතාගේ සහ ඩී.එස්.එම්. ගුණවර්ධන විදානේ හාමිනේ මහත්මියගේ දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලේ සිවුවැනි දරුවා වශයෙන් 1949 ජුනි මස 03 වන දින උපත ලද අතුකෝරල දොන් ජිනදාස කුමරුවා ගිහි ජීවිතයේ 35 වන වසර සපුරමින් සිටි අවධියේ ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත්විය යුතු බවට තීරණය කළේය. ඒ අනුව 1983 පෙබරවාරි 17 වන දින වතුරුවිල ශ්‍රී ඤාණානන්ද වනවාස මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේ දී ප්‍රවෘජ්‍යා සම්පත් ලබා හත්තන ජිනරතන නාමයෙන් පැවිදි වූහ.

1983 වසරේ මැයි මස 29 වන දින වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේ වනවාස උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ. වතුරුවිල ශ්‍රී ඥානානන්ද මහ නාහිමියන්ගේ සෙවණේ වැඩ සිටිමින් වනවාස භික්ෂු ප්‍රතිපදාව පිළිබඳවත්, ශ්‍රී සද්ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහිත් හන්තන ජිනරතන ස්වාමින් වහන්සේ නිරත වූහ. හොරණ මූණගම නර්තනගල ආරණ්‍යයේ වැඩ විසූ උන්වහන්සේ වන සෙනසුන් රැසක ආදි කතෘන් වහන්සේ වන ස්වකීය ගුරුදේවෝත්තම වතුරුවිල මහා නායක මාහිමිපාණන් වහන්සේගේ මඟ වඩිමින් යගිරල මහා වනාන්තරයට වැඩම කළ හ. ඒ උන්වහන්සේ ලද තොරතුරකට අනුව මහා වන මැද පිහිටි හුදෙකලා කඳු මුදුනක් මත ඇති ඉපැරණි ආරණ්‍ය සේනාසන භූමිය වෙතය. ඒ අනුව යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසන භූමිය මත අර්හත් ධජය යළි ප්‍රතිස්ථාපනය වූ අතර හන්ත ජිනරතන ස්වාමින් වහන්සේ එහි වනවාසීය වූහ. තුන් සිවුරත්, පාත්‍රයත් තමන්වහන්සේ සතු එකම ධනය කර ගනිමින් මෙම හුදෙකලා කඳු මුදුණේ කුඩා මැටි කුටියක භාවනානුයෝගීව මහණදම් පිරූ හත්තක ජිනරතන ස්වාමින්වහන්සේ වටා කෙමෙන් කෙමෙන් දායක පිරිස ඒකරාශි වූහ. අලුයම 4.00 ට අවදිවන උන්වහන්සේගේ දෛනික කාලසටහනේ ඇති සේනාසනික වත් පිළිවෙත් අතර බුද්ධ උපස්ථාන කටයුතු ජීවමාන සංඥාවෙන් ම මහත් වූ ශ්‍රද්ධාවෙන් සිදු කිරීම සුවිශේෂි ය.

යගිරල, වලල්ලාවිට, මීගහතැන්න, ගුලවිය, ඇල්පිටිය, අවිත්තාව ආදි අවට ගම්මානවල සැදැහැති ජනයා උන්වහන්සේ සොයා යගිරල මහ වන මැද හුදෙකලා කඳු මුදුනක පිහිටා ඇති ආරණ්‍යයට පැමිණෙති.


ඉඹුල්ගල ශ්‍රී සුමංගල නා හිමි

කෑගල්ල රන්වල පුරාණ විහාරය ඇතුළු විහාරස්ථාන කීපයක භාරකාරත්වය උසුලන, සතරකෝරළ මහදිසාවේ සමථබල සම්පන්න අධිකරණ සංඝ නායක ඉඹුල්ගල ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 80 වැනි ජන්ම දින සැමරුම නිමිතිකොටගෙන උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස දහම් පාසල් ආදිශිෂ්‍ය සංගමය, විහාරස්ථ සණස සංගමය අවමංගල්‍යාධාර සමිතිය හා ජීවනාලෝක සුබසාධක සමිතිය ශ්‍රී ධර්මානන්ද දහම් පාසල, දායක සභාව යන සංවිධානවල සංවිධායකත්වයෙන් පුණ්‍ය මහෝත්සවයක් 2020 ජනවාරි ,පෙබරවාරි මාසවල රන්වල විහාරස්ථානයේදී සිදුකිරීමට සංවිධානය කර තිබේ.

ජනවාරි 26 වැනි දින ශ්‍රී ධර්මානන්ද දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය සිදු කෙරුණු අතර පෙබරවාරි 15 වැනි දින සවස 6 ට බෞද්ධයා නාලිකාවෙන් විකාශනය කෙරෙන ධර්ම දේශනාවක් රන්වල විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ. පෙබරවාරි 16 වැනි දින මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ 80 නමකට අධික මහා සංඝරත්නය උදෙසා සාංඝික දානමය පුණ්‍ය ක්‍රියාවක් සිදුකිරීමට ඉහත සඳහන් සංවිධාන සහ රන්වල විහාරස්ථ දායක දායිකා පින්වතුන් සූදානමින් සිටිති.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉඹුල්ගල ග්‍රාමයේ හිටපු ගම්පති එච්.ටී.එස්.අප්පුහාමි මහතාගේ සහ දේදුගල මැණිකේ හෙවත් ඒ.ආර්. පුංචි මහත්මයා මැණිකේ යන දම්පතීන් දෙපළට දාව සොයුරු සොයුරියන් හත්දෙනෙකුගෙන් පස්වැන්නා ලෙස 1940 ජනවාරි මස 29 වැනි දින පින්වන්ත කුමරෙකු මෙලොව ජනිත විය. හේනක තැනැන්නැහැලාගේ විජේරත්න ලෙස නම් තැබු මේ කුමරු, ඉඹුල්ගල සුමංගල නමින් රන්වල පුරාණ විහාරස්ථානයේදී එවකට විහාරාධිපතිත්වය දැරූ තුඹලියද්දේ ශ්‍රී ධම්මානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ සහ දම්මල වනරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස පැවිදි දිවියට පිවිසිණ. කෑගල්ල ශ්‍රී මහින්දෝදය මහපිරිවෙන හා විද්‍යාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලබා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලැබූහ. සුමංගල පොඩි හාමුදුරුවන් වහන්සේ 1961 දී මහනුවර මල්වතු මහා විහාරයේ මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටු විය.

ඉඳුරුව සද්ධර්මෝදය පිරිවෙනෙන් ආචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම අරඹමින්, මැද්දෙපොල රාජමහා විහාර පිරිවෙන, උඩුගම ශ්‍රී විශුද්ධාරාම පිරිවෙන, රඹුක්කන දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන යන පිරිවෙන්හි ආචාර්යවරයෙකු වශයෙන් මෙන්ම පරිවෙනාධිපතීන් වහන්සේ ලෙස ද සේවය කර ඇති අතර පසුව රඹුක්කන හේවාදිවෙල මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස රජයේ ගුරු සේවයට පිවිසිනි. පසුව රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේද අනතුරුව රන්වල මහානාග මහා විද්‍යාලයේ ද සේවය කර විශ්‍රාම යන විට නියෝජ්‍ය විදුහල්පතිධුරයද ඉසිලූහ.

කෑගල්ල ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ස්වාමින්ද්‍රයන් වහන්සේ වශයෙන් සහ රඹුක්කන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේ වශයෙනුත් දිගු කලක් උදාර සේවාවක් සිදුකර ඇත.

මේ සියලු ආගමික සාමාජික හා අධ්‍යාපනික සේවාවන්හි නියැළීම අගය කළ මල්වතු මහා විහාරය 1987 ජනවාරි 04 වැනි දින “සද්ධර්ම කීර්ති ශ්‍රී වනරතන” යන ගෞරව නාම සහිතව සතර කෝරළ මහ දිසාවේ සමථබල , බලසම්පන්න අධිකරණ සංඝනායක පදවිය උන්වහන්සේට පිරිනමා ඇත.