Print this Article


නිවැරැදි විය යුත්තේ පුද්ගලයා නොව ක්‍රියාවයි

නිවැරැදි විය යුත්තේ පුද්ගලයා නොව ක්‍රියාවයි

සමාජයේ ජීවත්වීමේ දී වඩා නිවැරැදි ලෙස ධර්මය හඳුනාගත යුතුවෙයි. නිවැරැදි ව ග්‍රහණය කරගත යුතු වෙයි. එසේ නො කළ හොත් ඔහුට ධර්මයෙන් යහපතක් සිදුවන්නේ නැත. ධර්මය වැරැදි ලෙස අවබෝධ කරගැනීම හෝ වැරැදි ලෙස සමාජයට කියාදීම සුදුසු නැත. අධර්මය ධර්මය ලෙස විග්‍රහ කරන්නට යාම දෙලොව දීම විපාක දෙන බරපතළ අකුසල කර්මයකි. නිවැරැදි දෙය එලෙස හඳුනා විග්‍රහ කරදීම සියලු තැන පරයා ඉදිරියට පැමිණෙන බව ධර්මයෙන් විග්‍රහ කරනු ලැබ තිබේ.

වර්තමාන සමාජයේ ජීවත්වන බොහෝ අයට ධර්මය නිවැරැදි ලෙස අවබෝධ කරගැනීමට නො හැකි ව ඇත්තේ තමා පිළිබඳ ඇතිකරගෙන ඇති උඩඟු බව නිසා ය. තමාට ලාභ පිණිස යමක් පවතී නම්, එය නිවැරැදි එක යැයි ද, යහපත් එක යැයි ද, කියයි. මිනිසා බොහෝ අවස්ථාවල අයහපත් දෙය වශයෙන් හඳුන්වනු ලබන්නේ තමාට අලාභ පිණිස පවතින දෙයට යි. එය ධර්මානුකූලව සාවද්‍ය එකකි.

පුද්ගල ජීවිතයේ දී බලපවත්වනු ලබන අතිශයින් ම වැදගත් කාරණා කිහිපයක් අංගුත්තර නිකායේ බාලභය සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. සමාජගත ජීවිතයේ දී ද, ඇසුරට ගන්නා පුද්ගලයා කෙබඳු අයවලුන් විය යුතු ද යන්න ඒ අනුව වටහා ගත හැකි ය. එම සූත්‍රය වඩාත් හොඳින් තෝරා බේරා දී ඇත්තේ මනෝරථ පුරණී නම්, වූ අටුවා ග්‍රන්ථය යි

යම්කිසි බයක් ඇතිවේද? ඒ සියල්ල බාලයාගෙන් ම ඇතිවෙයි. පණ්ඩිතයාගෙන් ඇති නොවෙ යි. විපත්තියක් උපදී ද, ඒ සියල්ල බාලයාගෙන් ම උපදියි. පණ්ඩිතයාගෙන් නූපදියි.

මෙහි බාලයා පිළිබඳව සඳහන් වෙයි. පණ්ඩිතයා ගැන ද සඳහන් වෙයි. බාලයා යනු කවුුරුන් ද? මෙහි දැක්වෙන බාලයා හැඳින්වීම සඳහා විවිධ නම් භාවිත කළ හැකි ය. අනුවණ දුර්ජනයා, අන්‍යයාගේ ගුණ මකන්නා, පාපී පුද්ගලයා, අපරාධකාරයා ආදි විවිධ නම් දැක්විය හැකි ය. සමාජයේ බොහෝ දෙනා අන්‍යයන් බාලයන් වශයෙන් හඳුන්වනු ලබයි. තමා පණ්ඩිතයෙකි ය යන අදහසේ සිට කටයුතු කරනු ලබයි. ඇතැම් විට එසේ කල්පනා කිරීම නිවැරැදි විය හැකිය.ඒ ඒ මිනිසුන් තමා පිළිබඳ ඇතිකර ගනු ලබන හැඟීමක් මිස සත්‍යයක් නොවෙයි.

මේ අනුව වඩාත් පැහැදිලි වන කරුණ වන්නේ, මේ ලෝකය තුළ සිටින්නේ පුද්ගලයන් දෙදෙනෙකු බවයි. සිවිසස් දත් පණ්ඩිතයා සහ යහපත අයහපත පිළිබඳ අවබෝධයක් නැති බාලයා බවයි. මෙම තත්ත්වය පුද්ගලත්වාරෝපණයෙන් පිළිගැනීම ද, සර්ව සාධාරණ වුවක් ලෙස පිළි නොගත යුතු ය. එසේ වීමට හේතුව වන්නේ විටෙක අනුවණ වැඩක් කරන පුද්ගලයාගෙන් වෙනත් අවස්ථාවක උතුම් ක්‍රියාවක් සිදුවිය හැකි බැවිණි. පණ්ඩිතයා ද එ සේ ය.

ඒ නිසා මෙය “ක්‍රියාව“ වශයෙන් පිළිගැනීම වරදක් නොවේ. ඒ ඒ අවස්ථාවේ පුද්ගලයා කරනු ලබන ක්‍රියාව අනුව ඔහු බාලයා හෝ පණ්ඩිතයා ලෙස වර්ග වෙයි. බුදු දහම ක්‍රියාවාදී දහමක් වශයෙන් පුද්ගලයාට වඩා සුවිශේෂත්වයක් පිරිනමනු ලබන්නේ ක්‍රියාවට ය. ඒ ඒ අවස්ථාවල දී ඔහු කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳව යි. ඉන් මතුවන වැදගත් කාරණය නම්, බුදු දහමේ පුද්ගලයාට වඩා වැදගත් තැන ලබා දෙන්නේ ක්‍රියාවට බවයි. නිවැරැදි විය යුත්තේ පුද්ගලයා නොව ක්‍රියාව යි. සමාජයට යහපත පිණිස බලපාන, කරන්නාට අවැඩක් වන ක්‍රියාව පමණක් ඉවත් කළ යුතු ය.

හැමදාමත් නිවැරැදි සහ වැරැදි පුද්ගලයන් බුදුදහමෙහි නොමැත්තේ එම නිසා ය. උදාහරණයක් වශයෙන් අංගුලිමාල චරිතය ගත හැකි ය. ඔහු සාවද්‍ය ක්‍රියා කරනු ලැබූ වකවානුවලදී එම ක්‍රියාවේ සාවද්‍ය බව අනුව ඔහු අයහපත් පුද්ගලයකු වශයෙන් හඳුන්වනු ලැබුව ද, රහත් වී උතුම් ක්‍රියා කරන විට හඳුන්වනු ලැබුවේ උතුම් කෙනෙකු වශයෙනි. ඒ බුදු දහමයි. නමුත් ඒ දහම ම අනුගමනය කරන පිළිපදින සමාජය දරන්නේ ද, එම මතය ම ද යන්න සිතා විමසා බැලිය යුතුය. අපේ සමාජය තුළ යහපත් පුද්ගලයන් වෙනම ද, අයහපත් අය වෙනම ද සිටිති. මෙයින් පැහැදිලි වන්නේ එබඳු සමාජයක ධර්මය ජීවමාන වශයෙන් නො පවතින බවයි.

බුදු දහම පිළිගනු ලැබුව ද, ක්‍රියාවෙන් එම දහම සමාජය තුළ ජීවමාන ව නැත. එම තත්ත්වය සමාජය තුළ පවතින තාක් කල් බුදු දහම ද, ජීවමානව නො පවතී. වර්තමාන සමාජය තුළ උගතුන් වශයෙන් කොටසක් ද? බුද්ධිමතුන් වශයෙන් නම් කරන ලද පිරිසක් ද සිටිති. උගතා ලෙස හඳුන්වනු ලබන්නේ පවත්නා නීතියට අනුව විභාග සමත් කළ පුද්ගලයා ය.

නමුත් බුද්ධිමතුන් යැයි හඳුන්වන පිරිස ඒ තත්ත්වයට පත්වන්නේ කෙසේද? එසේ පිරිසක් සිටිය නොහැකි ය. මන්ද, විටෙක බුද්ධිමත් ලෙස කටයුතු කරන පුද්ගලයා සෑම අවස්ථාවේ දී ම එලෙස කරනු ලබන්නේ ද? ඒ අනුව බුද්ධිමත් ක්‍රියාව මිස පුද්ගලයන් සිටිය නො හැකි ය.

යහපත අයහපත දැන හඳුනාගෙන කටයුතු කරන පුද්ගලයා බුද්ධිමතා වශයෙන් හැඳින්විය හැකි ය. ඒ ඔහු එබඳු ක්‍රියා කරන තුරු පමණි. බාලයා පිළිබඳව එන සංකල්පය ද එසේ ය. බාලයා හොදි රසය නොදත් හැන්ද මෙනි, යැයි උපමා කොට දක්වා තිබේ.

ඒ උපමාව ද ගැලපෙන්නේ ක්‍රියාව හා සම්බන්ධ ව ය. යම් කිසි අනුවණයෙක් තමාගේ අනුවණ බව දැනී ද එසේ වීම නිසා ම පණ්ඩිතයකු බවට පත්වීමට සුදුසුකම ඔහු ලබයි. පුද්ගලික ව තමාගේ යහපතට වඩා වැඩි තැන දිය යුත්තේ පොදු යහපත පිණිස පවතින දෙයට හොඳ යැයි කීමට ය. එය ඇතැම් විට පුද්ගලික ව තමාට ලාභය පිණිස නොපැවතිය හැකි ය. එසේ නොවන්නට ද පිළිවන. අද බොහෝ බෞද්ධයන්ට හොඳ නරක තෝරා ගැනීමට බැරි වී ඇත්තේ තමා පිළිබඳ ලොකුවට හිතා කටයුතු කරන්නට යාම නිසාත්, ස්වාර්ථකාමීබව බහුල වශයෙන් පවතින නිසාත් ය, යනුවෙන් ඇතැම් විට පළවන අදහස සත්‍යයක් ද, අසත්‍යයක් ද කියා තෝරා බේරාගත යුත්තේ තමා විසින් ම ය.