Print this Article


වරදක් වේනම් කාන්තාවට පමණක්දොස් නැගීම සාධාරණ ද?

වරදක් වේනම් කාන්තාවට පමණක්දොස් නැගීම සාධාරණ ද?

කාන්තාව සුකොමලයි, සුන්දර ය යැයි බොහෝ කවියෝ වර්ණනා කරති. ඇය අම්මා කෙනෙක් වූ විගස කරුණාව,දයාව, මෛත්‍රිය මුදිතාව උතුරා ගලායන ගංගාවකි.අම්මා යන ගරු නම ලැබෙනුයේ ද ඒ නිසාම වේ. එහෙත් හැම කාන්තාව ට ම එසේ කීම සාධාරණ නොවන අවස්ථා ද ඇත. ඇතැම් අය තම කුසින් බිහිකළ දරුවා ,අමානුෂික ව මහ මග දමා යයි.

එවැනි දරුවෙකුට තවත් අම්මා කෙනෙක්,තම කුසින් උපන් දරුවා වෙනුවෙන් එරුණු කිරි, පොවා ඒ දරුවාට නො ලැබූ මව් සෙනෙහස පුද කරයි. එවැනි සිදුවීම් කෙතෙකුත් අපට සමාජයේ දක්නට ඇත . මෙසේ වනුයේ කුමක් නිසාද? වරදක් වේ නම් කාන්තාවට පමණක් දොස් නැගීම සාධාරණ ද යන්න සිතා බැලිය යුතු ය.

ප්‍රශ්න රාශියක් හමුවේ පැරැණි කාන්තාවනට වඩා වර්්තමානයේ බොහෝ කාන්තාවෝ ගැටලු, දුක් පීඩා රාශියකට මැදිව ඇති බව සමාජය දෙස බැලීමේ දී පැහැදිලිව පෙනෙන්නට ඇත. විමර්ශනය කර බැලීමේ දී එසේ වීමට විවිධ හේතු, කාරණා රාශියක් කෙරෙහි අවධානය යොමු කළ යුතුවේ .

විවාහයට ප්‍රථම හිතවතා පිළිබඳ අධික විශ්වාසය තබා තම ජීවිතය අසරණ කර ගැනීම, ස්වාමියා මතට ලොල් අයකු වීම, ස්වාමියා සූදුවට ලොල් වූ අයකු වීම , ස්වාමියා අනාචාරයෙහි යෙදීම සහ භාර්යාවගේ අදහස් වලට ප්‍රති විරුද්ධ අදහස් දැරීම , භර්යාවගේ ඉවසීම නැතිකම , ස්වාමියා කෙරෙහි සැකය, තමා අනාචාරයෙහි යෙදීම, ස්වාමියා කෙරෙහි අවංක ආදරය, කරුණාව, ලෙන්ගතුකම නැති බව, වේගවත් ව දරුණු වචන පිටකිරීම , එකට එක කීම, ගෘහ පාලනයෙහි අදක්‍ෂ බව, අලසබව, ස්වාමියාගේ මව්පියෝ නොසලකා හැරීම හා , ස්වාමියාගේ කටයුතුවලට අත හිත නොදීම, යනාදී ගැටලු ඒ අතර ප්‍රධාන වේ.

මෙවැනි තවත් බොහෝ කරුණු මුල් කරගෙන ඇති කරගත් ගැටලු නිසා බොහෝ පවුල් ජීවිත අවුල් බවට පත්වී ඇත. එකිනෙකා කෙරෙහි ඇති අනවබෝධය නිසා සාමකාමී ව ප්‍රශ්න නිරාකරණය කිරීමට නොහැකි වී දරුවන්ගේ ජීවිත පවා අසරණ කරමින් නීතියෙන් වෙන්වූ අය ද බොහෝ වෙති.

මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යතු බව අප සමාජයේ වැඩිහිටි දූ පුතුන් වෙත කියනු කැමැත්තෙමු. ඔබ කවුරුත් විවාහ ජීවිතයකට පිවිසෙනුයේ සැනසීමෙන්, සාමයෙන්, සතුටින් කල් ගෙවීමට ය. එසේ හෙයින් දුටු තරමින්ම කෙනෙකු පිළිබඳ තක්සේරු ් කිරීම නොකළ යුතු ය. අද අප හමුවට විවිධ මාදිලියේ ගැටලු ගෙන, බොහෝ දෙනා පැමිණෙති. ඇතැමුන් පවසනුයේ විවාහයට ප්‍රථම වසර පහ, හය ලෙන්ගතුව ආදරයෙන් සිටි බව ය. එහෙත් විවාහ වී මාස පහෙන් හයෙන් දෙදෙනා අතර ආරවුල් පැන නැගුන බවත් ය. එසේ වනුයේ ඇය, ඔහු පිළිබඳවත්, ඔහු ඇය පිළිබඳවත් මනා අවබෝධයක් නොමැති ව ඇසුරු කර ඇති නිසා ය.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පඨම සංවාස සූත්‍රය දෙස යොමුවී බලමු. ගුණනැති යක්‍ෂයෙක් වැනි අයෙක් එබඳුම වූ යක්‍ෂණියක් වැනි අයකු සමඟ ජීවත්වීම, ගුණනැති යක්‍ෂණියක් වැනි කාන්තාවක් දෙවියෙක් ් වැනි කාන්තාවක සමඟ ජීවත්වීම, ගුණඇති දේවතාවියක් වැනි කාන්තාවක් යක්‍ෂයෙක් වැනි අයකු සමඟ ජීවත්වීම, ගුණ ඇති දෙවියෙක් වැනි අයෙක් දේවතාවියක් වන් කාන්තාවක් සමඟ ජීවත්වීම යනුවෙන් ස්වාමියා සහ , භාර්යාව අතර සම්බන්ධය පෙන්වයි.

මෙහි පළමුවෙන්ම කී අය ඉතාමත් ම දරුණු ය. අනිත් දෙපිරිස ම නිතර නිතර ගැටුම් ඇති කර ගනිමින් අවුල් ජීවිත ඇති පිරිසක් බව පැහැදිලි ය. හතර වෙනිව කියූ අය, සමාන සිල් ඇතිව, සමාන පරිත්‍යාග ඇතිව, සමාන ප්‍රඥා ඇතිව, සාමයෙන් සමගියෙන්, සැමට ආදර්ශ ජීවිිතයක් ගත කරති. එම නිසා නිතර නිතර ගුණවතුන් ඇසුරුකර අවවාද ලබාගෙන සාර්ථක ජීවිතයක් ගත කළයුතු ය. ගුණ ගරුක සිල්වත් ජීවිත ගත කරන අය මෙලොව පරලොව ජයගනු ඒකාන්ත ය.

සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා ඇති අයුරින් එකිනෙකා තම තමා වෙතින් ඉටුවිය යුතු යුතුකම් සමූහය ආදරයෙන්, කරුණාවෙන් යුතුව මැනවින් ඉටු කරන්නේනම්, සමාජයේ ඇති ප්‍රශ්න, ගැටලු බොහෝ දුරට මග ඇරී යනු ඒකාන්ත ය .

මෙම ලිපියේ ඉතිරි කොටස නවම් අමාවක පෝදා පත්‍රයේ පළ වේ.