Print this Article


භාවනාව

භාවනාව


භාවනාමය කුශලය වනාහි කුශලයන් අතුරෙන් අග්‍ර වූ කුශලය ය. දාන ශීල දෙකින් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නො ලැබිය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලැබිය හැකි ය. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍රධාන මාර්ගය ද භාවනාව ම ය.

සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර සෘද්ධිපාද ය, පඤ්චේන්ද්‍රිය ය, පඤ්ච බලය ය, සප්ත බොජ්ජංගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ය යන මේ සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම යනු ද භාවනාව ම ය, භාවනාවෙහි යෙදෙන කල්හි බෝධිපාක්ෂික ධර්මයෝ වැඩෙති. අනු ක්‍රමයකින් ඒ ධර්මයෝ නො වැඩෙති. භාවනා කිරීම හැර බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමය කියා අන් කළ යුත්තක් නැත.

සමථ භාවනාව ය, විදර්ශනා භාවනාව යැයි භාවනාව දෙවැදෑරුම් වේ. සමථ භාවනාව යනු සමාධිය දියුණු කිරීම ය. විදර්ශනා භාවනාව යනු ප්‍රඥාව දියුණු කිරීම ය. සමාධිය යනු සිතට නොයෙක් අරමුණුවල විසිරෙන්නට නො දී එය එක් අරමුණක පිහිටවන්නා වූ චෛතසික ධර්මයෙකි. එහි බලයෙන් සිත එකඟ වේ.

සමාධිය ඇති කර ගැනීම පහසු නො වේ. එය කරගත හැකි වන්නේ ඉතා ඕනෑ කමකින් බලවත් උත්සාහයෙන් එය වඩන්නාට ය. සමාධිය ඇති කර ගැනීමේ ඕනෑ කමක් නැති ව එය ගැන දැනීමකු දු නැති ව භාවනා කරමියි කියා යම් කිසිවක් කියමින් සිටියාට සමාධිය නො වැඩේ. සමාධිය වැඩෙන්නට නම් බලවත් වීර්යයෙන් හා සිහියෙන් සිත අනිත් අරමුණු කරා යාම හැකිතාක් වළක්වාගෙන ක්‍රමානුකූල ව භාවනාවෙහි යෙදිය යුතු ය.